උතුරේ දක්ෂ සිසු­වාට හමු­දා­වෙන් ඉගෙ­නී­මට උප­කාර | Page 2 | සිළුමිණ

උතුරේ දක්ෂ සිසු­වාට හමු­දා­වෙන් ඉගෙ­නී­මට උප­කාර

ඔවුන්ගේ අධ්‍යාපනයට කලක් කණ කොකා හඬා තිබිණි. දකුණේ දරුවන් පාසල් යන විට උතුරේ දරුවන් තුවක්කු රැගෙන කැලෑවදින යුගයක් ද තිබිණි. දැන් දකුණ මෙන්ම උතුර ද සංසුන්ය. යාපනයේ දරුවෝ දහොඳින් අධ්‍යාපනය ලැබීමට මෙන්ම උසස් ජයග්‍රහණ ලබා ගැනීමට උත්සුක වී සිටිති. මේ කියන්නට යන්නේ ද එවැනි ජයග්‍රහණ ලැබූ දරුවන් දෙපළක් පිළිබඳවය.

ජේ. කනකසුන්දරම්. ඔහු ඉගෙනුම ලබන්නේ යාපනය ස්කන්දරොඩයි මහා විද්‍යාලයේය. 2016 වසරේ උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් දිවයිනෙන් ප්‍රථමයා බවට පත්වෙමින්උසස් ප්‍රතිඵල ලබා දෙමින් ඔහු තම පාසලට කීර්තියක් ලබා දුන්නේය.

“මම පුංචි කාලේ ඉඳලාම ඉගෙන ගන්න ආසයි. උසස් පෙළ සඳහා ඉංජිනේරු තාක්ෂණ විෂයන් හැදැරූවේ. මගේ තාත්තා එම්. කනකසුන්දරම්. ඔහු ලියවනපට්ටල් වැඩ තමයි රස්සාව හැටියට කරන්නේ. මගේ මව රැකියාවක් කරන්නේ නැහැ. මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙකු වීමයි. මම හිතුවේ නැහැ මට ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් ලංකාවෙන්ම පළවෙනියා වෙන්න ලැබේවී කියලා.”ජේ.කනකසුන්දරම් සිසුවා පවසන්නේය.

ඔහු පමණක් නොව යාපනය දිස්ත්‍රික්කයේ තවත් සිසුවකු උසස් පෙළ ඉහළ ප්‍රතිඵල පෙන්වීය. ඔහු මානිප්පායි හින්දු විද්‍යාලයේ එම් .පද්මනාදන් කුරුසරේෂන්ය. ඔහු පසුගිය වසරේ අපොස උසස්පෙළ විභාගයෙන් කලා අංශයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය ලබා ගත්තේය. ,

“ මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා විතරයි ඉන්නේ. මගෙ අම්මා ගුරුවරියක්. මම බොහෝම උවමනාවෙන් උනන්දුවෙන් පාඩම් වැඩ ක‍ළේ. මට අවශ්‍ය පරිගණක තාක්ෂණ විෂයෙන් ඉහළට ඉගෙන ගැනීමටයි. අපේ පාසලේ ගුරුවරු වගේම මගෙ අම්මාගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබුණා.”යැයි තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් පද්මනාදන් සිසුවා පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයට මෙන්ම එම පාසල්වලට කිර්තියක් අත් කර දුන් මෙම ශිෂ්‍යයන්ගේ ජයග්‍රහණ අගයමින් ඉකුත් දා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවත්වන ලදී. එහි දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා තේරුණු මෙම සිසුන් දෙදෙනාගේ ඉංග්‍රිසි දැනුම දියුණු කිරීම සඳහා ඔවුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන් යෙදවීමටත් ඒ සඳහා වියදම් දැරීමටත් ආඥාධිති පොරොන්දු වුයේය. එමෙන්ම මින් ඉදිරියට යාපනය දිස්ත්‍රික්කයේ පාසල්වලින් අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ගෙන් උසස් ප්‍රතිඵල ලබාගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමට ද මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පොරොන්දු වූයේය. මෙහිදි ඊ -විස් සමාගම මඟින් මෙම සිසුන් වෙත පරිගණක හා තවත් අධ්‍යාපන උපකරණ රැසක් පරිත්‍යාග කරන ලදී.

ඡායාරූප - ආරක්ෂක සේනා මූලස්ථාන මාධ්‍ය ඒකකය.

Comments