පරිසර අධිකාරියේ වැටලීම්; පරිසරය හා කාන්තාව | Page 2 | සිළුමිණ

පරිසර අධිකාරියේ වැටලීම්; පරිසරය හා කාන්තාව

 මෙරට පරිසර දූෂණයට තුඩුදෙන කටයුතු කරන හා ඒවාට අනුබල දෙන සියලු පුද්ගලයනට තරාතිරම නොබලා දැඩි දඬුවම් දීමටත් නීතිමය කටයුතු අනුව නඩු පැවරීමටත් කටයුතු කිරීමේ නව වැඩපිළිවෙළක් මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාවට නංවා ඇත. පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළ මඟින් පරිසරය විනාශ කරන හාල් මැස්සන් නොව තෝ‍රු මෝරු වැනි ව්‍යාපාරිකයන්ට ද නඩු පවරන බව මධ්‍යම පරසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

අද අපේ රටේ පරිසර දූෂණ කටයුතු එන්න එන්නම වැඩි වෙමින් පවතී‍. අනවසර වැලි ගොඩ දැමීම, අනවසර පස් කැපීම හා අනවසර ඉඩම් ගොඩ කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය ජල මාර්ගවලට යොමු කිරීම ද සිදුවේ. ජල පෝෂක ප්‍රදේශ විනාශ කර ගොඩනැඟිලි ඉදිකිරීම හා ඉවක් බවක් නැතිව මහ පාරේ තැන් තැන්වල කුණු කසල දැමීම ද ශබ්ද ‍දූෂණය ද අද සිදුවෙන පරිසර වැරැදි අතර ප්‍රමුඛත්වය ගනී.

මේ සියලු වැරැදි පිළිබඳව අධීක්ෂණය කර වැරැදි කරුවන්ට උපරිම දඬුවම් ලබාදීම මෙම අලුත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

කාලෝචිත පියවරක් වන මේ වැඩපිළිවෙළට මෙරට‍ ඇති පාරිසරික සංවිධානවල ද පූර්ණ හා සහාය මධ්‍යම පරිසර අධිකාරියට ලබාගත හැකි ය. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණ වැඩපි‍ළිවෙළක් අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව පොදු මහජනතාවට ද පරිසර දූෂණ කටයුතු පිළිබඳව තොරතුරු 0112888999 දුරකතන අංකය ඔස්සේ ලබාදීමට පුළුවන.

වත්මන් ජනාධිපතිතුමා පරිසර ඇමැති ලෙස කටයුතු කරන මේ වකවානුවේ කිසිම බලපෑමකට යටත් නොවී මේ පරිසර දූෂකයන්ට පරිසර හොරුන්ට දැඩි දඬුවම් දීමට කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය ඇත. එය ඍජුව හා ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම එහි සියලු නිලධාරීන්ගේ වගකීමකි.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය මෙවරත් ජනාධිපති පරිසර සම්මාන උලෙළ ප්‍රකාශයට පත්කර ඇත. ඒ මඟින් මෙරට පරිසර සංරක්ෂණයට ඇප කැපව‍ූ ආයතනවලට හා පුද්ගලයන්ට ජනාධිපතිතුමා අතින් ම මෙම සම්මාන ලබා දීමට කටයුතු ‍යොදා තිබීම ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. රටේ පරිසර සංරක්ෂණයට උනන්දු වන අය ධෛර්යමත් කිරීම අරමුණු කරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙවරත් මෙම ජනාධිපති පරිසර සම්මාන උලෙළ පවත්වන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

මේ අතර මාර්තු 8 වැනිදා ජගත් කාන්තා දින‍යයි. මෙරට පරිසරය සුරැකීමට වැඩියෙන් ම සුරැකීමට හැකි පිරිස කාන්තා පරපුරයි. නිවසේ සිටම පරිසරය සුරැකීමට කාන්තා පරපුරට ලොකු හැකියාවක් තිබේ. ඒ අනුව මුලින් ම කුස්සියේ ළිප පත්තු කිරීමේදී පිටවෙන දුම් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. ඒ දුමේ ඇති විෂකාරක පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එමෙන් ම දුම ගේ ඇතුළට ඒම වැළැක්වීමත් කාර්යක්ෂම ළිප භාවිතයත් ඉතා වැදගත් වේ. ඊළඟට කුස්සියේ ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය අපේ කාන්තා පරපුර අතින් ඉටු විය යුතු තවත් යුතුකමකි. ඒ අනුව අපද්‍රව්‍ය අවම කිරීම හා අපද්‍රව්‍ය ජනිත වීම අඩු කිරීම සඳහා මුලින්ම කළ යුත්තේ කුස්සියෙන් ඉවත්වන අපද්‍රව්‍ය වර්ග කිරීමයි.

අප වෙළෙඳ පොළට ගිය පසු සිලි සිලි මලු රැසක් අපිට ලැබේ. නමුත් අප කළ යුත්තේ ඒවා නැවත පාවිච්චියට තබා ගැනීම මිස තැන් තැන්වල විසි කිරීම නොවේ. එසේ නැත්නම් අනවශ්‍ය සිලි සිලි බෑග් ලබා නොගෙන සිටීමට ද අප කටයුතු කිරීම පරිසර හිතකාමී වේ.

පොලිතින් බෑග් වැඩිපුර ඇත්නම් ඒවාත් ප්ලාස්ටික් කැබලිත් පොලිතින් කැබලි ඖෂධීය ආවරණය ආදි මෙන් ම පරණ යකඩ කෑලි, බිදුණු වීදුරු ආදිය ද එකතු කර වෙන වෙනම බඳුන් තුනක දමා ඔබ ප්‍රදේශයේ අපද්‍රව්‍ය එකතු කරන ප්‍රාදේශීය සභා වාහනයට ලබාදීමට කටයුතු කිරීම ඉතා කාලෝචිතය‍.

රටේ සියලු කාන්තාවන් ගෙදර දොරේ අපද්‍රව්‍ය ජනනය අඩු කළොත් ඉන් රටේ ම අපද්‍රව්‍ය ජනනය වීම අවම වනු ඇත. ඊට පසු කාන්තාවන්ට කළ හැකි පරිසරය අනෙක් කටයුත්ත වනුයේ තම ගෙවත්තේ අපද්‍රව්‍ය පුච්චා දැමීමේ ක්‍රියාදාමය විධිමත් කිරීමයි. එය අප කළ යුත්තේ ඉතා පරිසරගතකාමීවය.

මෙවැනි කුණු ගොඩවල් තම නිවස අසල පිළිස්සීම සිදු නොකළ යුතු ය. විශේෂයෙන් පිළිස්සීමට අදාළ කුණු කසළ ගොඩවල්වල පොලිතින්, ප්ලාස්ටික් තිබුණහොත් ඉන් ශරීරයට අහිතකර පිළිකා ජනක ද්‍රව්‍ය පිටවීමට පුළුවන. පසුව ඒවා ඒ පරසරයේ නිතර වෙසෙන ගෙදර පදිංචිකරුවන්ගේ ශරීරයට යාමට පුළුවන.

ඒ අනුව අපට කිව හැක්කේ මෙරට පරිසරය සුරැකීමට අපේ කාන්තා පරපුරට ඉමහත් මෙහෙයක් කළ හැකි බවයි‍.

පරිසරය සුරැකීම ගෙදරින් ම ආරම්භ කිරීම කාන්තා පරපුරට අද සිදුකළ හැකිය. ඒ අනුව කළ යුත්තේ ඒ සඳහා කාන්තා පරපුර යොමු කරවීමේ වැඩසටහන් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් හා පරිසර අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නැංවීමයි. මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පරිසරය සුරැකීමට කරන කාර්ය භාරය තවත් වැඩිවීමට එය හේතු වනු ඇතැයි අපේ අපේක්ෂාවයි.

Comments