
සංහිඳියාවට පාර සකසමින් සිටින යුගයක රටේ ඇතැම් අන්තවාදීහූ ජාති භේදය අවුස්සමින් සිටිති. නමුදු රටේ කොයි කවුරු මොනවා කීව ද ජාති බේද ආගම් ෙභ්දවලින් තොරව පොදුජන යහපත උදෙසා කටයුතු කරන්නෝ තම කටයුතු එලෙසින්ම ඉටුකරති. බාල වියේදීම ධර්ම මාර්ගයට පිවිසි මේ යතිවරයාණෝ අද අප රටට පමණක් නොව ලෝකයටම ආදර්ශයක් වන්නාහ. බොහෝ විදෙස් රටවල විශේෂයෙන්ම ආසියාතික මෙන්ම යුරෝපා රටවල ධර්ම ප්‍රචාරයේ නියැළුණු උන්වහන්සේ කොයි රට ගිය ද තම රට අමතක නොකළහ. දායකකාරකාදීන්ගේ උදව් උපකාරයෙන් තම මවු බිමට සේවය කරන අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන් කළ සේවය ඉමහත්ය.
උන්වහන්සේ ගේ අලුත්ම සමාජ සත්කාරය වන්නේ තම ප්‍රදේශයේ මුස්ලිම් දරුවන් ඉගෙන ගන්නා පාසලට නව ගොඩනැගිල්ලක් තනා දීමය.
ඊට අමතරව පාසල් ගණනාවකටම උන්වහන්සේ නව ගොඩනැගිලි ඉදි කරවා දී ප්‍රදේශයේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමට කැපව සිටිති. මෑතකදී කඹුරගල්ල මහා විද්‍යාලයට උන්වහන්සේ විසින් අංග සම්පුර්ණ නව ගොඩනැගිලි සංකිර්ණයක් තනවා දෙනු ලැබිණි. උන් වහන්සේට ගරු කිරීමක් ලෙස එම විද්‍යාලය මින් ඉදිරියට පන්නිල ආනන්ද විද්‍යාලය යනුවෙන් නම් කර ඇත. මෙම විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා සිදු කැරීණි. එදා මෙදා තුර උන්වහන්සේ විසින් කළ සේවා සමාජ සේවා රැසකි.
' චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය' යන බුදු වදනට අනුව පැවිදි දිවියට ඇතුළත් වු දා සිටම කටයුතු කළ උන් වහන්සේ අවසානයේ ගම් නියම් ගම්වල සුබසාධන කටයුතු කිරීමට පෙලැඹුණේ අනාගත පරපුර සුඛිත මුදිත කරවීමේ අරමුණ සිතැතිවය.
ගම්පහ දිස්ත්‍රික්කයේ එගොඩ පොත පේරුවේ පන්නිල ගමේ උපන් ඩබ්ලිව්. ඒ. පියසේන කුල කුමරු පැවිදි දිවියට පිවිසෙන්නේ වයස අවුරුදු එකොළහේදී පමණය.
කඹුරාගල්ල විදුහලෙන් මුලික අධ්‍යාපනය ලද ද පැවිදි වීමෙන් පසුව බෝපැත්ත පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබ පසුව දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලද ආනන්ද ස්වාමීන් වහන්නේ ඉන් පසු විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූහ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙනේ ගුරුවරයකු ලෙස කටයුතු කරන්නට වූහ.
ඉන් වසර කිහිපයකට පසුව එනම් 1976 වසරේ දී උන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලද ශිෂ්‍යත්වයක් මත ජපානයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් උදා වී ජපානයේ ඉගෙන ගන්නා සමයේදී කැපී පෙනෙන දක්ෂතා පෙන් වූසේක.
මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී ජපන් භාෂාව හොඳීන් කථා කිරීමේ පුුහුණුව ලද ස්වාමීන් වහන්සේ ජපන් රටේ ධර්මය පුචාරය කිරීමේ නියැළුණහ .ධර්ම ප්‍රචාරක කටයුතු නියැළෙන කාලයේදී උන් වහන්සේට තම රටේ දරිද්‍රතාවෙන් පෙළෙන දූ දරුවන් නිරන්තරව සිහිපත් වුයේය.
මේ නිසාම උන් වහන්සේ තම රට ට යම් මෙහෙයක් කළයුතු යැයි යන සිතුවිල්ලේම එල්බගෙන කටයුතු කළහ. උන් වහන්සේගේ ඒ සමාජ සත්කාරය සඳහා මඟ පැදෙන්නේ අපූරු ආකාරයකටය.
“එක් දහස් නවසිය හැත්තෑ නවය අවුරුද්දේ මම හිටියේ ජපානයේ. දවසක් හැන්දෑවක මිත්‍රයෙක් මාව තේ පැන් සංග්‍රහයකට කැඳවාගෙන ගියා. අපි බිස්කට් එකක්, කේක් කෑල්ලක් කාලා තේ එකක් බිව්වා. ඒකට ගිය බිල ලංකාවේ මුදලින් රුපියල් 3000ක් වුණා. ඒ කාලේ රුපියල් තුන්දාහක් කියන්නේ ලංකාවේ අපට විශාල මුදලක්. මම ඔය ගැන දිගින් දිගට හිතුවා. දවස් හතරකට විතර පස්සේ මිත්‍රයා මා හමුවන්න ආවා. මම ඒ වෙලාවේ ඔහුට කිව්වා එදා තේ බීපූ මුදලින් රුපියල් සීය ගාෙන් දුන්නා නම් ලංකාවේ පාසල් දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න පුළුවන් කියලා. ඊටත් මාසයකට විතර පස්සේ මිත්‍රයා මා හමුවන්න ආවා. ඔහු මට රුපියල් දහ දාහක විතර මුදලක් දුන්නා. ඒ මුදලින් මම අපේ රටේ දරුවන්ට ශිෂ්‍යත්ව දුන්නා. වෛද්‍ය ශිෂ්‍යන්ට ශිෂ්‍යත්ව දුන්නා . මේ වනවිට ඒ ශිෂ්‍යත්වයෙන් ඵල නෙළාගත්ත දරුවෝ ඉන්නවා. ”
අත්තනගල්ල රජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නායක ස්වාමීන් වහන්සේ පවසන්නේ හද උපන් සතුටිනි.
එදවස පුංචියට අපේ රටේ මිනිසුන්ට උදව් කිරීමට සිතට ගත් මේ බුද්ධ පුත්‍රයාණෝ අද එදිනටත් වඩා දස දහස් ගුණයෙන් මිනිසුන්ට උදව් කරන්නාහ. උන් වහන්සේ විසින් ඉටුකරන ලද සමාජ සත්කාර්යයන් බොහෝය. ඒ සත් කාර්යයන් මෙරටට පමණක් නොව පිට රටටද වේ.
“මම ජපානේ ඉගෙන ගෙන අවසන් වෙලා වැඩිදුරටත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට 1978 වසරේ ඇමෙරිකාවට ගියා. මේ කාලවල මට ජීවිතේ අමුතු අමුතු අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ කාලේ මුළු යුරෝපයටම තිබුණේ පන්සල් තුනයි. වල්පොල පියනන්ද හාමුදුරුවෝ මට කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවර බෞද්ධ විහාරය පටන් ගන්න ආරාධනා කළා. පොඩි ගෙයක් අරගෙන දායකයෝ කිහිප දෙනෙකුගෙන් තමයි මෙම විහාරය පටන් ගත්තේ. අද නම් ලෝකයේ මේ වෙනකොට බොහෝ වෙහෙර විහාර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ, සිරිසඟබෝ රජතුමා වගේම අත්තනගලු රජමහා විහාරාධිපතිව වැඩවිසූ උපාධ්‍යාය වල්ගම්මුල්ලේ ශ්‍රී ප්‍රඥාරාම හිමි යන චරිත මගෙ ජීවිතයට ආදර්ශයක් වූ චරිත. ” ආනන්ද ස්වාමීන් වහන්සේ පවසන්නේ තම ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන පිළිබඳවය.
උන් වහන්සේට එදා මෙදා තුර බොහෝ විදෙස් දායකයෝ ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වූහ. උන් වහන්සේ ඒ සියලු ආධාර බාර ගත්හ . ඒ තම රටේ නැති බැරි මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහාය. සුනාමි ව්‍යසනයෙන් රට දුකට පත් මොහොතේ, නිවාස අහිමි වූවන් සඳහා නිවාස තනවා දීමට කටයුතු කළහ . සුනාමියෙන් අවතැන් වු පවුල් 336 ක් සඳහා නිවාස තනවා දුන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි එකොළහකි. එමෙන්ම හික්කඩුව ගොඩගම විහාරයේ සහ හික්කඩුව තොටගමුව විහාරයේ පෙරපාසල් දෙකක් ඉදිකළහ.
“ සමහර වැඩ පටන් ගන්නකොට මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. නමුත් මම දන්නවා වැඩක් පටන් ගත්තොත් ඒක සාර්ථකව නිමා කරගන්න පුළුවන් කියලා. විදෙස් රට වල ඉන්න කොට තමයි වැටහෙන්නේ ලෝකයේ බුදුදහම ප්‍රචාරය කිරීමට භාෂා ඥානයෙන් පරිපුර්ණ භික්ෂුන් වහන්සේගේ අඩුවක් තිබෙන බව. ඒ හේතුව නිසා තමයි අත්තනගල්ල රාජ මහා විහාරයේ සිරිසඟබෝ භික්ෂු පුහුණු මධ්‍යස්ථානය ඇරැඹුවේ. මෙම පිරිවෙනේ භික්ෂුන් වහන්සේට අධ්‍යාපනය ලබා දෙනවා. මම මිනිසුන්ගේ ජාතිය ආගම වැදගත් නැහැ. උදව් අවශ්‍ය කාටද මම ඔවුන්ට උදව් කරනවා එපමණයි. ”ආනන්ද නායක ස්වාමීන් වහන්සේ පවසන්නේ තමන් කරන කටයුතු පිළිබඳය.
මුදල් ඉපයිම හෝ තමන්ට කියා වස්තුව එකතු කර ගැනීමේ ප්‍රතිපත්තියක නැති ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සිංහල බෞද්ධ දරුවන්ට මෙන්ම කතෝලික හා මුස්ලිම් පාසල් දරුවන් වෙනුවෙන් ද පාසල් ඉදිකිරිමෙහිලා පෙරමුණ ගෙන කටයුතු කරන්නාහ.
ජපානයෙන් ලැබෙන ආධාර යටතේ ආනන්ද හිමියන් විසින් ප්‍රදේශයේ දරු දැරියන් වෙනුවෙන් පාසල් කිහිපයකටම නව ගොඩනැගිලි සාදා දීමේ සත් කාර්යයක් ආරම්භ කරනු ලැබ ඇත්තේය. ඒ අනුව වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලය, කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අලවල මහා විද්‍යාලය සහ තිහාරිය අල් අසාද් මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල්වල මේ දිනවල නව ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු කෙරෙමින් පවතින්නේය. මීට ප්‍රථම ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයට ද උන් වහන්සේ තෙමහල් ගොඩනැගිල්ලක් සාදවා පරිත්‍යාග කර ඇත්තේය.
පාසල් පෙර පාසල් ඉදිකිරීමට අමතරව පාසල් දරුවන්ට පත පොතින් පතින් ආධාර කිරීම මෙන්ම රටේ ඇති වූ විවිධ ස්වාභාවික ව්‍යසනයනවලදි පීඩාවට පත් ජනතාව වෙනුවෙන් උන් වහන්සේ අනුපමේය සේවාවක් ඉටු කර ඇත්තාහ. පසුගිය වසරේ දී කොස්ගම සාලාව අවි ගබඩාව ගිනි ගත් මොහොතේ ඉන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද ආනන්ද හිමියෝ තමන් වහන්සේට කළ හැකි උපරිමය කළහ. තම ප්‍රදේශයට පමණක් සීමා නොවී අත්තනගල්ල ප්‍රදේශයෙන් බැහැර උතුර දකුණ බටහිර නැගෙනහිර කියා ෙභ්දයක් නැතිව රටේ කොයි කොන වුවද විපතට පත් ජනතාව වෙනුවෙන් කරුණිකව උපකාර කිරීමට උන් වහන්සේ පසු බට නොවෙති. බණ දහම් පිරීමත් පන්සලේ දෛනික කටයුතුවල නියැළීමත් පමණක් තමන්ට අයත් කටයුතු ලෙස නොසිතු උන්වහන්සේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ට හැකි අයුරින් උදව් උපකාර කිරීමෙන් එදා මෙදා තුර විශාල මෙහෙයක් සිදුකර ඇත්තේය.