නියඟයක් ගැන කථා වෙද්දි මෙහෙමත් ජලය අපතේ යැවීමක්! | Page 2 | සිළුමිණ

නියඟයක් ගැන කථා වෙද්දි මෙහෙමත් ජලය අපතේ යැවීමක්!

 ප්‍රදේශ කිහිපයකට වැස්සක් ලැබිණි. ඒත් නියඟය අවසන් නැත. මේ අනුව අප දිගටම ජල සංරක්ෂණයට දැඩි අවධානය යොමු කළ යුතු වකවානුවකි.

එසේ වුවත් පසුගිය සතියේ රජයේ ඉහළ නිලධාරියකු හෙළි කර ඇත්තේ මෙරට සිදුවන මහා ජලය අපතේ යෑමක් පිළිබඳවයි. මේ අපතේ යන්නේ නිකම් ජලය ‍නොව උපරීම ලෙස පිරිසුදු කළ නළ ජලය වීම ඉතා කනගාටුදායකය.

ජල සම්පාදන මණ්ඩලය මාසිකව ජල ලීටර් බිලියන 40000ක් පමණ පිරිසුදු කර මෙරට ජනතාවට ජල නළ ඔස්සේ ගෙදරටම ලබා දෙයි.

පසුගිය සතියේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජල සම්පාදන මණ්ඩලය එලෙස මෙරට ජනතාවට ලබා දෙන පිරිසුදු නළ ජලයෙන් සියයට 40ක් අපතේ යන බවයි. ඒ අනුව බලන විට මෙරට මාසිකව අපතේ යන පිරිසුදු නළ ජලය ප්‍රමාණය ජලය ලීටර් මිලියන 16000ක් පමණ වෙයි.

මෙය ජල සම්පාදන මණ්ඩලය ඍජුව වගකීමක් දැරිය යුතු තොරතුරකි. අබලන් නළ මාර්ග, පැරැණි ජල කරාම, ජනතාවගේ නොසැලකිල්ල හා භූගත ජල මාර්ගවල කාන්දු වීම් මීට ප්‍රධාන හේතු බව ලේකම්වරයාම පවසා ඇත. එසේනම් මේ අපතේ යෑම වැළැක්වීමට ජලය හිඟ මේ කාලයේදී කාර්යක්ෂම පියවර නොගන්නේ ඇයි?

මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ මහජන සම්බන්ධතා අංශය පවසන්නේ මේ අපතේ යෑම් වැළැක්වීමට වෙනම ඒකකයක් දැන් ක්‍රියාත්මක වන බවයි. එසේ වුවත් එම ඒකකයේ කාර්යක්ෂමතාවක් ඇති බවක් නොපෙනේ. මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතුය.

මේ පිළිබඳව කරුණු දැක්වූ මණ්ඩලයේ ජල විද්‍යාඥයකු පැවසුවේ මෙරට ජනතාවට මණ්ඩලය ලබා දෙන ජලයෙන් සියයට 75ක්ම ලබා දෙන්නේ මණ්ඩලයට ජලය පිරිසුදු කිරීමට යන වියදමටත් අඩු මුදලකට බවයි. අපට නි‍ෙවසට ජලය ලබාදීමට විශාල ජල ටැංකි ඉදිකිරීම විශාල ජල නළ එළීම වැනි කටයුතු සඳහා කොතරම් වියදම් සිදු වෙනවා ද? එසේනම් මෙලෙස කිසිම ලාභයක් නැතිව මහජන සේවයක් ලෙස ලබා දෙන ජලයෙන් සියයට 40ක් අපතේ යෑම කෙතරම් පාරිසරික අපරාධයක් ද?

මේ ජලය ලබාගන්නේ විශාල ජල මූලාශ්‍රය ආධාරයෙනි. සමහර අවස්ථාවල ගංගාවල පහළට යන වන සත්ත්ව හා වෘක්ෂලතාවල ප්‍රයෝජනයට ඇති ජලය මෙලෙස පොම්ප කර ජනතාවට ලබා දෙනු ලැබේ. එහෙත් ඒවා අපතේ යෑම මේ ජල හිඟ සමයේ කෙතරම් අපරාධයක් ද? මේ පිළිබඳව රජයේ ඉහළම බලධාරීන් නිලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුයැයි පරිසර සංවිධාන ද පෙන්වා දෙයි.

ජලය ලෝකයේ ජීවය වේ. ඒ අනුව ලොව සියලු පාරිසරික පද්ධති සුරැකී පවතින්නේ මේ ජලය නිසාය. අද වන විට ජලය බෙදා ගැනීමට විවිධ අරගල ද මතු වී තිබේ. ඒ අනුව අපේ රටේත් ජලය පාවිච්චිය පිළිබඳව යම් නීති රීති සමුදායක් අවශ්‍ය බව පෙනේ. ජාතික පාරිසරික පනත යටතේ ජලය අපවිත්‍ර කිරීම බරපතළ වරදකි. ඒ නීති රීති ක්‍රියාවට නැංවීම ඉතාම කාලීන අවශ්‍යතාවකි.

මේ අතර පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න හා පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ද මේ කාලයේ ජලය දූෂණය කරන අයට විරුද්ධව නෛතික කටයුතු කරන බව පවසා ඇත. විශේෂයෙන් කොළඹට ජලය දෙන අඹතලේ ජල පවිත්‍රාගාරය අවට කැලණි ගඟට අපද්‍රව්‍ය දමන ආයතනවලට විරුද්ධව ද මේ වකවානුවේ දැඩි දඬුවම් දිය යුතු බව මෙරට බොහෝ පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද දැඩි අවධානය යොමුකර තිබීම සතුටට කරුණකි. ඊට අමතරව ජල සම්පත් මණ්ඩලය ද ඊට අදාළ නීති සකස් කර ඇත.

ශ්‍රී ලංකාව මූලික වශයෙන් ගංගා නිම්න 103කින් සමන්විතය. ඉන් අපට ජලය නොඅඩුව ලබාගත හැකිය. ඊට අමතරව ගංගාධාර ප්‍රදේශවලට ඇතුළත් නොවන කුඩා නිම්න 94ක් ද දිවයින වටා ඇති මුහුදු තීරය ආශ්‍රිතව පිහිටා ඇත. මේ ස්ථාන මඟින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වෙනුවෙන් සිදුවන මෙහෙය අනූපමේය වේ. මීට අමතරව වර්ග කිලෝමීටර් 1200 වන යාපනය අර්ධද්වීපය හා අවට නිම්නය මෙසේ ගංගා දෝණියකට අයත් නොවන විශාලම ජලජ ප්‍රදේශයක් වේ.

ශ්‍රී ලංකාවේ මූලික ජල ප්‍රභවය වන්නේ වැස්සයි. එය අඩු වුණොත් නියඟ තත්ත්වය උදා වෙයි. ඒ අනුව වර්ෂාව ලැබෙන ප්‍රමාණය හා තවත් සුවිශේෂ කාලගුණික මෙන්ම භූගෝලීය සාධක පදනම්ව ලංකාව කලාප තුනකට බෙදා තිබේ. තෙත් කලාපය, අතරමැදි කලාපය හා වියළි කලාපය ඒ අතර වේ. රටෙන් වැඩි ප්‍රමාණයක් එනම් සියයට 60ක් පමණ වියළි කලාපයට අයත් වේ. රටේ තෙත් කලාපය රටෙන් සියයට 20ක් වූ භූමි භාගයකි. ඉතිරි සියයට 20ක අතරමැදි කලාපය රටෙන් සියයට 20ක් වූ භූමි ප්‍රදේශයකි.

සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාව වනාහි හොඳින් වැසි ලැබෙන රටකි. එහෙත් වියළි කලාපය බොහෝ විට පෝෂණය වන්නේ ඊසානදිග මෝසම් වැසි වලිනි. තෙත් කලාපයට ප්‍රධාන මෝසම් වැසි දෙකට අමතරව අන්තර් මෝසම් වැසි ද ලැබේ.

අලුත්ම සමීක්ෂණ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව ශ්‍රී ලංකාවේ දැනට ඇති මතුපිට ජල සම්පත කියුබික් මීටර් මිලියන 43000ක් වේ. වාරිමාර්ග සඳහා යොදන ජල ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 12000 කි. ගෘහ හා කාර්මික යෙදවුම් සඳහා මෙරට ජනතාව පාවිච්චි කරන ජල ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 3000 කි. ඊට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන විශේෂ කරුණක් ඇත. ඒ තවමත් මෙරට ජලයෙන් කියුබික් මීටර් මිලියන 22000 ක් පමණ එනම් සියයට 60ක්ම කිසිම වැඩක් නොගෙන මහ මුහුදට යවන බවයි.

එමෙන්ම මතුපිට ජලය හා භූගත ජලය දූෂණය වීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටලු පැන නැඟී ඇත. ඉදිරියට ද ඇති වනු ඇත. ඒ අනුව ජලය සම්බන්ධව මෙතෙක් අප කළ සංවර්ධන කටයුතු පිළිබඳවත් ඉදිරියේ සැලසුම් කර ඇති කටයුතු පිළිබඳවත් යළි විමර්ශනාත්මක ලෙස අවධානය යොමු කිරීමට කටයුතු කළ යුතුය.

ලොවටම ජල චක්‍රයක් ඇත. අතීතයේ සරලව තිබුණු ඒ ජල චක්‍රය අද වන විට ඉතා සංකීර්ණ වී ඇත. ජල චක්‍රය පිළිබඳවත් සිතා පොදු ජනතාව මෙන්ම ජලය ගැන වගකිව යුතු නිලධාරීන් බලධාරීන් අපගේ රටේ සිදු වන ජල නාස්තිය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුය. එසේ නොකළ හොත් ඊළඟ පරම්පරාවට අපේ සතා සීපාවාට ගහකොළට අප සිදු කරන්නේ ලොකු හානියකි. ඒ ඔවුන් වෙනුවෙන් සුරැකිව තැබිය යුතු වැදගත්ම ස්වාභාවික සම්පත ජලය වන බැවිනි.

Comments