කිසිම සිහිනයක් සැබෑ කරගන්න බැරි තරම් විශාල නැත! | සිළුමිණ

කිසිම සිහිනයක් සැබෑ කරගන්න බැරි තරම් විශාල නැත!

ගූගල් සමාගම යනු දැනට ලෝකයේ ඇති ව්‍යාපාරික ස්ථාවරත්වය අතින් ඉදිරියෙන්ම සිටින සමාගම් කිහිපයෙන් එකකි. එහි වත්කම් මනිනු ලබන්නේ ඩොලර් බිලියන ගණන්වලිනි. මේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යනු විශ්වයේ කාර්යබහුලතම වෘත්තිකයන් කිහිපදෙනා අතරට අනිවාර්යයෙන් එක් වන පුද්ගලයෙකි. දැනට මේ තනතුරු හොබවනු ලබන්නේ ඉන්දීය ජාතික සුන්දර් පිච්චෙයි විසිනි.

පසුගියදා සුන්දර් පිච්චෙයිට තමන් වෙත යොමු කර තිබුණු එහෙත් මඳක් අසාමාන්‍ය ලිපියක් දක්නට ලැබුණේය. ඔහු වෙත යොමු කර තිබූ දහසක් රාජකාරි ලිපි අතර මේ ලිපිය මඳක් වෙනස් විය. එය ලියා තිබුණේ සත් හැවිරිදි කුඩා දියණියකි. ඇය 'චෝලේ බිජ්වෝටර්' ය.

ඒ ලිපිය සුන්දර් පිච්චේයිගේ කාර්යබහුලත්වයෙන් මොහොතකට ඔහු මුදාගැනීමට සමත් විය. එහි මෙසේ ලියා තිබිණි:

''මගේ නම චෝලේ. මම කැමතියි ලොකු වුණාම ගූගල්-එකේ රැකියාවක් කරන්න. ඒ වගේම මම චොකලට් කර්මාන්ත ශාලාවක රැකියාවක් කරන්නත් ආසයි. ඔලිම්පික් උලෙළකදී පිහිනුම් ක්‍රීඩාවේ නියැළෙන්නත් මම කැමතියි. මම පරිගණකවලට කැමැතියි. මගේ තාත්තා මට රොබෝවරයකු යොදාගෙන කරන ක්‍රීඩාවක් කියලා දුන්නා. ඔහු කිව්වා ඒ ක්‍රීඩාවේ නියැළීමෙන් මට පරිගණක ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලා. ඒ වගේම දවසක ඔහු මටම පරිගණකයක් අරන් දෙන්නම් කියලත් කිව්වා.

පාසල‍ේදී මා දක්ෂ බව මගේ ගුරුවරුන් මගේ මවුපියන්ට කියා තිබෙනවා. එ නිසා තවත් උනන්දුවෙන් කටයුතු කළොත් පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු මට ගූගල් සමාගමේ රැකියාවක් ලැබේයැයි මා විශ්වාස කරනවා.

ඔබට අයදුම්පත්‍රයක් යොමු කරන්න කියලා මගේ තාත්තා මට කිව්වා. අයදුම්පත්‍රයක් කියන්නේ මොකක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒත් මම හිතනවා දැනට ලියුමක් ලිවුවාම ඇති කියලා.''

එලෙස සටහන්ව තිබූ කඩදාසියේ කෙළවර ''මගේ වයස අවුරුදු හතයි'' යනුවෙන් සටහනක්ද විය.

සැබවින්ම වෘත්තීය ලෙස සලකන්නේ නම් මේ ලිපිය යා යුතුව තිබුණේ කුණු කූඩයටය. එහෙත් ඒ සමග කුඩා දරුවකුගේ සිහින පමණක් නොව අනාගතයේ ලොවට වැඩක් කිරීමේ අභිලාශයකින් යුතු මිනිසකු සැඟව සිටින අයුරු දැකගැනීමට තරම් මසැසක් සුන්දර පිච්චෙයි සතු විය. ඔහු ‍පිළිතුර සැපයීමට කටයුතු කළේ එකී මිනිසා උපන්ගෙයිම මරාදැමීමට තරම් හිතක් ඔහු සතු නොවූ නිසා වියයුතුය.

''දයාබර චෝලේ,''

ඔහු ලිවීම අාරම්භ කළේය.

''අපට ලිව්වට ගොඩක් ස්තුතියි‍. ඒ වගේම ඔබ පරිගණක සහ රොබෝවරුන්ට ආසයි කියලා දැනගන්න ලැබීමත් මට සතුටක්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔබ තාක්ෂණය වැඩිදුරටත් හදාරයි කියලා. මම හිතනවා ඔබට කැප වීමෙන් වැඩ කිරීමෙන් සහ සිහින හඹා යෑමෙන් ඔබේ සියලු බලාපොරොත්තු සඵල කරගැනීමට හැකි වේයැයි කියලා. ඒ සිහින ගූගල් සමාගමේ වැඩ කිරීමේ සිට ඔලිම්පික් තරගාවලියකට පිහිනුම් ක්‍රීඩාවේ නිරත වීම දක්වා විය හැකියි. ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු මම ඔබගේ අයදුම්පත්‍රය සලකා බලන්නම්..''

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි තම පිළිතුර ‍එසේ අවසන් කළේය. ලෝකයේ කාර්යක්ෂම තැපැල් සේවාව හේතුවෙන් මේ ලිපිය වැඩි පැය ගණනක් නො‍ගොස් චෝලේගේ අතට පත් වූයේ අැය විස්මයට පත් කරමිනි. ඇයටත් වඩා මේ සම්බන්ධයෙන් සතුටට පත් වූ ඇයගේ පියා linked in හරහා ‍තම දියණිය ලද මේ පිළිතුර ලොවට හෙළි කර සිටියේය.

ඇතැම් විට චෝලේ අනාගතයේ දිනක ගූගල් සමාගමේ සේවිකාවක ලෙස කටයුතු කරනු ඇත.

නැත හොත් ඇය පාසල් අධ්‍යාපනය අවසන් කරන විට සුන්චර් පිච්චෙයි ප්‍රධාන විධායක නිලධාරි පුටුවේ නොසිටිනු ඇත. ඇතැම් විට මෙය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් පමණක් වනු අැත.

ඒ කෙසේ වුවද මෙය සිහියේ තබාගත යුතුය:

කිසිම සිහිනයක් සැබෑ කරගැනීමට බැරි තරම් විශාල නැත.

 

Comments