තනියම දෙයක් කර ගැනීමට බැ‍රි මේ දරුවන්ට ඔබේ උදව් ඕනෑ | Page 2 | සිළුමිණ

තනියම දෙයක් කර ගැනීමට බැ‍රි මේ දරුවන්ට ඔබේ උදව් ඕනෑ

හිරිමල් භද්‍ර යෞවනය කොතරම් සුන්දරද...? එහෙත් ඒ යෞවනයේ චමත්කාරය අත් විඳීමට වරම් නොලැබ පිපී විකසිත වන්නට පෙර දෛවයේ සරදමින් අකාලයේ එක් තැන්වීමට සිදු වූ තරුණ තරුණියන් පිරිසකගේ කතාවකි මේ. දස මසක් කුස දරා මවක සිය දරුවා මෙලොවට බිහි කරනුයේ දහසක් බලාපොරොත්තු එක් රැස් කරගෙනය. එහෙත් ඒ අලුත උපන් දරුවා අබාධිත හෝ මන්ද මානසික දරුවකු වුවහොත්? අප රටේ බොහොමයක් දෙමවුපියෝ එවන් දරුවන් සිය පවුලේ අනෙකුත් දරුවන් අතරම ආදරයෙන් හදා වඩා ගනිති. එහෙත් වත්මන් කාර්යබහුල සමාජයේ කාලයාගේ ඇවෑමෙන් මෙවන් දරුවනට දෙමවුපියන් අහිමිවීමෙන් පසු රැකවරණය සැලසීමේ දී ගැටලු මතුවිය හැකිය. එසේම එම දරුවන් වැඩෙද්දී ඔවුනට තම කටයුතු යම් තරමකින් හෝ තමන් විසින්ම කර ගැනීමට හුරු කරවීම සිදුවිය යුතුය. එවන් දරුවන් රැක බලා ගනිමින් ඔවුන් යම් කාර්යන් සඳහා හුරු කරවමින් රැක බලා ගන්නා ආයතනයක් පිළිබඳ තොරතුරකි මේ.

නාත්තන්ඩිය, දුක්කන්නාව- ස්වර්ණදාම පදනම පරිශ්‍රයේ පිහිටි මේ ආයතනයේ මේ වෙද්දී තරුණ-තරුණියෝ 80 දෙනෙක් පමණ නේවාසිකව සිටිති.

මේ දරුවන්ගේ රෝගී තත්ත්වය සලකා උවැටන් කරන සත් පුරුෂ කණ්ඩායමක් විසින් ස්වර්ණදාම පදනම නමින් පිහිටුවාගත් සංවිධානයක් හරහා මේ අසරණයනට ආහාරපාන, ඇදුම්, බෙහෙත් හා ආදර සෙනෙහස නොඅඩුව ලබා දෙයි. වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා නාත්තන්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අධික්ෂණය හා උපදෙස් අනුව මෙම ආයතනය පවත්වා ගෙන යන බව එහි ලේකම්/අධ්‍යක්ෂ ශ්‍රියාරත්න මුණසිංහ මහතා පවසයි.

"1992 මාර්තු මස 12 වැනි දින ප්‍රථමයෙන්ම විශේෂිත දරුවන් හතරදෙනකුගෙන් මෙම ආයතනය ආරම්භ කළා. මේ වෙද්දි පිරිමි දරුවන් 39ක් හා ගැහැනු දරුවන් 40ක් පමණ සිටිනවා. ඔවුන්ට ආදරය සෙනෙහස කරුණාව ලැබීය යුතුයි. අප මෙය පවත්වා ගෙන යන්නේ ඉතාම අඩු සේවක පිරිසක් සමඟින්. අධිකරණ නියෝග මත, සමාජ සේවා දෙපාර්තමේන්තුව හා වෙනත් ආයතන මගින් හා අසරණ අහිංසක පවුල්වල සිටින මන්ද මානසික හා මන්ද ඌණතා ඇති රැකවරණය දීමට අපහසු දරුවන් මෙහි ගෙනැවිත් බාර දෙනවා.

එක් අයකු වෙනුවෙන් මසකට රුපියල් 3000 ක් 4000ක් පමණ වැය කරන්න සිදුවෙනවා. රජයෙන් එක් අයකුට මසකට ලබා දෙන්නේ රුපියල් 500ක් පමණයි. ඒත් පසුගිය 2015 වර්ෂයේ මුදල් තවම ලැබුණේ නැහැ. පරිත්‍යාගශීලින් දාන මන ලබා දෙනවා. ඒත් සෑම දිනකම නැහැ. එදාට අපි ආහාර මෙහි සකස් කරනවා. ඒක් වේලක් සදහා රුපියල් 10,000 කට ආසන්න මුදලක් වැය වෙනවා.

දේශපාලනඥයන් මේ වගේ ස්ථානවලට උදව් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ අයට ඡන්ද බලයක් නැහැ. ඉතිං මේ අයට කිසිම පිළසරණක් ලබා දෙන්න ඒ අය කැමැති නැහැ. පෞද්ගලික ආයතන හා පුද්ගලයන්ගේ පරිත්‍යාග මතයි මෙය පවත්වා ගෙන යන්නේ. කෙනෙක් අසනීප වුණාම මාරවිල රොහලට ගෙන යන්න ඕනෑ. වාහනයක් අපට නැහැ. කුලී රියකින් තමා ගෙන යන්නේ. ඒ සඳහා රුපියල් 750ක් 1000 ක් වැය වෙනවා. ළඟ නවත්වන්න වුණොත් මුදල් දී කෙනෙක් ළඟ නවතා තබන්න දවසකට රුපියල් 1500 ක් දෙන්න ඕනෑ. කවුරුත් කැමැති නැහැ මේ අයට පිහිට වෙන්න. පින් තකා උදව් කරන්නේ නැහැ. සෑම දෙයකටම මුදලක් අවශ්‍යයි. අපට මුදල් ලැබෙන්නෙත් ඉතා කලාතුරකින්. කොහොම හරි මෙම ආයතනය පවත්වා ගෙන යනවා. උදව් උපකාර කරන්න කැමැති අයට මෙහි පැමිණ දැක-බලා පිහිට වෙන්න කියා මම ආරාධනා කරනවා." මුණසිංහ මහතා පැවසීය.

මේ දරුවන් මුණසිංහ මහතා අමතන්නේ ලොකු මාමා ලෙසිනි. පාලක ජයතිලක වීරක්කොඩි මහතා පොඩි මාමාය. ඒ ඔවුන් දරුවන්ට දක්වන දැඩි ආදර සෙනෙහස නිසාය.

"මේ දරුවෝ උදේ-සවස බුදුන් වැඳ මල් පහන් පූජා කර තමන්ට මෙම සසරේ මෙවන් දුකක් නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. විවිධ දක්ෂතා ඇති අයත් මෙහි සිටිනවා. ක්‍රීඩා, නැටුම්, ගැයුම්වලින් පළාත් හා සමස්ත ලංකා ජය ලබාගත් අයත් සිටිනවා. ඒ සඳහා සහතික, පදක්කම් ලබා ගෙන තිබෙනවා. ඔවුන්ගේ හැකියාවන්ට, කුසලතාවන්ට අත හිත දෙන්න හැකි නම් තවත් ඉදිරියට ගෙන යන්න පුළුවන්. අපස්මාරය හා ඔටිසම් වැනි රෝග ලක්ෂණ මේ අයගෙන් දැකගත හැකියි. ඇතැමුන් වෙතින් අධි ක්‍රියාකාරිත්වයත් තවත් අයගේ මන්ද මානසික ලක්ෂණත් තියෙනවා. වැඩි දෙනකුට තමන්ගේ වැඩ කොටසවත් තනියම කරගන්න බැහැ. යමක් සිතාමතා කරන්න බැහැ. මෙවැනි විවිධ ප්‍රභේද නිසා මේ අය එකට එකතු කරන්නත් බැහැ. එනිසා බලා කියා ගැනීමට විශා‍ල වෙහෙසක් දරන්න ඕනෑ." යනුවෙන් පාලක වීරක්කොඩි මහතා විස්තර කළේය.

මෙම ස්ථානයට උදව් කිරීමට කැමැති අය අධ්‍යක්ෂ/ලේකම් ශ්‍රියාරත්න මුණසිංහ, ස්වර්ණදාම පදනම, දුක්කන්නාව, නාත්තන්ඩිය. ලිපිනයට හෝ 032-2251222 දුරකථනයට අමතන්න.

Comments