
එමා පුංචි සන්දියේ සිටම හරි හුරුබුහුටියි. ඇගේ මේ පිරිච්ච පෙනුම නිසාම පවුලේ අය අතරත් නිතරම ඇයට හිමි වුණේ විශේෂ තැනක්. ඊජිප්තුවේ ඇලෙක්සැඩ්රියා නුවර උපන් ඇය වයසින් වැඩෙත්ම සිරුර ද අසාමාන්‍ය ලෙස මහත්වීම නිසා පාසලේ දී පවා එමා කැපී පෙනුණු දැරියක් වූවා. එහෙත් වයස අවුරුදු එකොළහේදී ඇගේ සිරුරේ මේ අසාමාන්‍ය මහත්වීමත් සමඟ එමාට ප්‍රාථමික පාසල් ගමනට තිත තබන්න සිදු වූයේ නොසිතූ ලෙසින්. සිරුරේ ඇති වූ ඒ අසාමාන්‍ය තරබාරුවත් සමඟ ඇගේ බර ද වැඩිවී ඇයට ඇවිද යෑම අපහසුවීම එමාගේ දෙමවුපියන්ට ප්‍රශ්නයක් වුණා. අන්තිමේ දී නිවෙසේදී එමා ඇවිදීම වෙනුවට දණගාමින් යන්න එන්න පටන් ගත්තා. ඒ නිසාම දෙමවුපියන් එමා වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කරද්දී ඔවුන් පැවසුවේ අදහාගත නොහැකි දෙයක්. එමා එලිෆන්ටියාසිස් නමැති අධික තරබාරුවට පත්වීමේ රෝගයෙන් පෙළෙන බවයි. ඒ වයසේදීම ඇති වූ ආඝාත තත්ත්වයක් නිසා සිරුරේ පැත්තක් අප්‍රාණික වී ඇඳටම සීමා වූ ජීවිතයක් ගත කිරීමට එමාට සිදු වූයේ ඉන්පසුවයි.
එතැන් පටන් වසර 25ක් ගෙවී වයස අවුරුදු 36ක් ගත වනතුරුත් එමාට ඇඳෙන් මෙහා ලෝකයක් දක්නට ලැබුණේ නැහැ. එමාට එතැන් පටන් දවසේ විසි හතර පැයම ගෙවුණේ ඇඳේමයි. මෙ ලෙසින් කාලය ගත කළ එමාට යළි ජීවිතයක් පිළිබඳ පුංචි හෝ බලාපොරොත්තුවක් ඇති වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යි. එයට හේතු වුණේ ඇගේ පවුලේ උදවිය අන්තර් ජාලය හරහා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල් සිසි වෙත කළ ආයාචනයයි.
“අපේ එමා ඇඳට වී දැන් අවුරුදු 25ක්. ඇගේ බර කිලෝ ග්‍රෑම් 488ත් ඉක්මවූවා. ඇයට ප්‍රතිකාර කරන්න අපට පිහිට වන්න.“ ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කළා.
ඇඳේම කල් ගත කිරීම හේතුවෙන් එමා තවත් විවිධාකාර වූ රෝගවලින් පෙළෙන්න වීම නිසා ඇගේ ජීවිත අවදානම වැඩි වීම ඔවුන්ට දරාගත නොහැකි වුණා.
පවුලේ අයට අවශ්‍ය වුණේ එමා ඉන්දියාවේ මුම්බායි හි රෝහලකට ඇතුළත් කරන්නයි. ඉන්දියාවේ මෙවන් අධික ස්ථුලභාවයෙන් පෙළෙන උදවියට වෛද්‍ය ප්‍රතිකාර කිරීම සඳහා පොරොත්තු ලේඛනවල සිටීම අනවශ්‍යයි.
එසේම වැය වන මුදල ද දරා ගත හැකියි. එපමණක් නොවෙයි අධික ස්ථුලභාවයට පත් අයට ප්‍රතිකාර කිරීම ගැන මේ වෙද්දී ඉන්දියාවට ඇත්තේ හොඳ කීර්තිනාමයක්. මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා බටහිර රටවලින් ඉන්දියාවට ඇදී ඒමේ ප්රවණතාවත් වැඩියි.
එමාට උදව් උපකාර පතා කළ ආයාචනාවලට අවසානයේ පිහිටට ආවේත් ඉන්දියානු වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍ය මුෆාසාල්. එමාට නොමිලයේ ප්‍රතිකාර කිරීමට එම වෛද්‍යවරයා ඉදිරිපත් වුණා. මෙතැන් පටන් එමාගේ පවුලේ උදවිය යුහුසුලු වුණේ එමා ඉන්දියාවට යවා ගැනීමටයි.
වසර 25කට පසු එමා ඇගේ කාමරයෙන් එළියට ගැනීමේ පටන් සියල්ල ඔවුන්ට ප්‍රශ්නයක්. එමාට ඉන්දියාවට යෑම සඳහා ඔවුන් ඉදිරිපත් කළ වීසා අයැදුම්පත් ද කීප වරක්ම ප්‍රතික්ෂේප වුණේ පවුලේ අය කම්පාවට පත්කරවමින්. යළිත් වරක් එතැනදීත් ඔවුන්ගේ පිහිටට පැමිණියේ ඉහත කී කාරුණික වෛද්‍යවරයායි.
‘‘ ඉන්දියානු විදේශ ඇමැතිනී සුෂ්මා ශිවරාජ් වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබීමට මේ දිනවල රෝහල්ගතව සිටියා. මා ඇගෙන් එමාගේ වීසා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් උදව් ඉල්ලුවා. අන්තිමේ එතුමිය එමාට වීසා ලබා ගැනීමට උදව් කළා.“ වෛද්‍ය මුෆාසාල් පැවසුවා.
වීසා ලබා ගැනීමෙන් පසු මතු වූයේ එමා ඉන්දියාවේ මුම්බායි කරා කැටුව යෑමට ගුවන් යානයක් සොයා ගැනීමයි. එමා වැනි බරපතළ ගණයේ රෝගියකු ගුවනින් රැගෙන යෑමට කිසිම ගුවන් සේවයක් කැමැත්ත පළ කළේ නැහැ. අවසානයේ ඒ ප්රශ්නය විසඳුණේ ඊජිප්තු ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යෙදවීමෙනුයි. මේ ගුවන් යානයට එමා සෞඛ්‍යය ආරක්ෂිතව රැගෙන යෑම සඳහා හුස්ම ගැනීම පහසු කරවීමේ උපකරණ, ඔක්සිජන් සිලින්ඩර හා තවත් විශේෂ වෛද්‍ය උපකරණ සවි කරනු ලැබුවා. එපමණක් නොවෙයි ඇය ආරක්ෂිතව ගුවනින් රැගෙන යෑමටව විශේෂ ඇඳක් ද නිර්මාණය කළා. ඒ අතර ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් දින 10කට පෙර ඊජිප්තුවට පැමිණ එමාගේ රුධිර ඝනකම අඩු කරමින් ඇය ශාරීරිකව ගමනට සූදානම් කළා.
“ එමා පසු වූයේ ඉතාමත් අවදානම් තත්ත්වයක. බර වැඩිවී වසර 25කින් ඇවිදපු නැති නිසා යන අතරමඟදී ඇගේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් වෛද්‍යමය පියවර ගත්තා. “ යැයි එම වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු පවසා තිබුණා.
මේ සියල්ල සූදානම් කළ පසු මතු වූයේ එමා ආරක්ෂිතව ඇගේ නිවෙසින් එළියට ගැනීමේ භාරදූර කාර්යයි. අවසානයේ වෛද්‍ය කණ්ඩායම ඇතුළු ආධාරකරුවන්ට සිදු වූයේ ඇය රැඳී සිටි කාමරයේ බිත්තියක් කඩා දොඹකරයක් ආධාරයෙන් ඇය එළියට ගැනීමටයි. එලෙස වසර 25කට පසු නිවෙසින් පිටතට ගත් එමා පසුගිය දා පැය 7ක ගුවන් ගමනකින් පසු ඉන්දියාවේ මුම්බායි හි චටුපති ෂිවාජි අන්තර් ජාතික ගුවන් තොටුපොළේ සිට සයිෆී රෝහල කරා රැගෙන ගියේත් ඇගේ බරට සරිලන ලෙස සැකසූ විශේෂ තට්ටුවක තබා ගෙනයි. ඇය සමඟ ඇගේ සොහොයුරිය ද ඉන්දියාවට පැමිණියා.
“අපි පසුගිය සඳුදා සිට ඇගේ බර කිලෝ 110 දක්වා අඩු කිරීමට දියර ආහාර දෙන්න පටන් ගත්තා. ඇගේ තරබාරුව හා බැඳුණු රෝග සියල්ල පාලනය කරමින් යනවා. පැය දෙක හමාරක් පමණ යන මේ සැත්කමින් පසු ඇගේ බර අඩු වේවි යැයි එමාගේ සෞඛ්‍යය සිය වගකීම කරගත් වෛද්‍ය මුෆාසාල් ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ පසුගියදා පැවසුවා.
රෝහලේ දී ඇගේ ජීවිතය රැක ගැනීමට ශරීර බර අඩු කිරීම ඇතුළු ශල්‍යකර්ම මාලාවකට ඇය භාජනය වීමට නියමිතයි.