
යාපන නගර මධ්‍යයෙන් පටුමාවතක දකුණට හැරී මීටර් විස්සක් පමණ ගිය තැන හමු වූ විසල් ගොඩනැඟිල්ලක් අසල වාහනය නවත්තන්නැයි නරේන්ද්‍ර රාහුලට පැවසුවේ ඇස පිය නොවැටෙන දෙනෙතින් එදෙස බලා ගෙනය. පාන් සහ රසකැවිලි සුවඳ පැහැර ගත් සුළඟක් වෑන් රථය තුළට කඩා පැන්නේ දූවිලි පටලයක් ද රැගෙනය. දූවිල්ලෙන් ගැලවීමට තරුණියන් දෙදෙනා දෙඅත්වලින් මුහුණ ඉදිරියේ අහස පිස දමන්නට වූහ.
නරේන්ද්‍ර රථයෙන් බැස්සේ දිගු සුසුමක් හෙළමිනි. සොහොයුරියගේ නමින් දශක ගණනාවකට පෙර ලියාපදිංචි කළ මාධවී වෙළෙඳසැල් සමූහය සොහොයුරියට දුක්බර සිහිනයක්ව ඇත්තේ වත්මන් අයිතියට හිමිකමක් නැති ලෙස අවලංගුව ඇති නිසාය.
මාධවී ස්වාමියා සහ ඇගේ දරුවන් දෙදෙනා සමඟ ජීවත් වූ කුඩා නිවෙසට යාබදව තිබූ මේ විශාල බේකරිය යාපන නගරය තුළ පැවති දැවැන්ත සිංහල ව්‍යාපාරයයි.
වත් පොහොසත්කම් කවරාකාරයෙන් කවර බලපෑම් කළත් යාපන වැසියෝ මාධවී බේකරියේ පාන්වලට හා රසකැවිලිවලට ගිජු වූහ. ඒ කීර්ති නාමය අවට ලොකු කුඩා ගම්වල ද පැතිරී තිබුණේය. දෙමළ බේකරිවල පාන්වලට වඩා සිංහල මාධවියේ පාන් රසවත් වීම ජාතිවාදයකට හෝ ජාතිවාදී වෙළෙඳ ඊර්ෂ්‍යාවකට හේතු වූයේ නැත. තොග වශයෙන් පාන් ගැනීමට දෙමළ වෙළෙන්දෝ දිනපතා උදෑසන මාධවියට ආහ. ගෙඩියක් දෙකක් ගැනීමට පැමිණි අය අතර වෛද්‍යවරුන්, නීතිඥයන්, ගුරුවරුන් වැනි ඉහළ රැකියා කරන්නන් ද සිටීම යාපන වැසියන්ගේ සරල ජීවන සම්ප්‍රදායයන්ට අනුකූල විය.
උපනගරාධිපතිවරයා ආවේ රවිහාරි සහ මනෝහාරිගේ වයසේ ම තරම් තම දියණිය සහ පුත්‍රයා සමඟය. දරුවන් හතර දෙනා අතර සුළු මිත්‍රත්වයක් ද විය. කුඩා දෙමළ දැරිය හිසෙහි මලක් ගසන්නට පුරුදුව සිටියාය. ඇය බේකරියේ යෙහෙළියන් දෙදෙනාට ද මල් දෙකක් ගෙන ඒමට අමතක නොකළාය. නිවාඩු දිනයක් නම් අප්පච්චිගේ කැෂියර් කූඩුවේ පුටුව පිටුපසට වී රවිහාරි සහ මනෝහාරි නොඉවසිල්ලෙන් සිටියේ ඉන්ද්‍රජිත් සහ චන්දිරම් පියා සමඟ පාන් ගෙන යෑමට එනතුරුය.
ඔවුන් දෙදෙනා පැමිණි පසු සතර දෙනා එක්ව නුදුරේ ඇති විදුලි පහන් කණුව යට හිස් බිමෙහි බට්ටා පැන්නහ. හිස් බිම දැන් නැතත් විදුලි පහන් කණුව තවමත් අහස දෙස බලාගෙනය.
නරේන්ද්‍රගේ සිතෙහි ශෝකයක් උපන්නේය. ඒ අතීත සිදුවීම් අතරට මාධවී අක්කාගේ ස්වාමියා ආවේ යකඩ පොලු පහරකින් කැඩී ගිය බෙල්ල අතකින් අල්ලා ගෙනය. වැඩි දුරක් ඒමට අවකාශ ලැබුණේ නැත. ඔහු යාපන පොළොව සිපගෙස ඇද වැටුණේය.
“ආණ්ඩවනේ ආණ්ඩවනේ”
යැයි කෑ ගසමින් දෙමළ ස්ත්‍රී පුරුෂයෝ බේකරිහිමියා වට කර ගත්හ. එහෙත් දෙතුන් දෙනෙකුට වැදුණු පා පහර නිසා දුක්ඛිතයින් කොහේ ගියාදැයි එකිනෙකාට දැනුණේ නැත.
රවිහාරි රථයෙන් බැස නරේන්ද්‍ර වෙත ආවේ පය පැකිළෙන ගමනිනි.
“මාමා මේ අපි හිටපු ගෙදර තිබුණ තැන.”
තිගැස්සුණු නරේන්ද්‍ර ආපසු හැරී රවිහාරි දෙස බැලුවේය.
“නෑ. නෑ.”
“නැත්තෙ නෑ. අපේ අම්මගෙ නම තාමත් තියෙනවා.”
“නෑ ළමයො. මාධවී වෙන්නැති දැන් අයිතිකාරයගෙ දුව.”
රවිහාරි අඳුරු කර ගත් මුහුණින් ඔහුගෙන් ඈත්ව විදුලි පහන් කණුව යටට ගියාය. නරේන්ද්‍රට පිපාසයක් දැනිණි. රවිහාරි සිත අතීත සිදුවීම් කැරලි ගසන්නට පටන් ගත්තා විය හැක.
“රෝජා මට වතුර ටිකක් දෙන්න දෝණි.”
කොළඹ සිට ගෙනා ජලය වෙනුවට අතර මඟ අයියාකච්චිවලදී බඳුන් පුරවා ගත් ජල බිඳක් ඉල්ලා ගැනීමට සිතුනත් නරේන්ද්‍රගේ මුව ගොළුවී ගියා සේ විය. අයියා කච්චී හමුදා කඳවුරක් අසල දී පුරවා ගත් ජලය යාපනේ අන් ප්‍රෙද්ශවල ජලය මෙන් කිවුල් රසයක් නැතැයි කීවේ රුක්නාද් ය.
හමුදා භටයෝ මන්ත්‍රිවරුන් හඳුනා ගත් නිසා ජලය පුරවා දීමට ද උනන්දු වූහ. රූමත් තරුණියන් දෙදෙනාට ද ඔවුන්ගේ කාරුණික අවධානය යොමුවීම රෝජා සඳපාණිට විශ්වාස කළ නොහැකි තරමේ සිදුවීමක් විය. ඇය අසා තිබුණේ සිංහල හමුදා උතුරේ පමණක් නොව දකුණේ තරුණියන්ටත්, ඉන් නොනැවතී සංචාරය සඳහා එන තරුණියන්ටත් පොදුවේ මුළු ස්ත්‍රි වර්ගයාට ම අනේඛවිධ හිරිහැර කරන කතාවකි.
රෝජා සඳපාණි ගෙනා ජල බඳුන ඇය ඔහු අත තැබුවේ දෝතිනි. ඔහු එය හුස්මකින් බී අවසන් කළේය.
“තව ඕනද මාමා?”
“එපා දෝණී.”
නරේන්ද්‍ර ඈත මෑත බැලුවේය. රුක්නාද් සහ රාහුල කතාවකය. ඔවුන් සිටියේ විදුලි පහන් කණුවට පිටුපාය. රවිහාරි විදුලි පහන් කණුවට හිස තබාගෙන සිටියාය. නරේන්ද්‍ර තැති ගත්තේය. පියාගේ ජීවිතය උදුරා ගත් වධකභූමිය ඇය හඳුනා ගෙනද?
ඔහු වහ වහා ඇය වෙත ගියේ. ඇය ඉකි ගසමින් සිටියාය.
“මොකද මේ?”
“මාමා මට බොරු කිව්වා.”
“බොරු කිව්වා? මොකක්ද මං කිව්ව බොරුව?”
“මේ අපි හිටපු ගෙදර.”
“නෑ දරුවා නෑ...”
“තවත් නෑ කියන්න එපා. මේ බලන්න මේ ලයිට් කණුවට ගහලා තියෙන කොන්ක්‍රිට් ඇණේ. මේ ඇණේ ගැහුවෙ මමයි, අක්කයි, ඉන්ද්‍රජිත් අයියයි, චන්දිරම් අක්කයි එකතු වෙලා. එදා ඉන්ද්‍රජිත් අයියා මනෝහාරි අක්කට මලක් දීලා කිව්වා මං ලොකු මිනිහෙක් වෙලා ඔයාව කසාද බඳිනවා. එතකන් මේ රෝස මල පරෙස්සම් කරලා තියා ගන්න කියලා.” රවිහාරි කීවේ ඉකිබිඳිමිනි.
“රවිහාරි නැගිටින්න. පුංචි කාලෙ කියන හුරතල් මෝඩකතා ලොකු මහත් වෙච්ච ඔයගොල්ලො කියන්නෙ ඇයි දැන්?”
“මෝඩකතා නෙමේ. මගෙ අහිංසක අක්කා කසාද බඳින්න කැමති නැත්තෙ ඉන්ද්‍රජිත් අයියව අමතක කරන්න බැරි කමට. එයා අපිත් එක්ක එන්න බැහැ කිව්වෙ ඒවා මතක් වෙන හින්දා.”
රවිහාරි දෙ අතින් මුහුණ වසාගෙන ඉකි බිඳුම් මැඬ ගන්නට උත්සාහ කළද එය ඇයට පහසු වූයේ නැත. මඳ අස්වැසුමක් ලත් සැණින් ඇය නැගිට බැලුවේ රුක්නාද් දෙසය.
“රුක්නාද් අනේ රුක්නාද් පුළුවන් නම් මගෙ අක්කට ඉන්ද්‍රජිත් හොයලා දෙන්න.”
තරුණියගේ දුක්ඛිත ආයාචනය රුක්නාද් අසරණ කරන්නක් විය. ඇය නැඟණියක වී තම දුක සොහොයුරාට පවසනවා වැනි හැඟීමකින් ඔහුගේ ළය රිදුම් දුන්නේ දෙනෙතද තෙත් කරමිනි. ඇය දෙවුරින් අල්ලා කඳුළු පිරි දෙනෙත උර මත හොවා ගෙන සැනසිලි බසක් කියන්නට ඇත්නම් යැයි ඔහු සිතුවා පමණි.
විදුලි පහන් කණුව මුල දෙදණින් සිටි තරුණිය වෙත ළං වූ නේෂන් වෛද්‍යවරයා ඇය නැගිටුවා ගත්තේ රිදුම් දෙමින් පවතින තම පුළුල් ළයට ඇය තුරුල් කර ගත්තේය.
“දුව හැමදේම අමතක කරන්න. අපි හැමදෙනාට ම ජීවිතේ ගැන අලුතෙන් හිතන්න සිද්ධ වෙලා. අපි යමු.”
නරේන්ද්‍ර වාහනයට ගියේය. මේ තරුණිය හඬා වැටෙන්නේ මානව සම්බන්ධතාවන්ගේ දෙදරා යෑමක් දරා ගත නොහැකිවය.
විදුලි පහන් කණුවකට කොන්ක්‍රිට් ඇණයක් සේ ශක්තිමත්ව තිබෙනු ඇතැයි කුඩා කල ඔවුන් සිතූ මිතුරුදම බිඳී නැත. ඇය වැලපෙන්නේ සොහොයුරිය වෙනුවෙනි. කුඩා ඉන්ද්‍රජිත් මිතුරා වෙනුවෙනි. ඇය ඉල්ලා සිටින්නේ ඉන්ද්‍රජිත්ගේ ජීවිතයයි. ඒ සොහොයුරිය වෙනුවෙනි.
තිස් වසරකට වැඩි ත්‍රස්තවාදී ගැටුම් නිසා පීඩාවට පත් තරුණ තරුණියෝ දහස් ගණන් උතුරු පෙදෙසේ සිටිති. ප්‍රේමයට ආලයට ආදරයට අත වනන සොඳුරු යෞවනයට තරුණකමට පයින් ගසා ඔවුන්ගේ කරෙහි සයනයිට් මාලය දමා අතට ආයුධය දී ඉදිරියට තල්ලු කළ ජීවිත කොතරම් නම් අකාලයේ වැනසී ඇද්ද? ඔවුන්ගේ දරු පවුල්වල සෙසු සාමාජික සාමාජිකාවන්ගේ කඳුළු වියැළී ඇද්ද? ඔවුන්ට අද ඇති එකම සැනසුම ස්වකීය දූ පුතුන්ගේ අත්මත බෝම්බ කඩු කිනිසි අලවංගු උදලු තබා ගහපන් යයි අණ දෙන්නට මෘගාධිපතියෙකු නැතිකම පමණක් නොවේද?
නරේන්ද්‍රට යළිත් දැඩි පිපාසයක් දැනෙන්නට විය. ඔහු අත අසල වූ වතුර බෝතලයක් ගෙන විදුලි පහන් කණුව දෙසට හැරුණේය.
රවිහාරි, නේෂන්, රෝජා සඳපාණි හා රාහුල මිනිස් වටරවුමකට මැදිව සිටිති. කලබලයක් නැත. සංවේදී ප්‍රශ්න සංවේදී පිළිතුරු හුවමාරු වෙමින් ඇත්තාසේ පෙනේ.
නරේන්ද්‍රගේ සිතට අතීත ගැහැනියක් සෙමින් සෙමින් ළං වූවාය.
“නරේන් ඔයාල හිතන විදියට ජාතිවාදි ප්‍රශ්න විසඳන්න බැහැ. මුලින් ම යථාර්ථවාදී විදිහට ඉතිහාසය උගන්වන්න ඕනැ.” ඇය කතා කරනවා ඔහුට දැනෙන්නට විය. ඔහු සවන් දුන්නේ සවනින් නොව හදවතිනි.
“නරේන්ද්‍ර මුලින් ම රටේ හැම පුරවැසියටම ඉතිහාසය ඇසුරෙන් පහදලා දෙන්න ඕන සිංහලයා එදත් කැමති, අදත් කැමති හෙටත් කැමති ජාතිවාදි මහන්තත්ත කමටවත් සුළු ජාතීන් පාගා ගෙන නැගී සිටින්නවත් නෙමේ නිදහසට කියලා. සිංහල මානසිකත්වය, මිනිස්කමට මානුෂිකත්වය ගරු කරන විදිහට ගොඩ නැගිලා තියෙන්නෙ. ඒත් නිවට වෙන්න වහල් වෙන්න කැමති නෑ. ඉතිහාසය පුරාම ලියැවිලා තියෙනවා සිංහලයා නිවහල් නිදහස් ජීවිත පැවැත්මට ගරු කළා මිසක් ජාතිවාදයට ගරු නොකරපු කතා. සිංහලයා ආයුධ අතට ගතතේ ආක්‍රමණිකයන්ට විරුද්ධවයි.”
අතීතයට හිමි ඒ සොඳුරු ස්ත්‍රිය ඉතිහාසය නිවැරැදිව සමාජගත කළ යුතු යැයි පැවසීම මා මුළු හදවතින් ම අනුමත කළ සැටි නරේන්ද්‍ර සිහි කරන්නට විය. පාසල් විෂයමාලාවට ඇතුළත් කර ඇති සමහර ඉතිහාස සිදුවීම් රටට අනර්ථකාරි බොරු මවාපෑම් යැයි අතීත ගැහැනිය ඔහුට පහදා දුන්නාය. ඔහු එය ජනාධිපතිවරයා හමුවට ගෙන යෑමට සහභාගිවන්නැයි ඇයට ද ඇරයුම් කළේය.
“බැහැ නරේන්. දේශපාලනඥයො තමා රටේ හැමදේ ම විකාරරූපී කළේ. ඒ වැරැද්ද නිවැරිදි කිරීමේ තීරණ තීන්දු ගන්න තරම් පිටකොන්දක් ජනාධිපතිවරයගෙ පටන් ප්‍රාදේශීය මන්ත්‍රි දක්වා හැම කෙනෙකුට ම තියෙන්න ඕනෑ. තනියම රට හදන්න බැහැ. යන්න ගිහින් වෙන්න ඕන දේ කියන්න.”
“එතකොට ඔයා එන්නෙ නෑ.”
“නෑ මං එන්නෙ නෑ. වළට වැටිලා ඉන්න මිනිහා හරි වළට පැන්න මිනිහා හරි තමා වළ කටෙන් ම ගොඩ එන්න ඕනැ. පක්ෂ ප්‍රතිපත්ති විදිහට නෙමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ජනතාව දැනුවත් කරන්න.”
අතීත ගැහැනිය නිමා කළ කතා ඇත්තී ආපසු යෑමට සූදානම් වන සැටියක් නරේන්ද්‍රට දැනිණි.
“ප්‍රියදෝණි හිටපන් යන්න එපා. උඹ මට ඕන. උඹේ පණ්ඩිතකමට මං කැමතියි.”
නරේන්ද්‍රගේ සිතෙහි උපන් හිස් බොල් අයැදුම ප්‍රතික්ෂේප කරමින් ප්‍රියදෝණි පිළිබඳ මතකය යාපන වියැළි සුළඟ හා එක්ව ගියේ නේෂන් රවිහාරි ද කැටිව වාහනයට එන විටය.
රාහුලගේ දුක්බර මුහුණ නරේන්ද්‍ර දුටුවේය.
“පසුතැවිලි වෙයල්ලා. අඬපල්ලා. හූල්ලපල්ලා. ඒ අෙප් වැරැදි නිසා. දැන් නුඹලා වෙනස් වෙන්න ඕන. කඳුළට සුසුමට මෝඩකමට අභියෝග කරපල්ලා. දේශපාලනඥයින් තෝරා ගත්තේ ජනතාව නිසා ඔවුන් අභියෝග කිරීමේ ශක්තිය ජනතාවට තියෙන බව ඒක ජනතා අයිතියක් බව කෑගහලා කියපල්ලා.”
නරේන්ද්‍රගේ දුකින් පිරුණු සිත හඬ දෙන්නට විය.
වාහනය වෙත ළං වූ නේෂන් රවිහාරිගේ භාරකාරත්වය ගන්නැයි පවසන බැල්මක් රාහුල වෙත හෙළුවේය. රාහුල තම අත ගත් සැණින් රවිහාරි දුක පිරි මුරණ්ඩු හඬකින් ඔහු අයදින්නට වූවාය.
“රාහුල මට ඒ කොන්ක්‍රිට් ඇණේ ගලවලා දෙන්න. අනේ ඒක ගලවලා දෙන්න. මං ඒක අක්කට ගිහින් දෙන්නම්.”
රාහුලට රුක්නාද් දෙස බැලුණේය. “එපා” රුක්නාද් කීවේ හිසෙනි.
“නංගී”
අනතුරුව රවිහාරිගේ උරහිසට දකුණත තැබූ රුක්නාද් ඇය ඇමතුවේ ශෝකය මුසු ගැඹුරු හඬකිනි.
“ඒ පුංචි ආදරය එතන ම තිබුණාවේ. මේ රටේ දකුණ උතුරට දැක්වූ විශ්වාසයේ, පිළිගැනීමේ සහ ආදරයේ සංකේතයක් විදිහට ඒ කොන්ක්‍රීට් ඇණය ලයිට් කණුවට ම තදවෙලා එතන ම තිබුණාවේ. මල් පරවෙනවා. නමුත් මෙල් සුවඳ සුළඟට එකතු වෙනවා. සුවඳට බැහැ මල අමතක කරන්න. ඔයාගෙ අක්කත් මලක සුවඳක් වගේ ඒ බැඳීමත් එක්ක එයා ජීවත් වේවි. ඉතිරි හරිය දෛවය විසඳාවි. එක අතකට මේ සේරම සිදුවීම් දෛවෝපගතයක්. නගින්න වාහනේට. අපි යමු. මගේ අම්මයි තාත්තයි බලාගෙන ඇති අපි එනකන්.”
ගමන යළි ඇරැඹිණි. රාහුල්ගේ උරහිස මත හිස තබා ගත් රවිහරි ගමනාන්තය තෙක් ම සෙමින් ඉකි බින්දාය. ඇය වඩා ශෝක වූයේ මිය ගිය පියා ගැන නොව සොහොයුරිය ගැනය.
“මටත් අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියා නම් මමත් ඔය විදිහට හඬාවි.”
රෝජා සඳපාණිගේ සිත ද බෙහෙවින් දුක්බර විය.
ලබන සතියට