සීගිරි පාමුල පා දෙක කාගෙද | Page 859 | සිළුමිණ

සීගිරි පාමුල පා දෙක කාගෙද


කලාකරුවා යනු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුගේ නිර්මාණ රස විඳීම රසිකයා සතුය. විවේචනය විචාරකයා සතුය. එය වෙනස් කරන්නැයි කීමට කිසිවෙකුට අයිතියක් නැත. සියවස් ගණනක් රසිකයන් එකසේ රසවිඳි, විචාරකයන් විචාරයට ලක් කළ, කවීන් තම කවීත්වය ප්‍රකට කරමින් කවි ලියූ සිංහ පාදයේ ඇඟිලි තුනක් පමණක් පිහිටීම පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ. ඇතැම්හු එය නොසලකා හැරිය ද, ඇතැම් විද්වත්හු ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය සිංහ පාදයම බව තහවුරු කීරීමට සූදානම් වෙති.

සීගිරිය පිළිබඳ වූ ඵෙතිහාසික පුරාවෘත්තය සිත් අලවන එහෙත් ශෝචනීය එකක් වේ. එය මහා වංශයේ කියැවෙන්නේ “...මේ අදමිටු රජු සිය සොහොයුරා ඝාතනය කරනු නොහැකි තැන බියෙන් ඇළැලී ගිය සිත් ඇත්තේය, ඉන් බියව සීගිරට ගියේ ය. මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි මේ පර්වතය සිසාරා සුද්ධකරවා පව්රෙකින් පිරිකෙව් කොට එහි හිණිගෙවල් සිංහයන් බඳු කොට කරවීය.ඒ හෙයින් සීගිරි නම් වීයැ...“

මේ සටහන අනුවම සීහිගිරියෙහි සිංහ රුවක් වූ බව සනාථ වේ.

“නැගී ඇති බලනට - බැලිමි සිහිමියන් සිහිගිරි

මනදොළ පුරයි ඇති - බලන රිසි නොව බෙයන්ද් රන්වන්“ ( සිගිරි ගී 45)

( ඇති දෙයක් බලන්නට සීගිරිය නැග්ගෙමි. සිත්සේ සිංහ රජු දැකීමි.එහෙයින් රන්වන් ලියන් දැකීමට ආශාවක් නොවේ.)

මේ සීගිරි කුරුටු ගීයෙන් මෙන් ම කැටපත් පවුරෙහි ඇති ගී රැසක සිංහයා පිළිබඳ කියැවේ. සීගිරි ගී ලියැවී ඇත්තේ 6 - 8 සියවස්වලදීය. එසේ නම් එකල සීගිරි නැග්ගො සිංහයා දුටහ. එසේනම් එහි වන්නේ සිංහ රුවකැයි කීමට එම සාක්ෂි ප්‍රමාණවත්ය.

මෙය ඉතිහාසයට අනුව 1වන කාශ්‍යප රජු විසින් මුල්වරට රාජධානියක් ලෙස ගොඩනඟන ලදි. එහෙත් ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට සීගිරිය ජනාවාසයක්ව තිබූ බව ඒ අවට ඇති මානව සාධක සාක්ෂි දරයි.

වනවැදී පැවැති සීගිරිය 1831 දී මේජර් ප්‍රෝබීස් සහ ඔහුගේ මිතුරන් විසින් සොයා ගන්නා ලදි. 1834දී සයිමන් කාසිවෙට්ටි විසින්ද 1859 වසරේ දී එමර්සන් ටෙනන්ට් ද සීගිරිය පිළිබඳ සටහන් තබා ඇත. එහෙත් සීගිරිය නැවත පිළිසකර කරන ලද්දේ ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වූ බෙල් මහතා විසිනි. ඔහු ගේ සැලැසුම් ශිල්පී ඒ.ඩී. එල්. පෙරේරා සීගිරියේ බිතු සිතුවම් පිටපත් කර සංරක්ෂණය කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සීගිරිය ලොව ඇති රමණීයම ස්ථානය බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් ලෝක‍යේ අටවැනි පුදුමය ලෙස සැලැකෙන සීගිරිය ලංකාවේ ඇති ලෝක උරුම ස්ථාන කිහිපය අතරින් එකකි.

සීගිරිය සංරක්ෂණය කරද්දී බෙල් මහතා විසින් පර්වත මුදුනෙහි ඉතා උසින් දකින්නට ඇති දිගු ගුහාවක් ගවේෂණය කරන ලදුව, එහි භයානකකම සටහන් කොට වසා දමා ඇත. එසේ වසා දමා ඇත්තේ අනාගතයේ දිනෙක ගවේෂකයන් දිරිගන්වන අයුරිණි. අවධානයට ලක්වන සිංහ සෝපානය හා එම මළුවේ නටබුන් සංරක්ෂණය කරන ලද්දේ 1908 - 1909 වර්වලදීය. සිංහ පාද මළුවේ දැනට ඇති ප්‍රධානම නිර්මාණය වන්නේ දැනට දෙපා පමණක් ඉතිරිව ඇති විශාල සිංහ රූපයයි. මෙය මළුවේ සිට මාලිගයට යෑම සඳහා ඇති එකම මාර්ගයයි.

මේ පර්වතය සිහගිරි ලෙස හැඳින් වූවද බෙල් මහතා එය තහවුරු කර ගන්නා ලද්දේ සිංහ පාදය මතට ගරා වැටි තිබූ නටබුන් ඉවත් කිරීමෙන් පසුය. අවසානයේ බෙල් මහතාට සිහගිරියට නම දුන් සිංහයා හමු විය. ඔහු එය අප වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීය. අද ඊයේ නොවේ අතීතයේ ද සීගිරිය පිළිබඳ විවිධ මතාන්තර තිබේ. සීගිරි ලියන් රාවණ බිසව් මන්දෝදරි බව ද, සිංහපාදය ලෙස හඳුන්වනු ලබන පා යුගළ රාවණ රජුගේ දඬුමොනරාගේ පාද සටහන බවද මතයකි.

මහාචාර්ය අනුර මනතුංග මහතාද සීගිරිය, හා සීගිරි ළඳුන් පිළිබඳ නව අර්ථකතන ලබා දුන් විද්වතෙකි.

1938 වසරේ ඒ. එච්. ලෝංහෙට්ස් විසින් ද කරන ලද සංරක්ෂණය අතර තුර ද සිංහයා ගේ පා නිය මස් බුදින සතෙකුගේ බව පවසා හැඩය වෙනස් කිරීමට කටයුතු කර තිබේ.

සීගිරියෙහි සිංහ පාද තාත්වික බව මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා ඔහුගේ “සීගිරිය , ලෝක උරුමයක වගතුග“ කෘතියේ සටහන් කර ඇත. පළමු සංරක්ෂණ කාර්යයේදි වැරැදීමක් සිදු නොවු බව සනාත කර ගැනීමට මෙන්ම සීගිරියේ නිර්මාණශීලී කලාකරුවා සිංහපාදයේ ඇඟිලි තුනක් පමණ පිහටුවා තිබූ බව සනාථ කර ගැනීමට මෙන්ම ප්‍රතිභා පූර්ණ නිර්මාණකරුවාගේ කුසලතාව හඳුනා ගැනීම සඳහා ඔබට මෙහි ඇති ඡායාරූප මඟ පෙන්වනු ඇත.

යාපහුවේ සිංහ රුව සිංහයෙකුගේ ස්වභාවික පෙනුම දක්නට නැත. එහෙත් අතීතයේ සිටම යාපහුවේ සිංහයා ලෙස එම රුව හඳුන්වනු ලබයි. එය කලා කාමී පරිසරයක විසු කලාකරුවකු ගේ තවත් සුවිශේෂී නිර්මාණයකි. සීගිරිය ද එසේය. කලාකාමී රජකු විසින් කුවේරයා ලෙස ජීවත්වීම සඳහා ආලක මන්දාව මෙන් රම්‍ය රාජධානියක් කලාකරුවෝ ගෘහනිර්මාණ ශිල්පීහු ලවා ගොඩනංවා ගත්හ. එහි ගොඩනැඟෙන සියල්ල තාත්වික විය යුතු නැත. නිර්මාණශීලී ගුණය බහුල වීම කලාකෘතියක අගය වැඩි කරවයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පෙන්වා දෙන පරිදි නිශ්ශංක ලතා මණ්ඩපයේ සිංහයාගේ පෙනෙන්නට ඇත්තේ පා ඇඟිලි තුන නම් සීගිරියේ සිංහයාට ඇඟිලි තුනක් පමණක් පැහැදිලි ලෙස පිහිටුවීම වරදක් නොවේ. ඒ සීගිරීයේ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණශීලී ගුණයයි ප්‍රතිභාවයි. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේන් රසිකයාගේ රසිකත්වය වර්ධනය කරගත හැකිවනු ඇත.

-----------------

“දැනට සීගිරියේ ඇති “සිංහපාදය“ සිංහ පාදයක් ලෙස හඳුන්වනු ලැබුව ද එය සිංහ පාදයක් නොවේ. එය අංග සම්පූර්ණ නැහැ. සිංහයාගේ පාදයක ඇඟිලි හතරක් තියෙනවා. නිය කෙළවර වක්‍රව පිහිටා තිබෙනවා මේ පවත්නා මූර්තිය තුළ එවන් ලක්ෂණ නොමැති බැවින් මෙය සිංහ පාදයක් යැයි කීම සාවද්‍යයි. ගරා වැටී තිබූ සිංහපාදය නැවත් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. එසේ ප්‍රතිනිර්මාණය කරද්දි ප්‍රතිමා ශිල්පියාට මූර්ති ශිල්පියාට හෝ සංරක්ෂකයාට අත්වැරැදිමක් සිදු වී තිබෙනවා.

ඔහු නිර්මාණය කරන්න ඇත්තේ සිංහ පාදයක් වෙන්න පුළුවන් එහෙත් නිර්මාණයේදී පැවැතිය යුතු ලක්ෂණ කෙරෙහි අවධානය යොමු වී නැහැ.

මුල්ම නිර්මාණ ශිල්පියා එය නිවැරදිව නිර්මාණය කර තිබෙන්න ඇති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වරද නිවැරැදි කළ යුතුයි. එය නිවැරැදි කිරීමට දැන් කාලය එළඹ තිබෙනවා.“

- රන්ගිරි දඹුලු උයන්වත්ත විහාරාධිපති
ඉනාමළුවේ සුමංගල හිමි.

-----------------

“එය සාවද්‍ය ප්‍රකාශයක් හොඳ අධ්‍යයනයක් කළා නම් එවැනි ප්‍රකාශයක් නොකරන්න තිබුණා. එහි සිටියේ සිංහයෙක් බව සීගිරි කුරුටු ගී මෙන්ම ඉතිහාස කතා ද, වංශකතා ද අවධාරණය කරනවා. පොළොන්නරු යුගයට අයත් නිශ්ශංකමල්ල රජු ගේ “නිසංකලතා මණ්ඩපයේ“ සිංහයා ගේ පාද අධ්‍යයනය කරන්න තිබුණා. එම සිංහ පාදයේ තියෙන්නෙත් ඇඟිලි තුනයි. එය සංරක්ෂණය කර නැහැ. හොඳ තත්ත්වයෙන් පවතිනවා.“

- පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක

“එතැන සිටියෙ සිංහයෙක් බව සීගිරි කුරුටු ගී වල සටහන් වෙනවා. කලාකරුවා නිර්මාණ කරන්නේ තමන්ට ඕනෑ ආකාරයටයි. එතැන හිටියේ සිංහයෙක්. කලාකරුවො සියලු නිර්මාණ ජීව මානව කරන්නේ නැහැ.“

- මහාචාර්ය අනුර මනතුංග

 

ඡායාරූප පිටපත් කිරීම - සුදම් ගුණසිංහ

 

Comments

පිටු