නාමල් දැන් ලොකුයි අලුතෙන් කකුලක් ඕනෑ | Page 2 | සිළුමිණ

නාමල් දැන් ලොකුයි අලුතෙන් කකුලක් ඕනෑ

නාමල් උඩවලව ඇත් අතුරු සෙවණට පැමිණෙද්දී කිරි බොන වයසේය. එහෙත් දැන් කර දඬු උස් මහත් වෙමින් අනාගතයේ හස්ති රාජයෙකු වන ලකුණු පෙන්නුම් කරමින් සිටියි. පෙර දිනෙක තුන් කකුලෙන් පැන පැන උඩවලව ඇත් අතුරු සෙවණේ ගත කළ කාලය නිමා කරමින් නිදහසේ දුව පැන ඇවිදීමට ඌට කාලයාගේ අවෑමෙන් කෘත්‍රිම පාදයක් හිමි විය. උගේ පසු පස එක් පාදයක සිදු වු ආබාධය හේතුවෙන් කොඳු ඇට පෙළේ ද යම් දුර්වලතා පෙන්නුම් කෙරිණි. නාමල් පරික්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතයට අනුව දැන් නාමල් පසුවන්නේ වයසින් මෝරමින් ශාරීරිකව වර්ධනය වෙන අවධියේය. එබැවින් ශරීරයේ බරට සාපේක්ෂව කෘත්‍රිම පාදය ද වෙනස් කළ යුතුව ඇත. ඒ සඳහා විශාල පිරිවැයක් දැරිය යුතුවේ. එසේ නොවුණහොත් කෙළිලොල් වයසේ පසුවෙමින් ඇත් අතුරු සෙවණේ සැමත දිව යන නාමල්ගේ පාදයට හානි සිදු වන අවස්ථා වැඩිය.

පාදවලට හානි වීම හේතුවෙන් මේ ආකාරයේ සාර්ථකව කෘත්‍රිම පාද පැලැන්දූ වන අලි දෙදෙනෙකු ගැන වාර්තා වන්නේ කාම්බෝජයෙන් සහ තායිලන්තයෙනි. නමුත් එම අලින් දෙදෙනාගේම කෘත්‍රිම පා ආවරණ පලඳා ඇත්තේ ඉදිරි පාද සඳහාය. අපේ නාමල්ගේ කෘත්‍රිම පාදය පලඳා ඇත්තේ පසු පස වම් පාදයට ය. එබැවින් පසු පස පාදයකට කෘත්‍රිම පාදයක් පැලඳවු පළමු වන අලියා වශයෙන් ද නාමල් නම් කළ හැකිය.

2016 වසරේ මැද භාගයේදී නාමල්ගේ පසු පස කෘත්‍රිම පාදය සදහා අනුග්‍රාහකත්වය ලබා දීමට අපේ ර‍ටේ කෘත්‍රිම පාද හදන ආයතන දෙකක් වන ආවාස් ඉන්ටර් නැෂනල් සහ එක්සීට් යන ආයතන ඉදිරිපත්ව සිටී. එපමණක් නොව නාමල් ගේ ප්‍රතිකාර සඳහා දායක වීමට ඔබට ද පුළුවන.

නාමල්ගේ වර්තමාන තත්ත්වය එබඳු වුවත් ඔහුගේ අතීත කතාන්තරය පිළිබදව තතු දත්තෝ විරල වෙති. වනයේ අතරමං වූ පුංචි අලි පැටවෙකු මෙලෙස නාමල් නමින් සැමගේ ආදරය දිනා ගනිමින් ආඩම්බරයෙන් හිස ඔසවා ගෙන සිටීම තෙක් වූ ගමනේ පසු පසින් සිටිනුයේ අධිෂ්ඨානශීලී මිනිසුන් කණ්ඩායමකි. නාමල් ගේ ජීවිතය බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණු ඔවුහූ කිසිවිටෙකත් ප්‍රසංසා ගරු බුහුමන් නොපැතූහ.

මවගේ උණුසුමේ සිටිමින් කිරි උරන වයසේ පසුවන වන අලි පැටවෙකු වනයේ අතරමංවීම යනු නියත මරණයට අත වැනීමක් වැනිය. ගලක් පසු පස සිට, මහා වනස්පතියක් මත සි‍ට, පඳුරු ගොමුවක් තුළ සිට හෝ දිය කඩිත්තක් මත්තෙහි සිට මරණය උන් අසලට කඩා පිනිය හැකිය. මවු උණුහුමින් මිදී අතරමංවන වන වන අලි පැටවුන් පළමුව කරනුයේ යා යුතු මඟක් හෝ නොදැන ඉබා ගාතේ දිවීමය. හති වැටෙන තුරු දිව යන ඔවුහු සාගින්දරින් ගත දැවෙන කල අයිනකට වී නිදන්නට සිතති. වනය පිළිබඳව හරියාකාරව නොදත් මේ අලි පැටව් අවසානයේ සිවු පා වාරු නැතිව ඇද වැටෙති. මිනිසුන් ඇස ගැටෙන මානයක දී නම් ඔවුන්ගේ පිහිටට කවුරුන් හෝ ඉදිරි පත් විය හැකි නමුත් මිනිස් පා පහසක් නොගැටෙන මහා වනාන්තරයේ මේ වන අලි පැටවුන්ගේ ඉරණම කුමක් වේද?

මෙම කතාන්තරයට මුල්වන නාමල් මුලින්ම හමු වන්නේ 2012 වසරේ දීය. ඒ ගැමියකුටය.

“ මහත්තයෝ පුංචි අලි පැට්ටෙක්. නාමල්ඔය වැවේ පට්ටිය කිඳ කණ්ඩියේ කැලෑව ඇතුළට වෙන්ට කෑ මොර ගහනවා. මොකක් නමුත් විපැත්තියක්. හණික විපරම් කරලා බලන්ට ”

එම ගැමියා මුලින්ම තොරතුර ලබා දුන්නේ අම්පාර වනජිවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට අනුයුක්තව සේවයේ නියුතු වනසත්ව නියාමක කේ.කේ. උපුල් ප්‍රියංග මහතාටය. උපුල් වහා ක්‍රියාත්මක විය. පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතාට ද දැනුම් දීමෙන් අනතුරුව ලද ආරංචිය ඔස්සේ නාමල්ඔය වනජීවී කාර්යාලයට පැමිණ එහි නිලධාරීන් සමඟ නාමල් ඔය වැවේ පට්ටිය කිඳ කණ්ඩියේ කැලෑ ප්‍රදේශය අවට විපරම් කළේය.

“අපි හැමෝම එකතුවෙලා කැලෑව අවට විපරම් කළා. ඔහොම හෝදිසි කරද්දි ඇහුණා සතෙකුගේ හීන් කෙඳිරියක්. ඒ කෙඳිරිය ඇහිද්දි දිහාට යද්දින් දැක්කා මේ කෙඳිරිය එන්නේ කලවැල් ගාලක් අද්දරින් බව. මේ කලවැල් ගාල ළගට ගිහින් බලද්දින දුටුවේ හරිම දුක හිතෙන සිදුවීමක්. කලවැල් ගාලේ පැටලී හිටියේ පුංචි අලි පැටෙක්. හරිම දුර්වල වෙලා උන්නේ. මොකද මේ වැල් ගාලේ පැටලීමෙන් පස්සේ මෙයා ඒකෙන් ගැලවෙන්නට හරියට මහන්සි වෙලා තියෙනවා. කිරි උරා බොන වයසේ පසු වුණු මේ අලි පැංචා උන්නේ හාමතින්. අපි ඉක්මනට වන අලි පැටවා පැටලී උන්න කල වැල කපලා ධීවර සමිතියේ බෝට්ටුවකින් තොටුපළට රැගෙන ඇවිත් එතැන ඉඳලා අම්පාර පශු වෛද්‍ය ඒකකයේ වාහනයකින් අම්පාර පශු වෛද්‍ය කාර්යාලයට අරගෙන ආවා”. උපුල් පැවසීයි.

එතැන් පටන් පශු වෛද්‍ය දේවසුරේන්ද්‍ර මහතාගේ මූලිකත්වය යටතේ වන අලි පැටවාට ප්‍රතිකාර කිරීම ඇරැඹිණි. එම ප්‍රතිකාර නිසා ටික දිනකින්ම වන අලි පැටවා කකුල් බිම තබමින් නැගිට්ටේය. ඉතා කුඩා අලි අලි පැටවකු නිතරම සිය මවු ඇතින්නගේ සහ රංචුවේ අනෙක් ඇතින්නන්ගේත් ආදරය සහ ආරක්ෂාව යටතේ උස් මහත් වන සතෙකි. එලෙස තිබියදී මේ පුංචි අලි පැටවා අතරමංවීම අහම්බයකි.

මේ අලි පුංචාට නාමල් කියන නම පට බැඳුණු ආකාරය ද විශේෂය. නාමල් ඔය යනු වන අලි පැටවා බේරා ගත් උපුල්ගේ ගමය. පිහිටා ඇත්තේ ගල් ඔය ජාතික උද්‍යානයටත් ගල්ඔය ඊසාන දිග අභය භූමියටත් මායිම්ව අම්පාර දිස්ත්‍රික්කයේය. නාමල් ඔය ප්‍රදේශයෙන් සොයා ගත් නිසා සියලු දෙනාගේ කැමැත්ත මත මේ අලි පුංචා “නාමල් ” ලෙසින් නම් තැබිණි.

මුළු ලොවම දැන් නාමල් ඔයෙන් හමු වූ නාමල් කියන මේ අලි පැංචා හඳුනයි. මේ වෙද්දී උගේ වයස අවුරුදු පහකට විතර කිට්ටුය. උස අඩි හයක් පමණය. “අපිට නාමල් හමු වෙද්දි වයස මාස තුනහමාරක් විතර ඇති. නාමලුත් එයාගේ රංචුවේ සම වයස් මට්ටමේ යාළුවන් එක්ක සෙල්ලම් කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මම හිතන්නනේ නොදැනුවත්වම ඔය කියන කලවැල්ගාල සමීපයට යද්දි කකුල කලවැලක පැටලෙන්නට ඇති. අනෙක් අය ඇවිත් බේරා ගන්නට උත්සාහ කරද්දි කකුල තව තවත් කල වැලේ හිරවෙන්නට ඇති. මම නාමල් හිටිය හරිය පරික්ෂා කරද්දි මට වැටහුණු දෙයක් තමයි මෙයා බේරා ගන්නට අලි රංචුව දින තුනක් විතර මහන්සි වෙලා තියෙනවා. මුළු කලවැල් ගාලම පොඩි වෙලා. නමුත් බේරා ගන්න කරන උත්සාහය ඵලක් නැති බව වටහා ගත්තු අලි රංචුව පස්සේ ඔහු අතහැර යන්නට තීරණය කරන්නට ඇති. කැලේ හැටි ඔහොමයි. දුර්වලයා ඉක්මනින් මිය යනවා. ශක්තිවන්තයා වැඩි කලක් ජීවත් වෙනවා.” උපුල් පැවසීයි.

අම්පාර පශු වෛද්‍ය ඒකකය ඇසුරේ මාස තුන හමාරකට ආසන්න කාලයක් හැදී වැඩුණු නාමල්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණත් කල් යත්ම කලවැලට හිර වුණු කකුල රත්පැහැ ගැන්වෙමින් අඩිය තබා යෑමට නොහැකි තත්වයක් පෙන්නුම් කළේය. නාමල් උඩවලව ඇත් අතුරු සෙවණට යොමු කරන්නට උත්සාහ කළත් ඒ වෙද්දී එහි සිටි අලි පැටවුන් සංඛ්‍යාව වැඩි නිසා එය ද ප්‍රමාද විය. පසුව පශු වෛද්‍ය දේවසුරේන්ද්‍ර මහතා සහ උඩවලව පශු වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් නාමල් උඩවලව ඇත් අතුරු සෙවණට යොමු කෙරිණ. අම්පාර පශු වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය ද මසක් පමණ උඩවලවේ ඇත් අතුරු සෙවණේ නතරව සිටිමින් නාමල්ගේ ආවතේව කටයුතු සිදු කළේය.“පිටුපස වම් කකුල කලවැලට හිරවීමෙන් ඇතිවූ තුවාලය නිසා කකුල යට හරිය ඇද වී විළුඹ බිම වැදීම නිසා අලුත් තුවාලයක් හැදිලයි තිබුණේ. අන්තිමට ඒ කකුල කපන තැනට පත් වුණා. වෙනත් අලි පැටවුන් බලා ගන්නවා වගේ නෙවෙයි නාමල් කියන්නේ සුවිශේෂි අලි පැටවෙක්. අතරමංවී උඩවලවට ගෙන එන වෙනත් වන අලි පැටවුන් රැක බලා ගන්නේ මිනිස් ඇසුර බොහෝ දුරට දුරස් වන ආකාරයටයි. මොකද එයාලා නිසි වයස සපුරත්ම තනිව ජිවත් වීම සදහා යළිත් වනාන්තරයට නිදහස් කරනවා. නමුත් නාමල්ගේ තත්වය ඊට වෙනස්. එක් කකුලක් ආබාධිතයි. යළිත් වනාන්තරයට නිදහස් කරලා තනිව ජීවත් වීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව නාමල්ට නෑ. නාමල් රැක බලා ගද්දි විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. මේ සියල්ලම අපි කළේත් කරන්නේත් රාජකාරියකට එහා ගිය යහපත් චේතනාවකිනුයි.” යනුවෙන් නාමල් සමඟ උඩවලවට ද පැමිණි උපුල් පවසයි.

හඬක් තෙපලිය නොහැකි වන ජීවීන්ට මිනිසුන් නොමැතිනම් වෙන කාගේ සරණක්ද? නාමල් පිළිබදව මුලින්ම තොරතුරු ලබා දුන් නාමල්ඔය ගැමියාගේ පටන් කෘත්‍රිම පාදයක් ලබා දෙමින් නාමල්ට යළිත් ඇවිදිමේ වරම් ලබා දීම සදහා වෙහෙසුණු සැවොම මේ මහා සත්කාර්ය පසුපස සිටිති.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

Comments