මොරගහකන්දේ ජනයාට මිලියන 11000ක වන්දි | සිළුමිණ

මොරගහකන්දේ ජනයාට මිලියන 11000ක වන්දි

මොරගහකන්ද - කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉඩම් හා දේපළ අහිමි වී ඒ අසල ප්‍රදේශවල නැවත පදිංචි වූ ගොවි පවුල් 2500කට පමණ රුපියල් දස ලක්ෂ 11000ක් වන්දි ලෙස ලබාදීමට කටයුතු යොදා ඇතැයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්. බී. තෙන්නකෝන් මහතා පවසයි.

මෙය මෙරට ඉතිහාසයේ නැවත පදිංචිකරුවන් පිරිසකට ලබාදුන් වැඩිම වන්දි මුදල බවත් මින් රුපියල් දස ලක්ෂ 7500ක් පමණ දැනට ලබාදී ඇති බවත් තෙන්නකෝන් මහතා පවසයි‍.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව නැවත පදිංචි කළ අයට ලබාදුන් වන්දි මුදල තවත් සියයට පනහකින් වැඩි කර ඇති බව ඒ අනුව තවත් රුපියල් ලක්ෂ 3750ක් ළඟදීම මේ අයට ලබාදෙන බව මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද රණසිංහ මහතා පවසයි. මීට අමතරව නව සංවර්ධන ප්‍රදේශයේ සංඝාවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 15 බැගින් ද ලබාදීමට අපේක්ෂිත ය.

මේ යටතේ අනුපවුල් 630ක් සඳහා එක් අනු පවුලකට රුපියල් ලක්ෂ 16ක් ලබාදෙන බවත් පදිංචි හැමට වියළි සලාක හා ප්‍රවාහන පහසුකම් සුබසාධක පහසුකම් ලබාදෙන බවත් රණසිංහ මහතා පවසයි.

නැවත පදිංචි වන සියලු දෙනාට තාවකාලික නිවසක් ඉදි කිරීමට රුපියල් 50000ක් ද ජල නළ පහසුකම් විදුලිය ඇති අක්කර දෙකක් බැගින් ඉඩමක් ද දැනටම ලබාදී ඇත. මේ ඉඩම් සඳහා පිවිසුම් මාර්ග ඉදි කරන අතර කුඹුරු වගාවට වාරි ජලය ද ලබාදෙයි.

Comments