
ජාතික විද්‍යා පදනම මගින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා පැවැත්විණි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයේදී සම්මානයට පාත්‍ර වූයේ පසුගිය වසරේදී මෙරට විද්‍යා හා තාක්ෂණයේ උන්නතිය වෙනුවෙන් මෙහෙවර කළ විශිෂ්ටයන් කිහිප දෙනෙකි. සෑම වසරකම ජාතික විද්‍යා පදනම මඟින් කරනු ලබන කැඳවීම් අනුව මේ සම්මාන සඳහා අයදුම් කළ යුතු වන අතර, විනිශ්චය මණ්ඩලයක් විසින් ගනු ලබන අවසන් තීරණ අනුව ඇගයීම් සිදු කෙරේ.
ඒ අනුව මෙවරද වර්ගීකරණයන් හතරක් යටතේ සම්මාන ප්‍රදානය සිදු විය.
ඒ අතරින් පශ්චාත් උපාධි පර්යේෂණ අධීක්ෂකයන් වෙත පිරිනැමෙන සම්මානය ආචාර්ය උපාධි පර්යේෂණ අධීක්ෂණයන් 15 දෙනකු සහ දර්ශනපති උපාධි නිබන්ධ අධීක්ෂකයන් නවදෙනකු වෙනුවෙන් ද පිරිනමනු ලැබීය. යුගයේ අවශ්‍යතාව මත මේ සම්මාන ප්‍රදානය 2011 වසරේදී ප්‍රථම වරට සිදු වූ අතර, එතැන් සිට වාර්ෂිකව සුදුස්සන් වෙත සම්මාන ප්‍රදානය අඛණ්ඩව මේ දක්වා සිදු විය.
මේ සම්මාන ප්‍රදානයේ තවත් සුවිශේෂ අංගයක් ලෙස ජාතික විද්‍යා පදනමේ තාක්ෂණික සම්මාන ප්‍රදානය මෙවරද සිදු වූ අතර, එය දිනාගන්නා ලද්දේ ආචාර්ය උපුල් එන්. රත්නායක, ආචාර්ය දිල්හාරා ජී. එදිරිසංහ, ඩබ්ලිව්.ඩී. එම් සම්පත්, වී.ජී. මහේෂ් ජේ. අබේවර්ධන විසින්ය. මේ සම්මානය පිරිනැමීමේ අරමුණ දේශයේ තාක්ෂණය සංවර්ධන කිරීම ලෙසින් ප්‍රකාශිතය. ජාතික විද්‍යා පදනම මඟින් නව තාක්ෂණය යොදමින් ව්‍යාපාර ආරම්භ කිරීමටද දිරිගැන්වීම් සිදු කරන අතර, එසේ ආරම්භ කළ ව්‍යාපාර සාධනීය මට්ටමේ පවත්වාගෙන යන්නේ නම් එවැනි කර්මාන්ත දිරි ගැන්වීමද මේ සම්මාන ප්‍රදානයේ පරමාර්ථ අතර ඉදිරියෙන්ම තිබේ. මෙවර තාක්ෂණික සම්මානයට අමතරව ප්‍රසංශාත්මක සහතික ප්‍රදානය කරනු ලැබීය.මහාචාර්ය එන්.ජී.කොඩිකාර, රියර් අද්මිරාල් කේ.ඒ. සේනාධීර, මහාචාර්ය ආර්.එස්.ඩී.රෝසා, ජී.කේ.ඒ. ඩයස්, ආචාර්ය සී.අයි කැප්පෙටියාගම, ආචාර්ය කේ.ඩී.සඳරුවන් යන මහත්වරු එම ප්‍රශංසාත්මක සහතිකපත් ලැබූහ.
සම්මාන ප්‍රදානයේ සිව්වැනි අංගය ලෙස තුන්වැනි ලෝක විද්‍යා ඇකඩමිය හා ජාතික විද්‍යා පදනම එක්ව තරුණ විද්‍යාඥයන් වෙනුවෙන් පිරිනමන සම්මානය ප්‍රදානය කෙරිණි. මේ සම්මානය ප්‍රදානය කිරීම 1990දී ආරම්භ වූ අතර වයස අවුරුදු 40ට අඩු, එමෙන්ම දේශයේ විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් කැපීපෙනෙන සේවයක නිරත තරුණ විද්‍යාඥයන් අතරින් විනිශ්චය මණ්ඩලයේ නිර්දේශයට මේ සම්මානය ප්‍රදානය සිදු වේ. ජීව විද්‍යා, රසායන විද්‍යා, ගණිතය සහ භෞතික විද්‍යා යන අංශ හතර යටතේ මේ සම්මානය සඳහා නිර්දේශ ලබාගන්නා අතර, මෙවර ජීව සහ රසායන විද්‍යා යන අංශ දෙක යටතේ සම්මාන දෙකක් ප්‍රදානය කරනු ලැබිණි.ජීව විද්‍යාව විෂය ධාරාවෙන් ආචාර්ය කේ.එම්.ජී. ගෙහාන් ජයසූරිය ද රසායන විද්‍යා විෂය ධාරාවෙන් ආචාර්ය එම්.එස්. විතානගේද සම්මානයට පාත්‍ර විය.
පර්යේෂණ සම්මානයට මෙවර කිසිවකුත් නිර්දේශ වූයේ නැත. ජාතික විද්‍යා පදනම මගින් පිරිනමනු ලබන පැරණිතම සම්මානය පර්යේෂණ සඳහා වන සම්මානය වන අතර, ඒ සම්මානය ප්‍රථම වරට ලබා දී අැත්තේ 1984 වසරේදීය.
ජාතික විද්‍යා පදනමේ ප්‍රධානී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ ආචාර්ය තමාරා ඩයස් ඇතුළු කාර්යමණ්ඩලයේ කැප වීම සම්මාන ප්‍රදානෝත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් මූලික විය.