නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

ළෙන්ගතු කටහඬ

මේ මිත්තණියගේ වයස අවුරුදු 101 කි. තමන් දරුවන් දහතුන් දෙනකු බිහි කළ බවත්, මුනුබුරු මිනිබිරියන් මහ ගොඩක් සිටින බවත් ඇයට අමතක ය.

දැන් ඇගේ කල්පනාව අඩු ය.

මහ ගෙදර ඇය සමඟ නතර ව සිටින්නේ ලොකු දූ ‘නෝනා’ සහ බාලයා ‘කළු මහත්තයා’ ය. ඒ නිසා නෝනා ගේත්, කළු මහත්තයා ගේත් නම් දෙකින් ඇගේ මතකය වැසී ගියා සේය.

දරුවන් සියලු දෙනා අතරින් ඇගේ වියපත් හිතට නිරන්තරව සහනයක් ගෙන දෙන පුතෙක් සිටියි. ඒ බණ්ඩාරගම පුතා ය.

ඔහු සති පතා සිය මව බැලීමට පැමිණෙයි. සස්ටජන්, මිදි, ඇපල්, පූවාලු ආදිය රැගෙන එයි. අම්මාගේ බඩ වේළෙන නිසා යෝගට් කවයි. රසට යමක් කැවිය යුතු නිසා කිරි පැණි රැගෙන එයි. ඈත ගම්වල පවා ඇවිද හොඳ පැණි හොයයි.

ඒ ආ විට ඇගේ කුටිය පිරිසිදු කරයි. උවැටන් කරයි. ආදරයෙන් අමතයි. රැයෙහි මවට නිදිමත එන තුරු ඇගේ හිස පිරිමදියි.

මෑතක සිට ඒ පුතා නොඑයි. ඔහු රිය අනතුරක් නිසා ඇඳට වැටී සිටින බව ඇය නොදනියි. ඒ ගැන කිව්ව ද ඇයට නොවැටහෙයි.

ඇය දැන් පසුවන්නේ දරුවන්ගේ මුහුණ දෙස බලා හඳුනාගන්නා වයසක ද නොවේ. නම් තියා මුහුණු ද ඇයට අමතකව ගොස් තිබේ. එහෙත් අර බණ්ඩාරගම පුතාගේ ළෙන්ගතු ඇමතීම, මුදු මොළොක් ස්පර්ශය ඇයට සිහිනයක් සේ දැනෙනවා හැ‍ඟෙනවා විය යුතු ය.

එසේ දැනෙන, හැ‍ඟෙන වාරයක් පාසා ඇය ‘නෝනෝ’ යි කියයි.

ඒ ඇසිල්ලේම නෝනා ද ඇය ඉදිරියේ පෙනී සිටියි.

‘ඇයි අම්මෙ?’

‘නෝනො, කෝ දැං මේ කළු මහත්තය?’

කළු මහත්තයායි කීව ද ඇය සොයන්නේ කළු මහත්තයා නොවන බව කවුරුත් දනිති. ඇය සොයන්නේ ඔහු නොව බණ්ඩාරගම පුතා ය. ඔහුට සිදු වී ඇති වින්නැහිය ගැන ඇයට පැහැදිලි කර දිය හැකි සක්කරයෙක් ද නැත.

නෝනා ගේ දෑස පොඟයි. ඇය දෑස පිස දමා අම්මා දෙස බලා හිනැහෙයි.

‘අම්මට මොනවද ඕනැ. තේ ටිකක් දෙන්ඩ ද?’

‘එපා! කෝ දැං මේ කළු මහත්තය?’

ලැබෙන සැලකිලි අඩුවක් නැතත් හිතට වැදුණු ළෙන්ගතු ඇසුරේ අඩුව නම් හොඳින් ම දැනෙන බව ඇගේ විමසිලිමත් දෑසින් පෙනෙයි.

ඈ වෙනුවෙන්ම ඔට්ටු වී හති වැටුණු කවුරුත් අඳුර වැටෙන විට නින්දට යති.

ඇය රෑ දෙගොඩ හරියේ ඇහැරී ගේ පුරා ඇවිදියි.

‘කළු මහත්තයො, කෝ මේ කළු මහත්තය?’

ඇය හිත් හෝදිසියට අඳුරේ ම ගේ දිගේ ඇවිද ගෙන යයි. කාමර ළඟ නැවතී බිත්ති අත ගා සුවිච් එක සොයා ලයිට් දායි.

‘නෝනො, කෝ මේ කළු මහත්තය?’

සැබවින් ම ඇය සොයන්නේ නම මතක නැති අර පුතු ගේ ළෙන්ගතු ඇසුරය.

මෙසේ යන අතර ඇය නොදැනීම සැබෑ කළු මහත්තයාගේ කාමරයේ දොර ද අරින්නට හදයි.

‘ක... ක... කළු මහත්තයො’

ඇය දොර අගුළ කරකවයි.

කළු මහත්තයා ද ඒ හඬින් අවදි වෙයි.

‘ඇයි අම්මෙ? මං මෙහේ’ ඔහු ද පිළිවදන් දෙයි.

ඒ හඬ ඇසුණු පසු ඇය මොහොතක් නිහඬ වෙයි. ඒ තමා සොයන කෙනා ගේ හඬ නොවන බව ඇයට දැනුණා සේය.

‘උඹ නෙමේ?’

ඇය යළිත් ගාටමින් සිය නිදි යහන සොයා යයි.

දෙණියායේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

 

ගුරු මව

ඇය ම’පුතුගේ ගුරුතුමිය ය.

පාසල කුඩා ප්‍රාථමිකයකි.

මේ ගුරුතුමිය පෙර පාසලින් පසු සිය පන්තියට ගොඩ වැදුණු සුකොමළ මල් කැකුළු ටික දෝතින් ගත් හැටි මට තව ම මතක ය.

මේ දරු පිරිසට අකුරු කරන්නට, ඔවුන් පෞරුෂයෙන් යුතු විනය ගරුක පිරිසක් සේ ගොඩ නගන්නට ඇය ගන්නා වෙහෙස සුළු පටු නැත.

දරුවනට පාඩමක් අවබෝධ කර දෙන්නට ඇය නොයෙක් උපක්‍රම භාවිත කරන හැටි ද මා දැක ඇත. ඒ වෙනුවෙන් ඇය ගෙදර දී තනාගෙන එන නිමැවුම් දරුවන් ගේ සිත් පැහැර ගන්නේ අදාළ පාඩම හොඳින් හිතේ රඳවමිනි.

අකුරක හැඩය ඇන්ද හැටි, ටිකින් ටික ඒ අකුර පිරිපුන් කළ හැටි, අවසානයේ අකුර හිත්වලට කා වැද්දූ හැටි, ඒ අකුරින් වෙනත් අකුරකට මාරු වූ හැටි, ඒ අයුරින් අකුරු රැසක් ඉගැන්වූ හැටි මම බලා සිටියෙමි.

ලෝකය තනන සියලු විද්‍යාවනට මුල් වූ නිරවුල් මනස් ඇති දරුවන් බිහි කරන විස්කම් දෙවිවරුන් වනුයේ ප්‍රාථමික ගුරුවරුන් යන බිජුවට මසිතෙහි රෝපණය කළේ ඇය ය. විද්‍යාඥයන්, ගණිතඥයන්, දාර්ශනිකයන්, ප්‍රාඥයන් බිහි වන්නේ ප්‍රාථමික ගුරුවරුන් ගේ අපරිමිත උත්සාහයේත් දයා කරුණාවේත් මහිමයෙන් බව මම කියමි.

පන්තිය ඇරුණ ඇතැම් අවස්ථාවක මම එය පිරිසිසු කරමි. පන්තිය ඇරී සෙසු දරුවන් නික්ම ගොස් සිටියදීත් ඇය දුර්වල සිසු දරුවන් කිහිප දෙනකු නවතා ගෙන පාඩම් කියා දෙන හැටි මම දකිමි. දරුවනට අකුරු කරවද්දී ඇයට හේතු නැත. කාටත් දයාබර ය.

දිනක් දරුවකු ගේ මවක් ඇයට වැන්දා ය. එය අසාමාන්‍ය තත්වයක් හෙයින් මම විමසිලිමත් වීමි.

“පුතා වගේ ම අම්මත් මගෙ‍ ගෝලයෙක්. ඒ කාලෙ මගෙන් තමයි ඉගෙන ගත්තෙ” ඇය කීවේ සිනා කටිනි.

අසනීප දිනෙක ද ඇය පන්තියට ආවා ය.

‘මිස් ටිකක් විවේක ගත්ත නං නේද හොඳ?’ මම කීමි.

‘උදේට නැගිට්ටම දරුවො බලාගෙන ඉන්නව නේද කියල මතක් වෙනකොට අසනීපෙකට වුණත් ගෙදර නවතින්ඩ හිතෙන්නෙ නෑ අනේ’ ඇය කීවා ය.

මෙවන් ප්‍රාථමික ගුරුවරුන් වාසනාවන්.

ගා/කළහේ, ගැමුණු ප්‍රාථමිකයේ අමරාංගනි ගුරු මාතාවනි, ඔබට යහපත සැලසේවා!

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨක මාතාවක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි. 

Comments