තුංමංහන්දියේ දී ‘පොඩි සේකර’ හමු වී... | Page 9 | සිළුමිණ

තුංමංහන්දියේ දී ‘පොඩි සේකර’ හමු වී...

 කතා කරලා වැඩක් නෑ මහත්තයා. සේකර කවුද කියලා අහන අය මේ තුංමංහන්දියෙත් ඉන්නවා. සමහරු මිනිහා නොමිනිහා මනින්නේ හදපු පාලම් බෝක්කු ගා‍ෙනන්...'

මහගමසේකර පිළිබඳ තොරතුරු සොයා තුංමංහන්දියේ කරක් ගහන අව්අස්සේ අපට මුණගැහුණු ගැමියා කතා කළේ තරමක් සංවේගයෙන්. ඔහු සේකරගේ සමකාලීනයෙක් වගෙයි. 1929 අප්‍රේල් 7වැනිදා සියනෑ කෝරලේ රදාවානේ දී උපන් මහගම සේකර අකල්හි වි‍යෝ නොවුණා නම් ඇතැම්විට මේ ගැමියාගේ වයසෙම වගේ වෙන්ඩ තිබුණා.

'...සේකර මහත්තයාගේ ගමේ විස්තර හොයනව නම් කෙළින්ම යන්ඩ ජීවන්දර මාස්ටර් හම්බ වෙන්ඩ. ඥාතියානේ. වැඩිදුරක් නෑ. මේ ළඟමයි...' ගැමියා බුලත් කහට බැඳි දත් දෙක තුන පෙන්නා ආගන්තුක අපට සත්කාර පෑවා.

ඔහු දුන් ඔත්තුව පස්සේ අපි සේකරගේ මහගෙය පිහිටි බව කියන මහවත්තට ගියා. ගෙයක් නෑ. එතැන දැන් අන්නාසි කොරටුවක්. අපි ජීවන්දර මාස්ටර්ගේ ගේ විපරම් කළා.

'...මේ පැත්තෙන් උඩහට...'

වක්කඩක් ළඟ ඇන තියාන ලියැද්දට වතුර හරවමින් සිටි තලත්තෑනි ගොවියෙක් වල් බෝ ගසක් අද්දරින් වැටී ඇති ගුරු පාරක් පෙන්නුවා. කුඩා කඳු ගැටයක් මත පිහිටි නිවෙසට අප ගොඩ වන විටත් ජීවන්දර මාස්‍ටර් හිටියේ සිතුවමක වැඩ නිම කරමින්. තරමක් අපිළිවෙළ වුව එය කලාගාරයක් වගෙයි. තැනෙක අඩක් නිම කළ බුදු පිළිමයක්. තවත් තැනෙක සිතුවමක්. බිත්ති පුරාත් එක එක විදිහේ නිර්මාණ. ඒවායෙත් වැඩි හරියක සිටින්නේ සේකර. නියම තැනට ආව කියන සිතුවිල්ල අපේ හිතට ආවා.

'සේකර කියන්නේ මගේ ලොකු අම්මගේ පුතා. අපේ අම්මයි සේකරගේ අම්මයි එක කුස උපන් අක්ක නගාලා. සේකර පවුලේ එකම දරුවා. කවුරුත් එයාට හරි ආදරෙයි. ඒත් ලොකු අම්මා මාවත් අරන් හදා ගත්තා. අපේ අම්මා කියන විදිහට කිරි ඇරිච්ච දා ඉඳලා මං හැදී වැඩු‍ණේ එහේ. ලොකු අම්මයි මහප්පයි මාව බලා ගත්තා. සේකර අය්යා වියහියදම් කළා...

ජීවන්දර මාස්‍ටර්, සිය ඇස උපන් කඳුළ උපැස් යුවළට යටින් අත දමා වහා පිස දාගත්තේ අපෙන් සඟවා ගන්නට වගෙයි. දැන් ඒ හඬේ තියෙන්නේ තරමක බිඳුණු ස්වරයක්.

....අපේ ගේ තිබුණ හරිය කුරුඳුවත්ත. ඒ නිසා ලොකු අම්මයි මහප්පයි මට 'කුරුඳුවත්තේ පුතා' කිව්වා.සේකර අය්යා කතා කළේ 'කුරුඳු' කියලා. අය්යට ගෙදෙට්ට කිව්වේ 'ඩේවිඩ්' ...

'තුංමංහන්දියේ' පටන් ගැන්ම මගේ මතකයට ආවා.

... ගමේ කාටත් පාහේ නම් දෙකක් ඇත. එකක් උප්පැන්න සහතිකේ තියන නම. අනික මිනිස්සු දාගත්ත නම. මිස්ටෙගෙ නියම නම රුවිතන්. රුවිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙක් ළඟ වැඩ කළා. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුවිතන් කියලයි. රුවිතන් කෑල්ල පසුව ලොප් විය. දැන් එයාගේ නම මිස්ටෙ... (තුංමංහන්දිය, පිටුව 1)

ඇතැම් අය කියනවා සේකරගේ නියම නම මහගමගේ සමරසේකර කියලා. ඒක බොරු. මේ බලන්න උප්පැන්නෙ. මහගමගේ සේකර... ජීවන්දර මාස්‍ටර් තමා විසින් සුරැකි සේකරගේ උප්පැන්න සහතික පිටපතක් අප ඉදිරියේ තැබුවා.

...අපේ අම්මා දෙකට ස්කොලේ ගි‍හින් තිබුණත් ලොකු අම්මාට අකුරු බැහැ. ඒත් හරි බුද්ධිමත්. වැඩට දක්ෂයි. ගල්ලැහැ පන්වලින් අපූරු රට දම දමා පැදුරු, පෙට්ටි වගේ දේවල් වියනවා. හරිම ලස්සනයි. ඒවා හුඟක් කළේ විනෝදෙට...

සේකරගේ පරිණත කවීත්වයේ අග්‍රඵලය වූ 'ප්‍රබුද්ධ' කාව්‍යයේ පිදුම වෙත මගේ හිත දිව ගියා.

...ඇවිද ලඳු‍ දෙණි කැලෑ බිම්වල

රැගෙනවිත් තුන්හිරිය පන්‍ කොළ

යොදා කුකුළු සායම් රතු හා කොළ

වියා නෙක රටා පැදුරු

රටාවක් බව ‍මේ මහා විශ්වය

කුඩා කල සිටම මට කියා දුන් අම්මාට...

විසල් සුදු ඩිමයි කඩදාසි මත

තබා මහ කවකටුව දිග රූල

ඇඳ නෙක් මෝස්තර මල් හා කොළ

විශ්වයෙහි රටාවම

කලාවට නඟන හැටි

කු‍ඩා කල සිට ම මට කියා දුන් තාත්තාට...

...සේකරගේ තාත්තා මහගමගේ ජෝන් අප්පුහාමි. එයාටත් ඕනෑ වැඩක් පුළුවන්. රස්සාවට ගොවිතැන් බත් කළත් මුදුන්පිටකන්දෙ කරත්ත මඩුවක් දාගෙන පින්තාරු, කැටයම්, කුෂන් වැඩ වගේ හැමදෙයක් ම කළා. සේකර අය්යා තුංමංහන්දියේ අබිලිං මාමගේ චරිතය ලීවේ මහප්පාව ආදර්ශයට අරගෙන. ඒකෙ ගොඩක් සිද්ධි මේ ගමේ වෙච්ච සිදුවීම්...

...කරත්ත මඩුවේ කරත්ත වාර්නිස් තීන්ත ගා පින්තාරු කරන්නේ මාමාය. ඔහු අගේට ඒ වැඩේ කරයි. කොච්චර මට්ටම් ද කීයතොත් අතින් ගෑවා කියන්නටත් බැරිය. කරත්තය පින්තාරු කර ඉවර වූ පසු ඊට වැඩ දමයි. බෝල් ලී දිගටත් රෝද ගරාදිවලත් රතුඉරි අඳී. රූල තියා ඇන්දාක් මෙන් කිසිම ඇදක් කුදක් නැත. කරත්තේ එක ඇන්ඳක මල් අත්තක් අඳී. අනෙකේ 'මේඩ් ඉන් රදාවාන' කියා ඉංගිරිසි අකුරෙන් ලියයි.... (තුංමංහන්දිය, පිටුව 15)

ගමේ පිරිත් පින්කමක් වුණොත් පිරිත් මණ්ඩප, මරණ ගෙයක් වූදාට තුම්බරය, තොරන් සැරසිලි, මඟුල් පෝරු මේ හැම වැඩේ ම මහප්පාට පැවරුණා. එයා මේවාට මහන්සියක් අය කළේ නෑ. දුන්නොත් කීයක් හරි ගන්නවා. නිවාඩු දාට මාත් ඒවාට අත්උදවු දෙන්න යනවා...

මහප්පාගේ අය්යා- මර්තේලිස් අප්පුහාමිත් හොඳ කලාකාරයා. ගමට මුලින්ම 'ටීටර්' ගෙනාවේ එයා. මහප්පා ඒවායේත් රඟපාලා තියෙනවා...

ජීවන්දර මාස්ටර් අප ඉතිහාසයට කැඳවා ගෙන යයි. ඒ අතීත කතා සුන්දරය.

...සේකර අය්යාත් ගෙදර දී කැටයම් කපනවා. මූර්ති අඹනවා. ඉන්දියන් තීන්තෙන් චිත්‍ර අඳිනවා. ඒ කාලේ ළමා පොත් කළා. ලංකාදීප පත්තරේ‍ට කාටුන් වගයකුත් ඇන්දා. කියලා නොදුන්නත් බලන් ඉඳලා මාත් ඒ වැඩ පුරුදු වුණා...

ජීවන්දර මාස්ටර් සේකරගෙන් දැන උගත් මඟ ඔස්සේ අදත් ඉදිරියට යයි. පොත් ලියයි. චිත්‍ර මූර්ති වැඩ කරයි. කැටයම් කපයි. කේ. ජයතිලකගේ 'චරිත තුනක්' ප්‍රථම මුද්‍රණයේ පිටකවරය ඔහුගේය. ඔහු අතින් නිමැවුණු පොත් පිටකවර සංඛ්‍යාව මේ වනවිට සියයකට වැඩිය. අප වාඩී වී කතාබහ කළ කැටයම් පුටු මේස පවා ඔහුගේ අපූරු නිර්මාණය.

...අපේ පවුලේ දරුවන් හය දෙනයි. ඒත් මේ කලා හැකියාව තියෙන්නේ මට විතරයි...

සේකර සෙවණේ හැදී වැඩීමේ ආඩම්බරයක් ඒ හඬෙහි වේ.

සේකර විවාහ වූයේ මීරිගම මහ විදුහලේ එවක උපගුරුවරික වූ කුසුමලතා සුරවීර මෙනවිය සමඟය. ඒ 1963 සැප්තැම්බර් 5දාය. දයානන්ද ගුණවර්ධන හා ජයදාස කුමාරගේ දෙමිතුරෝ දෙවැනි මනාලයෝ වූහ. ඒ මංගල ඡායාරූපය සේම මංගල ඇරියුම් පතේ පිටපතක් පවා ජීවන්දර මාස්ටර් ළඟ තවමත් සුරක්ෂිතය. එමතු නොව සේකරගේ තවත් වටිනා බොහෝ දෑ ඔහු රක්ෂා කරන්නේ පණ මෙනි. බෙහෙත් තුණ්ඩු, අත්අකුරු පවා ඒ අතර වේ.

...ලොකු අම්මලෑ ගේ තිබුණ හරිය මහවත්ත. එතැන තමයි ගමේ උසම තැන. පරණ ගේ කඩලා සේකර අය්යා එයාගේ කසාදෙට කලින් අලුතින් ගේ හැදුවා. 'හෝම් කමිං' එක තිබුණේ ඒ ගෙදර. කොළඹින් ගොඩක් දෙනෙක් ආවා. අමරදේව මාස්ටර් සින්දු කිව්වා මට මතකයි. දයානන්ද ගුණවර්ධන, කේ. ජයතිලක, සුනන්ද මහෙන්ද්‍ර, රෝහණධීර වගේ යාළුවෝ ඉස්සර මහගෙදර නිතර ආවා ගියා. වෙල මැද ගල්තලාවක් තියෙනවා. කට්ටිය ඒකට වෙලා සර්පිනාව ගගහා සින්දු කියනවා. ඇළේ බැහැලා නාලා විනෝද වෙනවා. ඒ වගේම අය්යා හැඩිදැඩියි. වොලිබෝල් ගහන්න දක්ෂයි. සෙල්ලම් කරන්න යන තැන්වලට ඉස්සර මාත් පස්සෙන් යනවා...

ජීවන්දර මාස්ටර්ගේ කතාව, පරණ දිනපොතක් දිගෑරියා වාගේය.

...සේකර අයියා විවාහයෙන් ටික කාලයකට පස්සේ ගම්පහ ශ්‍රී බෝධි පාරේ පදිංචියට ගියා. ඒකට හේතුව වුණේ වැඩ වැඩිකම. එයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තනතුරේ හිටියා. හේවුඩ් එකේ විදුහල්පති වුණා. මිරිගම ගුරු විද්‍යාලයේ සේවය කළා. ඒ නිසා ගම්පහ පදිංචිය පහසුයි. ඒ කාලේ මං වැඩ කළේ ගම්පහ බණ්ඩානායක විදුහලේ. සමහරදාට මං එහේ නතර වෙලා ස්කෝලේ වැඩට යනවා. පස්සේ අම්මා තාත්තා බලා ගන්න කියලා අය්යා මට ගමට මාරුවක් හදලා දුන්නා...‍

මහා කවියකුගේ දෙගුරුන්ට අත්වැල සපයන වගකීම ජීවන්දර මාස්ටර් පිට පැවරෙන්නේ එතැන් සිටය.

..ගමෙන් ගියත් අක්කයි දරුවෝ ටිකයි මයිනර් කාර් එකෙ දාගෙන අය්යා හැම සති අන්තයේම අම්මා තාත්තා බලන්න මහගෙදර ආවා. ලොකු අම්මා දර පොල් එහෙම ලෑස්ති කරලා තියෙනවා. අය්යා කාරෙක ගත්තේ ‍ජයතිලක මහත්තයාගෙන් රුපියල් 8000කට. ගමේ ගෙනාවාම මං තමයි ඇළ ළඟට ගෙනිහින් හෝදන්නේ... ජීවන්දර මාස්ටර් උදාරම් අනයි.

...මොනතරම් ලොකු කලාකාරයෙක් වුණත් සේකර ගමේදී හැසිරු‍ණේ නියම ගැමියා විදිහට. කාටත් කතා ‍කළේ 'උඹ-බං-බොලං' කියලා. නැත්නම් නමින් අඬගහනවා. කඩපිලේ වාඩි වෙලා බුලත් විට හපනවා. අමුඩෙ ගහගෙන පහළ ළිඳෙන් නාන්න වුණත් පුළුවන්කම තිබුණා...

සේකර මීවිතට බෙහෙවින් පෙම් බැඳි බැව් ඇතැමෙක් කියති. එය ඇත්තක් ද? අපි ජීවන්දර මාස්ටර් හමුවේ පැනය තැබුවෙමු.

...එයා බීමට හුරු වෙලා හිටියේ නෑ. සිගරට් නම් නිතර බිව්වා. ඒක අත්හැරගන්න බැරි වුණා. නහර වැල් හීන්වීමේ යම් රෝග තත්ත්වයකින් පෙළුණා. ඒ නිසා දුම් පානය නරකට බලපාන්න ඇති. සේකර නැති වුණු දවසෙ මහ රෑ ශ්‍රී බෝධි පාරේ ගෙදර අයිතිකාර ක‍ට්ටිය අය්යාගේම කාරෙකෙන් මහගෙදර ආවා. අයියාට හදිසියේ අසනීප වුණා කියලා කියන්න. අපි දඩිබිඩියේ ඒ වාහනෙන් ම ගම්පහ ගියා. එතකොටත් වෙන්න ඕන ටික වෙලා...

ජීවන්දර මාස්ටර්ගේ හඬ හැඬුම්බරයි. සේකර සමු ගෙන ගොස් වසර 40ක් ඉක්ම ගිය ද සිය නෑසියා නමින් වැටෙන ඒ කඳුළු තවමත් සීතලය.

...තුංමංහන්දියේ තිබුණු සේකරගේ අවමඟුලට කලාකරුවන් විශාල පිරිසක් කොළඹින් ඇවිත් හිටියා. ඇත්තට ම එයා එච්චර ලොකු කලාකාරයෙක් කියලා ගමේ මිනිස්සු දැන ගන්න ඇත්තේ එදා. මහප්පා වුණත් එ් වෙන කල් හිතාන ඉඳලා නෑ තමන්ගේ පුතා මෙච්චර වටින පුද්ගලයෙක් කියලා...

නිර්ව්‍යාජ කලාකරුවෝ ඒ ආකාරය. ඔවුහූ පදවි තානාන්තර නම්බුනාම ගරු සම්මාන පයිසෙකට මායිම් නොකරති. අද්විතීය කලා නිර්මාණ ම පමණක් ලෝකයට ඉතිරි කොට තබා හදිසියේ මෙන් නික්ම යති. පෙරළා ඒ වෙනුවෙන් කිසිවක් ම බලාපොරොත්තු නොවෙති. ඔවුන් යුග පුරුෂයන් වන්නේ ද එහෙයිනි. එය සේකරටත් අත්‍යන්තයෙන් ම අදාළය.

සේයා - ලයනල් පී. පෙරේරා 

Comments

monatharam lankawe gammana wenas wuwath sekara upangama adath nirmala sundara gamaki , eya mahagamasekarata,,, pidena upaharayaki, lestarta eya upaharayak wewa!

පිටු