මේරි | සිළුමිණ

මේරි

මේරි යනු රුසියාවේ උපත ලැබූ චිර ප්‍රසිද්ධ ලේඛක ව්ලදිමිර් නබකොව්ගේ (1899 - 1977) මුල් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය මයිකල් ග්ලෙනි විසින් 1970 කර්තෘගේ සහාය ඇතිව කරන ලද ඵ්රහ නම් ඉංග්‍රීසි පර්වර්තනය ඇසුරින් සිංහලට පරිවර්තනය කරන ලද බව සඳහන් ය.

නබකොව් සියවස් ගණනක් පැරණි පරපුරකින් පැවතෙන තතාර් රුසියානුවෙකි. ඔහුගේ පියා වූ වී.ඩී. නබකොව් විප්ලවයට පෙර රුසියාවේ නමක් දිනූ නීතිවේදියෙක්, විද්වතෙක්, මාධ්‍යවේදියෙක් මෙන් ම දේශපාලනඥයෙක් ද විය. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඔහු ක්‍රිමියාවේ ඇමැතිවරයෙක් විය. ඉන්පසු නබකොව් පවුල ජර්මනියට සේන්දු වූහ.

ගත්කරු ව්ලදිමිර් නබකොව් උපන්නේ පීටර්ස්බර්ග් නුවර ය. එහි සරසවියක අධ්‍යාපනය ලබන අවධියේ 1917 වසරේ ඔහු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදැක්වී ය. ඔහු සිය කුලුඳුල් නවකතාව වන මේරි එළි දක්වන්නේ 1926 වසරේ ය. රුසියානු, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවල හසලයකු වූ නබකොව් සිය මුල් නවකතා 7 රචනා කරන්නේ රුසියන් බසිනි. චිර ප්‍රකට ‘ලොලිටා’ ඔහුගේ ප්‍රථම ඉංග්‍රීසි නවකතාවයි.

මේරි යනු විප්ලවයෙන් පසු රුසියාවේ සිට ජර්මනියට සංක්‍රමණය වූ ලෙව් ග්ලෙබොවිච් ගානින්ගේ කතාවයි. පාඨකයාට හමුවන විට ඔහු ජර්මනියේ බර්ලින් නුවර කාමර කුලියට දෙන නිවෙසක වෙසෙයි. වසර සඳහන් නොවෙතත් ඒ 1917 - 20 අතර කාලයේ විය යුතු ය. එහි ඔහු වෙසෙන්නේ ගෙහිමි කත වන ලිඩියා නිකොලෙයෙව්නා ද තරුණ කාර්ලා, වයස්ගත කවියකු වන පොද්යාගින් සහ අලෙක්සෙයි ඉවානවිච් අල්ෆ්යොරොව් ද බැලේ නර්තන ශිල්පීන් වූ කොලින් සහ ගොර්නොත්ස්වෙතොව් ද සමඟ ය. සියල්ලෝ අතීත රුසියානුවෝ ය.

නින්ද නොයන රැයෙක ගානින්, අල්ෆ්යොරොව්ගේ කාමරයට පිවිසෙයි. කතාබහ අතරතුර අල්ෆ්යොරොව් සිය බිරින්දෑ වන මේරිගේ සේයාරුවක් ඔහුට පෙන්වා ඇය ගැන විස්තර කරයි. තව දින කිහිපයකින් ඇය තමා හා වසන්නට මෙහි එනු ඇති බව ඔහු පවසයි. සේයාරුව දුටු වහාම ගානින් කැලඹෙයි. ඒ ඔහුගේ අතීත පෙම්වතියයි. ඔහු වහා කාමරයෙන් පිටව යයි.

ගානින් මේ නගරයේ වෙසෙන ලුද්මිලා නම් තරුණියක් සමඟ සබඳතාවක් පවත්වා ගෙන යයි. ඇය ක්ලාරාගේ මිතුරියයි. මේරි පැමිණෙන ආරංචියෙන් නැවුම් බලාපොරොත්තු ඇති කැර ගන්නා ගානින් ලුද්මිලා සමඟ සබඳතාව අත්හැර දමයි.

ගානින්ගේ අතීත සැමරුම් ඉන්පසු දිග හැරේ. එවකට ඔහු සොළොස් හැවිරිදි වන අතර ඇය පහළොස් හැවිරිදි ය. ඔවුන් දෙනොගේ ප්‍රථම හමුවීමේ සිට ප්‍රේමය ලියලා වැඩුණු අයුරු මනරම් අයුරින් ඔහු සටහන් තබයි. රුසියාවේ ඔවුන්ගේ පිටිසර ගමේ දී පමණක් නොව පීටර්ස්බර්ග් නුවර දී ද තමන් අතර සබඳතාවේ මිහිරි සැමරුම් ගානින් ඉදිරිපත් කරයි. ඔහු සන්තකයේ ඇය එවූ ලිපි හතරක් ඇත. සැමරුම් ඉදිරිපත් කිරීමේ දී ඔහු ඒවා ද ඇසුරු කැර ගනියි. ඇගේ එක් ලිපියක පොද්යාගින්ගේ කවියක පේළි කිහිපයක් ඇත. තමන් හා දැන් මේ නිවස්නයේ වෙසෙන්නේ ඒ පොද්යාගින් ම ය.

පොද්යාගින්ගේ සිද්ධිය අතුරු කතාවක් සේ ඉදිරිපත් වෙයි. ඔහු ජර්මනියෙන් පැරීසියට යාමට වෙර දරන්නෙකි. අවස්ථා කිහිපයක දී ම උත්සාහ කළත් ඔහුගේ ප්‍රයත්නය තවමත් සාර්ථක ව නොමැත. ගානින් අදාළ රජයේ කාර්යාලයට ගොස් එය ඉටු කැර දෙයි. එහෙත් පොද්යාගින් උද්‍යෝගය වැඩිකම නිසා ම ආපසු එන ගමනේ දී ලියකියවිලි සියල්ල නැති කැර ගනියි. තමා පසු දින පැරිසියේ වාසයට යන බව මේරි බර්ලින් වෙත ළඟාවන දිනට පෙර දිනගැනින් නිවේදනය කරන්නේ යටි අරමුණක් ඇති ව ය. ඇය එන වේලාවට අල්ෆ්යොරොව් මග හැර ඇය මුණ ගැසී ඇය ද කැටුව පලා යන අදහස ඔහුගේ සිතේ වෙයි. එදා රැයේ ගානින් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවැත්වේ. එය සැලසුම් කරන්නේ නෘත්‍ය ශිල්පීන් දෙදෙනා විසිනි. අල්ෆ්යොරොව් ප්‍රමෝදය නිසාම බී වෙරි වී නිදන්නට යයි. ඊට පෙර ඔහු දුම්රිය ළඟා වන්නට පෙර වේලාවකට එලාමය සකස් කොට තබා තමා කූද්දන ලෙස ගානින්ගෙන් ඉල්ලා සිටියි. ගානින් එලාමය වෙනස් කර ඇයගේ දුම්රිය එන වේලාවට ඇය හමුවන්නට සිතා පිටත් වෙයි. එහෙත් අවසන් මොහොතේ සිය අදහස වෙනස් කරන ගානින් වෙනත් දුම්රියක නැඟී පැරිස් බලා පිටව යයි. එහි දී ඔහු සිතමින් සිටින්නේ වීසා නැතිව පැරීසියට ඇතුඵ වන්නේ කෙසේ ද යන්න ගැන ය.

නබකොව්ගේ මේරි ඉතා සුන්දර කෙටි නවකතාවක් සේ විචාරකයෝ දකිති. මෙහි අන්තර්ගතය ඔහුගේ සැබෑ ජීවිතය හා බැඳී ඇති අතර ඔහු මෙහි ගොනු කරන්නේ ඒ සත්‍ය අත්දැකීම් ය. එහෙත් නව ප්‍රබන්ධයක් ලෙස මෙය ඉතා අපූරු එකකි. මේ කෘතිය මුද්‍රණයෙන් නිකුත් වූ වහාම රුසියානු බස කියවන්නට දත් පාඨකයන් විසින් එය ආදරයෙන් වැලඳ ගන්නා ලද බව සඳහන් ය.

මේ කෘතියේ වියමන අපූරු ය. සුන්දර පරිසර වර්ණනා සිදුවීම් සමඟ මනාව ගළපා තිබේ. එනිසා එක දිගට කියවාගෙන යාමේ ආසාවක් ඇති කරයි. සිංහල පරිවර්තනයේ ද ඒ ගුණය මනාව රැකී තිබෙනු නිරීක්‍ෂණය කළ හැකි ය.

මේ කෙටි උධෘතය එය පැහැදිලි කරනු ඇත: ‘සමහර ගස්වල කළු අතු කොළ පැහැ දලු පුබුදුවන්නට පටන් ගත්තා පමණි. ඒ අතු මත සිටි ගේ කුරුලු රංචුවක් වාතාශ්‍රය කලඹමින් පියාඹා ගොස් උසැති ගඩොල් බැම්මක් මත වැසූහ.

යකඩ වැටවලට පිටිපසින් වූ සාප්පු තවම නිදිගත් වනම ය. ගෙවල මුදුන් පමණක් සූර්යාලෝකයෙන් එළිය වී තිබිණි. මේ සන්ධ්‍යාවක් මිස හිමිදිරි උදෑසනක් ය’යි සිතා ගැනීම මඳක් අපහසු විය.

සෙවණැලි වැටී තිබුණේ නොපිටට නිසා ය. සන්ධ්‍යා ලෝකය සමඟ සුපුරුදු නමුත් අරුණාලෝකය සමඟ නුපුරුදු අනපේක්‍ෂිත සංකලනයක් එහි විය. සෑම දෙයක් ම පෙනුණේ විපරීතව ය. වැහැරී ගිය ලෙසට ය. බිඳුණු කැඩපතකින් පෙනෙන්නාක් මෙන් විරූපී ව ය. හිරු සෙමෙන් ඉහළ නැ‌ෙඟත්ම සෙවණැලි තමතමන්ගේ සුපුරුදු ස්ථාන කරා ඇදී ගියේ ය. එවිට ගානින් ජීවත් වූ ඒ මතකවල ලෝකයේ මන්දාලෝකය යථාව බවට පෙරැළිණි: ඈත අතීතය.’ ගානින් සියල්ල හැරපියා යන්නට යයි. කතාව අවසන් වනනේ මෙසේ ය.

‘ ඒ රූපය හැරුණ විට මේරි කෙනෙක් මෙලොව නොසිටියා ය. උතුරෙන් පැමිණෙන ශීඝ්‍රගාමී දුම්රියක් යකඩ පාලම පසු කරන අයුරු ඔහු බලා සිටියේ ය. එය ඉන්පසු දුම්රියපොළේ ප්‍රසාද මුඛය පිටුපස නොපෙනී ගියේ ය.

අනතුරුව ඔහු සිය සූට්කේස් දෙක ඔසොවා ගත්තේ ය. කුලී රියක් කැඳවාගත් ඔහු නගරයේ වෙනත් දිසාවක ඇති දුම්රිය පොළක් වෙත තමා ගෙනයන ලෙස ඉල්ලා සිටියේ ය. පැය බාගයකට පමණ පසු නිරිත දිග ජර්මනිය බලා පිටත් වන්නට නියමිත ව තිබූ දුම්රියක් ඔහු තෝරා ගත්තේ ය.

දුම්රිය ප්‍රවේශ පත්‍රය ගන්නට පැය කාලක් මිඩංගු කළ ඔහු සතුටුදායක උනන්දුව ඇතිව වීසා නොමැතිව දේශ සීමාව පසු කරන්නේ කෙසේද’යි කල්පනා කළේ ය. ප්‍රංසය, ප්‍රොවෙන්සය. ඉන්පසු -මුහුද. දුම්රිය ඇදී යද්දී නිදි කිරන්නට පටන් ගත් ඔහුගේ මුහුණ ලී ආසනය ඉහළින් සවිකළ කොක්කේ එල්ලුණු සිය වැහි කබායේ රැලි අතර සැඟව ගති.’

ඩී.එම්.එස්. ආරියරත්නගේ කෘතියක් වන ‘මේරි’ සුභාවි ප්‍රකාශනයකි.

 

Comments