තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න හැබැයි මේ උපකරණයත් ළඟ තියා ගන්න | Page 2 | සිළුමිණ

තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න හැබැයි මේ උපකරණයත් ළඟ තියා ගන්න

මෙන්න පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය
අද අංක 05

තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න කිව්වේ අපේ රටේ හිටපු නායකයෙක්. ඒත් එහෙම කිව්වට ඒ කොහොමද කියලා නම් කිව්වේ නෑ. එදා කියපු දේ ලෝකේ පුරා ජනප්‍රිය නොවුණත් ඒ තියරිය භාවිතයට අරගෙන තමන්ගේ ආරක්ෂාව තමන්ටම සපයා ගන්න පුළුවන් උපකරණයක් පසුගිය වසරේදී නිපදවනු ලැබුවා. පසුගිය වසරේදී ලොවට තිළිණ කෙරුණු හොඳම නව නිපැයුම් දහය අතරින් පස්වැනි තැන දිනා ගැනීමටත් ඒ උපකරණයට හැකියාව ලැබුණා.

ඒකට කියන විශේෂිත නමක් නැහැ. ඒත් ඒකට සරලව කියන්න පුළුවන් නමක් තියෙනවා. ඒ තමයි ශරීර ආරක්ෂක ආවරණය කියලා. මේ ශරීර ආරක්ෂක ආවරණය තවත් උපකරණ කීපයකින් සමන්විතයි. ඒ අතර විදුලි සැර විදිය හැකි තුවක්කුවක්, අධි බලැති ෆ්ලෑෂ් ලයිට්එකක් සහ කැමරා ෆෝන් චාජරයකුත් තිබෙනවා. මේ සියල්ල අරමුණු කරගන්නේ මේ ශරීර ආරක්ෂක ආවරණය පැලඳ සිටින්නාගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

මෙවැනි උපකරණ ඉස්සරනම් අපි දැක්කේ චිත්‍රපටවල විතරයි. චිත්‍රපටයේ වීරයා සතුරන් සමග සටන් කරද්දී මෙවැනි අතිනවීන උපකරණ ඇදලා අරගෙන සතුරන් ගේ මානසික ශක්තිය බින්දුවට වට්ටනවා දකින ප්‍රේක්ෂක ජනතාව විස්මයට පත් වුණා. ඒත් ඒවා හැබෑ ලෝක‍ේ භාවිතයට එක් වෙයි කියලා වැඩි දෙනෙක් බලාපොරොත්තු වුණේ නැහැ.

පසුගිය වසරේ දී මේ නව නිපැයුම ඉදිරිපත් කළාට පස්සේ වහාම හොඳම නිපැයුම් දහය අතරට එයත් එක්කරගන්න අර කලින් කියපු හේතුවත් බලපාන්න ඇති.

මේ උපකරණය හදලා තියෙන්නේ කැලිෆෝර්නියාවේ නව නිපැයුම්කරුවෙක්. ඔහු එය නම් කරලා තිබුණේ පැලඳිය හැකි ආත්මාරක්ෂක උපකරණයක් ලෙසින්. දැන් බලමු මේ උපකරණය පැලඳගෙන සිටින පුද්ගලයා සතුරු ආක්‍රමණයකදී තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නේ කොහොමද කියලා.

දැන් හිතමු අඳුරු රාත්‍රියක හුදෙකලාව පාරේ ගමන් කරනා පුද්ගලයකු ඉදිරියට සොරුන් කණ්ඩායමක් එනවා කියලා. මේ සොරුන් අර හුදෙකලා පුද්ගලයාට පහර දෙනවා. දැන් ඒ පුද්ගලයා කොහොමද මේ උපකරණය භාවිතයෙන් තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නේ.

ඔහුට පුළුවන් ප්‍රථමයෙන්ම තමන්ට එල්ල වන ප්‍රහාරයන්ගෙන් බේරෙන්න. මොකද ශරීර ආවරණයක් පැලඳලා ඉන්න නිසා. මේ උපකරණයට ගන්නත් පුළුවන්. සතුරු ප්‍රහාරය තවත් ප්‍රබල නම් ඔහුට පුළුවන් අධි බලැති ආලෝකය සතුරන්ගේ ඇස්වලට එල්ල කරන්න. එත් හරි ගියේ නැත්නම් පුළුවන් විදුලි සැර විදින තුවක්කුව භාවිතයට ගන්න. මේ ඔක්කොම කරන අතරේ උදවු ඕනෑ කියලා දැනුණොත් වහාම ජංගම දුරකථනයෙන් පොලිසිය අමතන්නත් හැකියාව තියෙනවා.

මේ සියල්ල තමන් පහරදෙන පුද්ගලයා සිරුරේ සඟවාගෙන ඉන්නවා කියලා සතුරන් කීයටවත් හිතන්නේ නැති වෙයි.

මේ උපකරණය කෙරෙහි බොහෝ දෙනා ආකර්ෂණය වන බවට අනුමාන අවශ්‍ය නැහැ. සැබවින්ම මේ උපකරණය සඳහා අති නවීන තාක්ෂණය ඇති තරම් යොදාගෙන තියෙනවා. ශරීර ආවරණ වැස්ම එහෙමත් නැත්නම් අත් ආවරණය සඳහා යොදාගෙන තිබෙන අමුද්‍රව්‍ය අති විශේෂයි. කෙව්ලර් නම් නවතම අමුද්‍රව්‍යයක් සහ ඝන ප්ලාස්ටික් එහි අඩංගු වනවා. ඒ හේතුවෙන් මේ උපකරණයේ වැස්ම පෙනෙන්නේ කෘත්‍රිම හමක් ලෙසින්. එය සතුරන්ට තමන්ගේ ගොදුර සන්නද්ධ බවට ඉඟි ලබා දීම වළක්වනවා.

නිතරම විදුලි සැර විදින තුවක්කුව ආරෝපණය වී තිබීම සඳහා ලිතියම් බැටරියක්ද මේ උපකරණයේ අන්තර්ගතයි. ඒ විතරක් නෙමෙයි උපකරණයේ අන්තර්ගත වී තියෙන ජංගම දුරකථනයේ චලන ඡායාරූප ලබා ගත හැකි විශේෂ කැමරාවක්ද තියෙනවා. සටන් කරන අතරතුර මේ උපකරණය භාවිත කරන්නාට පුළුවන් තමන්ට පහර දෙන සතුරන්ව ඡායාරූපගත කරන්න. ඒවා පස්සේ හොඳ සාක්ෂි තමයි.

මේවා දැනගත්තාම හොරු මංකොල්ලකාරයෝ වුණත් කාට හරි පහර දෙන්න කලින් දෙපාරක් හිතයි නේද? ඇත්තටම තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න සිදුවන වටාපිටාවක ඒ වෙනුවෙන් උපකරණත් තියෙන එක හොඳයි.

Comments