
කෝටු පමණක් අත තබාගෙන සිංහයන් රකිනා සෙබළියෝ
සිංහයන් වෙනුවෙන් පුද පූජා පවත්වන ස්ථානයක්
ගිර් උද්‍යානයේ කෘත්‍රිම පොකුණකින් දිය බොන සිංහයෝ...
රෝහිත් හත් හැවිරිදිය. ජීවත් වුණේ ඉන්දියාවේ ගුජරාටයේ ගිර් දිස්ත්‍රික්කයේ දුෂ්කර වනගත ගම්මානයක. පසුගිය වසරේ ජූලි මාසයේ එක් දිනයක උදෑසන නවයට පමණ රෝහිත් සිය නිවෙස ආසන්නයේ වූ බඩවැටියට ගියේ සුපුරුදු ලෙසිනි. ඉන්දියාවේ ඈත ගම්මානවල ජනතාව තවමත් සිය සිරුරු කිස සඳහා යන්නේ සිය නිවෙස් ආසන්නයේ කැලෑබද ප්‍රෙද්ශවලටය. වැඩි වේලාවක් යෑමට මත්තෙන් රෝහිත් ගේ කෑ මොර දීම ඇසුණු පියා රුමාල් බඩවැටිය දෙසට දිව ගියේය. ඒ යද්දී දුටු දෙයින් තැතිගත් ඔහු මහා හඬින් ගම දෙවනත් කරමින් විලාප දුන්නේ ගමේ අයගේ උදව් ඉල්ලමිනි. විශාල සිංහයකුගේ තියුණු දත් අතරට මැදි වූ රෝහිත් ගලවා ගැනීමට ගම්මුන් යද්දීත් ඔහුට සියල්ල සිදුවී හමාරය. සිංහයාගේ නිය පහරින් රෝහිත් ගේ සිරුර දෙකඩව තිබිණ.
ගුජරාටයේ ගිර් අභය භූමිය යනු ඉන්දියාවට පමණක් සීමාවී ඇති ආසියාතික සිංහයන්ගේ එකම අභය භූමියයි. එසේම මිලියන 60ක් වූ ගුජරාට ජනගහනයකින් වට වූ භූමියකි. වර්ග සැතපුම් 545කින් යුතු ගිර් අභය භූමිය ගුජරාටයේ පමණක් වෙසෙන ආසියාතික සිංහයන්ගේ එකම ස්වභාවික සැරිසර ප්‍රදේශය ද වෙයි. මෙනිසාම ගුජරාටය සිංහයන් හඳුන්වන්නේ 'ගුජරාටයේ ප්‍රෞඪත්වය' ලෙසිනි. විසිවැනි ශත වර්ෂය මුල් භාගයේදී ඉන්දියාවේ සිංහගහනය දුසිම් ගණනකට සීමාවීම නිසා ගිර් අභය භූමිය සිංහයන්ගේ ආරක්ෂා භූමියක් ලෙස වැඩි අවධානයක් දිනා ගත්තේය. රජයේ සිංහ රක්ෂණ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය නිසා පසුගිය වසර දෙක තුළ එහි සිංහ ගහනය සියයට 27කින් වැඩි විය. ඒ අනුව 2010 වසරේදී 411ක් වූ සිංහයන් සංඛ්‍යාව 2015 දී 523 දක්වා වැඩිවී තිබේ. මේ සමගම ගිර් අභය භූමිය ආසන්න කැලෑබද ගම්මානවලට සිංහයන්ගේ කඩා පැනීම් හා සිංහ මිනිස් ගැටුම් උග්‍ර වූයේ කාගේත් අවධානයට ලක් නොවෙමිනි.
රෝහිත් සිංහයකු විසින් ඇදගෙන යනු ලැබ ගත වූයේ දෙදිනකි. ගිර් අභය භූමිය ආසන්න ගමක විසූ 45 හැවිරිදි හන්සාබෙන් හවස්කරේ අසල වනරොදට ගියේ දර එකතු කිරීමටය. ඇයට ද අත්වූයේ රෝහිත්ට අත් වූ ඉරණමමය. සිංහයකුගේ පහර දීමට ලක් වූ ඈ රෝහලක දී මිය ගියාය. පසුගිය වසරේම තවත් දිනක 14 හැවිරිදි පිරිමි ළමයකු සිය ගෙවත්තේ අඹ තුරු ගොන්නේ නිදා සිටියදී සිංහයකු විසින් ඇදගෙන යනු ලබද්දී ඔහුගේ කෑ ගැසීම ඇසූ පියා දිව ආවේය. සිංහ ග්‍රහණයෙන් පුතු ගලවා ගැනීමට වෙර දැරූ පියා තුවාල ලැබුවද පුතා බේරා ගැනීමට පියාට නොහැකි විය. සිංහයා විසින් බාගෙට කා දමා තිබූ පිරිමි ළමයාගේ සිරුර පසුව සොයා ගැනිණි.
මෙලෙස ආසන්න කාලයකදී සිංහ ප්‍රහාර නිසා තිදෙනකු මිය යෑමත් සමඟ ගම් වැද මිනී කන සිංහයන් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වීම ආරම්භ විය. ඒ වෙද්දී එනම් පසුගිය දෙවසරේ පමණක් සිංහ ප්‍රහාර නිසා 14දෙනෙක් මිය ගොස් 114ක් තුවාල ලබා සිටියහ.
එසේ වුවද ගිර් අභය භූමිය ආශ්‍රිත නිලධාරීහූ සිංහයන් නිකම්ම මිනිසුන් මරන බව පිළිගැනීමට පැකිළෙති.
“ සිංහයන් කියන්නේ රාජකීය සත්ව කොට්ඨාශයක්. උන් කුපිත කිරීමක් වුණේ නැත්නම් නිකම්ම මිනිසුන් මරන්නේ නෑ. සිංහයන් මිනිසුන්ට පනින්නේ මිනිසුන්ගේම වරදින්. රෝහිත්ව මරලා තියෙන්නේ විශේෂ හඳුනා ගැනීමේ පටියක් යෙදූ සිංහයෙක් ” ඔවුහූ පැවසූහ.
පසුගිය වසරේදී රාජුලා නමැති ගම්මානයේ බීමත් තරුණයකු සිංහ ධේනුවකගේ ප්‍රහාරයකින් මිය ගියේය. එම ධේනුව පැටවුන් දෙදෙනකු වැදූ අලුත ඇයට ළංවී සිය ජංගම දුරකථනයෙන් පිංතූර ගැනීමට උත්සාහ දැරීමේ දී තරුණයා ප්‍රහාරයට ලක් වූ බව කරුණු සොයා බැලීමේදී හෙළි විය.
කෙසේ වුවද ගම්මානවල මිනිසුන් දිගින් දිගට සිංහ ප්‍රහාරවලට ලක්විමත් සමඟ මේ සිංහ මිනිස් ගැටුම ගැන පරීක්ෂණ ආරම්භ විය. සිංහ මිනීමරුවන් සොයා කළ මෙහෙයුමේදී සිංහයන් 18ක් අල්ලා ගත් අතර උන් දින 25ක් තිස්සේ රඳවා ගෙන පරීක්ෂණ පැවැත්වීය. සිංහ අඩි සලකුණු හා උන්ගේ මල පරීක්ෂා කිරීමෙන් නියත වශයෙන්ම රෝහිත් ඇතුළු තිදෙනා මරණයට පත් කළ සිංහයන් තිදෙනා හඳුනා ගනු ලැබිණ. එම සිංහයන් තිදෙනා ජීවිතාන්තය දක්වා සත්වෝද්‍යානයක සිරගතව තැබීමට තීන්දු කළ අතර ඉතිරිවුන් ගිර් වනාන්තරයේ උන් නිතර ගැවසෙන ප්‍රදේශයෙනුත් ඔබ්බට පලවා හැරීමටත් තීරණය විය.
“ මේ මිනී කන සිංහයන් බොහෝවිට මිනිසුන් දුටුවිට ප්‍රචණ්ඩකාරී හැසිරෙනවා. එසේම එම සිංහයන් වනාන්තරයට මුදා හැරීම අනාරක්ෂිතයි” යනුවෙන් බීබීසී ලෝක සේවයට ප්‍රකාශයක් කරමින් වනසතුන් පිළිබඳ ඉන්දියානු විශේෂඥයකු වන රුචි දේව් පවසයි.
මේ අතර ගිර් අභය භූමියේ සිංහගහනය වැඩිවීම ද මෙලෙස සිංහයන් ප්‍රචණ්ඩකාරීව හැසිරීමට තවත් හේතුවක් ලෙස පැවසේ. ගිර් අභය භූමියේ වාසය සඳහා ඉඩකඩ ඇත්තේ සිංහයන් 270කට පමණක් බව සිංහ අනතුර පිළිබඳව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ගිර් අභය භූමියේ හිටපු උද්‍යාන පාලක ගෝවින්ද් පටෙල් පවසා තිබිණි. එම ප්‍රකාශය සත්‍යයක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ දී ගුජරාටය සිය සිංහයන් වෙනත් ප්‍රාන්තවල නැවත පදිංචි කිරීම කළ යුතු බවට තීන්දු කළේය. එම තීන්දුවට ප්‍රධානම හේතුව වූයේ සිංහයන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයයි. ප්‍රාන්ත රජය එම තීරණයට අනුකූලතාව දක්වා නැති අතර තවමත් ඒ සඳහා ක්‍රියාමාර්ග ද ගෙන නොමැත. යම්කිසි ලෙසකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වුවහොත් ගුජරාටයේ 'ප්‍රෞඪත්වය' වෙනත් ප්‍රාන්ත අතරද බෙදී යනු ඇත්තේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගුජරාට වැසියෙකි. තෙවරක්ම ගුජරාට මහ ඇමැතිවරයාව සිටි සමයේ ඔහු සිංහයන් සිය ප්‍රාන්තයෙන් පිට ප්‍රාන්තවල අභය භූමිවල ස්ථානගත කිරීමට එරෙහිව සටන් කළේය. මෑතක දී ටෛම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කළේ වත්මන් මෝදි රජය එරට පිළිගත් ජාතික සත්ව සංකේතය ලෙස 1970 සිට පැවැති කොටියා වෙනුවට සිංහයා ආදේශ කිරීමට සලකා බලන බවය.
ගුජරාටයේ ගම්මාන කරා පැමිණ මිනිසුන් මැරුවද හරකුන් ඩැහැගෙන ගිය ද ගුජරාට වැසියෝ සිංහයන්ට බියක් නොදක්වති. විරෝධය නොපාති. ඒ වෙනුවට සිංහයන් කෙරෙහි ඔවුන්ගේ ඇත්තේ මහත් අභිමානයකි. සැබැවින්ම ගුජරාටයේ සිංහයන්ගේ පැවැත්ම ඇත්තේ මේ ගුජරාට වැසියන් හා ගුජරාට වන දෙපාර්තමේන්තුව මතය.
ගීතාංජලී භට්ටාචාර්ය ලන්ඩනයේ සත්වෝද්‍යාන සංගමයේ කලාපයීය වැඩ සටහන් කළමනාකාරිනියයි. ඇය සිංහයන් සංරක්ෂණයේදී ගුජරාට වන දෙපාර්තමේන්තුවට නිරන්තරයෙන් සහාය දක්වන්නීය.
“ සිංහයන් තමන්ගේ සතුන් මැරුවත් මිනිසුන් මැරුවත් ගුජරාට මිනිසුන් එය ගණන් ගන්නේ නෑ. ඔවුන් සිංහයන් දැකීමත් ගෞරවයක් ලෙසයි සලකන්නේ. සිංහයකු මිය ගියවිට හෝ තුවාල ලැබූවිට ඔවුන් ශෝක වෙනවා. එය ලෝකයේ සිංහයන් සංරක්ෂණයේ ඉතාමත්ම සාර්ථක කතාවයි.” යනුවෙන් ඇය පවසන්නීය.
ඉහත රාජුලා ගම්මානයේ සිංහ ධේනුව තරුණයා මරා දැමූ අවස්ථාවේදී එකල ගුජරාට ප්‍රධාන උද්‍යාන භාරකරු තමාම පැමිණ ගම්මුන් මුණගැසිණ. එහිදී තරුණයාගේ නෑදෑයන් උද්‍යාන භාරකරුට පැවසුවේ සිංහ ධේනුව අත වරදක් නොමැති බවත් ඇය සිය පළාතෙන් ඉවත් නොකරන ලෙසත්ය. ගම්මු සිංහයන්ට එතරම්ම ආදරය කරති.
පසුගිය වසරේ ජූනි මාසයේ ඇති වූ මහා ගංවතුරට හසුව ගිර් වනාන්තරයේ සිංහයන් දස දෙනෙක් ගිලී මිය ගියහ. ක්‍රන්කාච් ගම්මානයේ ගම්මු 400ක් එක් තැනකට රැස්ව මිය ගිය සතුන්ගේ සේයාරූ තබා ඒවාට මල් මාලා දමා ශෝකවී පුද පූජා පැවැත්වූයේ යළි එවන් විපතක් සිංහයන්ට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමිනි.
ගුජරාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි සිංහයන් ආරක්ෂිතව මෙන්ම වනගතව තැබීම වෙනුවෙන් විශාල කාර්යබාරයක් ඉටු කරයි. අභය භූමිය සීමාවේ දී දිනපතා ඒ හරහා ඇදෙන දුම්රියන්ට පැයට කිලෝ මීටර් 20ක සීමාවක් ද පනවා ඇත්තේ සිංහයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එපමණක් නොව සිංහයන් දුම්රියෙන් බේරා ගැනීමට දුම්රිය මාර්ගය ආවරණය කරමින් කම්බි වැටක් ද ගසා ඇත්තේය.
මේ සියල්ලටම වැඩිය දිනපතා සිංහයන් ගැන ඇස ගසා ගෙන සිටීමට අඩවි ආරක්ෂක නිලධාරීන් 300ක් පමණ පත් කර ඇත්තේය. මින් වැඩි දෙනෙක් කාන්තාවන් වීම විශේෂය. 'වනාන්තරයේ රැජනන්' ලෙසින් නම් කර ඇති මේ කාන්තාවන් අත සිංහයන් බලා කියා ගැනීම සඳහා ඇත්තේ කෙවිටක් පමණි.
“සිංහයා හරිම ලස්සන සතෙක්. උන් මගේ ඇල්මයි. ආදරයයි” යනුවෙන් පවසන්නේ දිනපතා සිංහයන් ගැන බැලීමට මෝටර් බයිසිකලයකින් අභය භූමියේ කරක් ගසන මධූ කරන් ගියාය.
අභය භූමියේ සිංහයන් රැකීමට කාන්තා ආරක්ෂක භට කණ්ඩායම් තුනක් වෙයි. සිංහයකු තුවාල ලැබුවහොත් හෝ අසනීප වුවහොත් හෝ අඩවි ආරක්ෂකයන්ගෙන් හෝ ගම්මුන්ගෙන් හෝ ලැබෙන පණිවුඩයක් ඔස්සේ ක්‍රියාත්මක වන්නේ මේ කාන්තා භට කණ්ඩායම්ය.
ගුජරාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 1970 වසරේ දී 'මල්ධාරීස්' වශයෙන් හඳුන්වන සතුන් බලා කියා ගනිමින් ජීවත් වන දහස් ගණනක ජනතාවක් අභය භූමිය ආශ්‍රිතව නැවත පදිංචි කළේය. ඔවුන්ගෙන් සිය ගණනක් තවමත් අභය භූමියේ ජීවත් වෙති. කිරි සහ ගොම අලෙවිය ඔවුන්ගේ ජීවනෝපායයි. ඒ ජනයා සිංහයන් සමඟ ඉතාමත් සහයෝගයෙන් ජීවත් වෙති. සිංහ - මිනිස් සීමා මායිම් හා නොගැටී ජීවත් වෙන මේ ගම්මුන්ගේ හරකකු දෙන්නකු ඉඳහිට සිංහයකුට ගොදුරු වෙතත් ඒ දුර්වලයෙකි. එසේ තම සතකු සිංහයන් අතින් මිය ගියත් ගම්මුන් එය සලකනුයේ සිංහයන්ට ගොදුරු වීම සතුන්ගෙන් විය යුතු යුතුකමක් ලෙසිනි.
“ සිංහයන් දෙවියන් හා සමානයි. උන්ටත් ගොදුරු ඕනෑ. ” යනුවෙන් පවසන්නේ සිංහයන් ඇසුරේ දිවි ගෙවන 70 හැවිරිදි කරීම් ය. ඇය දිනපතා සිංහයන් දකින්නීය. ඇගේ සැමියා දෙවරක්ම සිංහ ප්‍රහාරයන්ට ලක් වූයේ සිය ගවයන් සිංහයන්ගෙන් බේරා ගැනීමට උත්සාහ දරද්දීය. එහෙත් ඇය සිංහයන්ට බියක් නොදක්වයි. ඇය බිය වන්නේ කැලෑවේ වෙසෙන ව්‍යාඝ්‍රයන්ට පමණි.
කෙසේ වුවද ගුජරාටයේ අභිමානය මේ ලෙසින් ශීඝ්‍ර වර්ධනයක් සිදු වුවහොත් වැඩි කාලයක් නොගොසින්ම ගිර් වනාන්තරයෙන් සැතපුම් 200ක් මෙපිටින් පිහිටි අහමදාබාදය අවටින් ද සිංහයන් සොයා ගත හැකිවෙතැයි ඇතැම්හූ බිය පළ කරති.