අලුතින් සොයාගත්තත් වැඩක් නැති මහාද්වීපය සීලන්ඩියා | Page 2 | සිළුමිණ

අලුතින් සොයාගත්තත් වැඩක් නැති මහාද්වීපය සීලන්ඩියා

ලෝකයේ අටවැනි මහාද්වීපය තමන් සොයා ගත් බව අමෙරිකානු භූ විද්‍යාඥයෝ පිරිසක් පසුගියදා ප්‍රකාශයට පත් කළහ. පෘථිවි ගෝලයේ ජල ගෝලයට සාපේක්ෂව භූමි ප්‍රමාණය අවම බැවින් නව මහාද්වීපයක් සොයා ගැනීම යනු මිනිස් වර්ගයාගේ ප්‍රීතියට හේතු විය යුතු කරුණක් වුවද අවාසනාවකට මෙන් මේ නව මහාද්වීපය සම්පූර්ණයෙන්ම පාහේ පිහිටා ඇත්තේ ජල ලතයෙන් යටට වන්නටය.

මේ නව මහාද්වීපයේ උසින් වැඩිම ප්‍රදේශය පමණක් ජලයෙන් ඉහළට මතු වී ඇති අතර එම ප්‍රදේශය නවසීලන්තයයි. ඒ අනුව යමින් අලුත්ම මහාද්වීපයට සීලන්ඩියා යන නම ලබාදීමට භූ විද්‍යාඥයන් කටයුතු කර තිබේ.

මෙවැනි තවත් විශාල භූ ස්කන්ධයක් පෘථිවි ගෝලයේ පැවතිය යුතු බවට විද්‍යාඥයන් සැක පහළ කළේ 1920 තරම් ඈත අතීතයේය. ඒ යුගයේ සිට පරීක්ෂණ පැවැත්වුවද සෑහිමකට පත්වීමට තරම් සාක්ෂි සපයා ගනිමින් තම සොයාගැනීම මාධ්‍ය හමුවට ගෙන ඒමට ඔවුන් සමත් වූයේ මීට දින කිහිපයක් තරම් මෑතදීය.

නවසීලන්තය, චැතම් දූපත් සහ නව කැලිඩෝනියාව යන ගොඩබිම් ප්‍රදේ්ශ ඕස්ට්‍රේලියා මහාද්වීපයට අයත් බවට මීට පෙර විශ්වාස කරනු ලැබීය. එහෙත් විද්‍යාඥයන් පසුව හඳුනා ගත්තේ මේ ප්‍රදේශ ඔස්ට්‍රේලියානු භූ තැටිය හා සම්බන්ධ නොවන බවයි. එසේ නම් මේ භූමි ප්‍රදේශ පමණක් මෙලෙස හුදෙකලාව පවතින්නේ කෙසේද යන ගැටලුව විසඳීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය. නවසීලන්තය පිහිටා ඇති භූ තැටිය සෙසු සාගරික භූ තැටිවලට වඩා වැඩි ඝනත්වයකින් යුක්ත වීම ප්‍රථමයෙන්ම විද්‍යාඥයන්ගේ කුතුහලය ඇවිස්සීමට හේතු පාදක විය. ඒ ඔස්සේ කළ පරීක්ෂණවල අවසාන ප්‍රතිඵලය වූයේ මෙතෙක් මුහුදෙන් වැසී තිබූ සීලන්ඩියාව තහවුරු කර ගැනීමය.

නවසීලන්තය සම්බන්ධව පවතින්නේ ඕස්ට්‍රේලියානු භූ තැටියට නොවන බව තහවුරු කර ගැනීමද සීලන්ඩියාව සොයා ගැනීමේ සාර්ථකත්වය වර්ධනය කිරීමට උපකාර විය. කෙසේ වුවද අතීතයේ සීලන්ඩියාව නම් වන මේ මහා භූමි ප්‍රදේශය ඕස්ට්‍රේලියානු භූ තැටිය හා සම්බන්ධව පැවති බවත් අදින් අවුරුදු මිලියන 80කට පෙර එය ඔස්ට්‍රේලියානු භූ තැටියෙන් බෙදී වෙන්ව ගොස් ඇති බවත් පර්යේෂණය සිදු කළ භූ විද්‍යාඥයන් සාක්ෂි සහිතව සනාථ කොට තිබේ.

ඒ අනුව පෘථිවි තලය මත මේ දක්වා පැවති මහාද්වීප සංඛ්‍යාව අට දක්වා වැඩි වනු ඇත. එහෙත් අවාසනාව වන්නේ මේ මහා භූමි ප්‍රදේශය ඉතා සුළු කොටසක් හැර ඉතිරි සියල්ල සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී පැවතීමය.

Comments