ගීත රචනය, කවිය, කෙටි කතාව, නවකතාව, තිර නාට්‍ය රචනය, පුවත්පත් කලාව, ග්‍රන්ථකරණය, චිත්‍ර කලාව, සාහිත්‍ය විචාර, වෙළෙඳ ප්‍රචාරණ පිටපත් රචනය, නිර්මාණ අධ්‍යක්ෂණය ආදී ඉසව් රැසක් නියෝජනය කරන ප්‍රවීණ සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංගයන් ශ්‍රී ලාංකේය කලාව හා සාහිත්‍යය වෙනුවෙන් කළ සුවිශිෂ්ට මෙහෙවර පිළිබඳ කෙරෙන ගීතමය ආවර්ජනය 'දශක පහක මධුර මතක' මැයෙන් 2023 සැප්තැම්බර් 09 වැනි සෙනසුරාදා සවස 7.00ට සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
දශක පහක් මුළුල්ලේ කපිල කුමාර කාලිංගයන් විසින් රචනා කළ ටෙලි නාට්‍ය, නාට්‍ය ගීත සහ මෑත කාලයේදී ජනප්‍රිය වූ ගීත 250ක් පමණ අතුරෙන් තෝරාගත් ගීත 14ක් මෙම ප්‍රසංගයේදී ගායනා කිරීමට නියමිතය. ඊට අමතරව ඔහු විසින් රචිත ගීත රචනා අතරෙන් තෝරාගත් ගීත 80ක් ඇතුළත් 'වසන්තයේ අග' කෘතිය සහ කපිල කුමාර කාලිංගයන් පිළිබඳ ලිපි සරණියක් ද එදින දොරට වඩී. කලා ක්ෂේත්‍රයේ සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 'දශක පහක මධුර මතක' සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. 80 කණ්ඩායම විසින් මෙම ප්‍රසංගය සංවිධානය කෙරේ.
නෙක පැහැයෙන්, හැඩයෙන් හා සුගන්ධයෙන් සුසැඳි පුෂ්ප තටාකයක් සේ ඔහුගේ කලා දිවිය සොඳුරුය; පැහැබරය. ඉන් කුමන පුෂ්පයක් නෙළා ගන්න දැයි අයකුට එක්වරම සිතාගත නොහැකි තරම්ය. එපමණටම ඒ පුෂ්ප තටාකය ඔහුගේ රසිකයන්ට චමත්කාර ජනකය; සංවේදීය. මේ අපූර්ව නිර්මාණවේදියා කලා ඉසව් රැසක් මඟින් සිය අපූර්ව ප්‍රතිභාව මෙරට රසික හදවත් මත සනිටුහන් කොට අවසන්ය. ඔහු ජනතා සම්මානය දිනාගත් ලේඛකයකු පමණක් නොව ප්‍රසිද්ධ සම්භාවනාවට ද පාත්‍ර වූ සම්මානිත ලේඛකයෙකි. නාට්‍ය හා රංග කලාව, නිර්මාණශීලී ලේඛනය පිළිබඳ විශ්වවිද්‍යාලයීය බාහිර කථිකාචාර්යවරයෙකි. මේ අසිරිමත් නිර්මාණවේදියාගේ අපූර්වතම සෞන්දර්ය චාරිකාවට දැන් අඩ සියවසකි. නමින් ඔහු කපිල කුමාර කාලිංග ය. ඓතිහාසික කන්ද උඩරට උපත ලබා කොළොම්තොටට පැමිණ සිය නිර්මාණ කුසලතාව රටටම ප්‍රකට කළ කපිල කුමාර කාලිංගයන් පනස් වසරක ගෙවුණු අතීතය ස්මරණය කරන්නේ බොහෝ සොම්නසිනි.
“මම හිතන්නේ මම කලාව එක්ක සම්බන්ධ වෙන්නේ ජානමය සම්බන්ධයකින්. මගේ පියා එස්. එස්. කාලිංග, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ චිත්‍ර කලාව හැදෑරූ ශිෂ්‍යයෙක්. ලංකා කලා ඉතිහාසය පොත මුලින්ම ලියා තියෙන්නේ මගේ පියා. හතළිහ දශකයේදී එවක ආණ්ඩුව විසින් ඔහු මධ්‍යම පළාතේ පළමු චිත්‍ර කලා පරීක්ෂක ලෙස පත්කිරීමෙන් පසු අසූව දශකයේ විශ්‍රම ලබන තෙක්ම පියා එම තනතුරේ වැඩ කළා. ඒ නිසාම මට කුඩා වියේ සිට චිත්‍ර කලාව පිළිබඳ කුසලතාවක් තිබුණා. ප්‍රාථමික අංශයේ ඉගෙන ගනිද්දි මම ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයකින් තුන්වැනි ස්ථානය ලැබුවා. මගේ පියා චිත්‍ර ශිල්පියෙක් වීමට මාව දිරිමත් කළෙත් නැහැ, අධෛර්යමත් කළෙත් නැහැ. තාගෝර්තුමාගේ අධ්‍යාපන ක්‍රමය ගරුකොට සැලකූ ඔහු මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් බොහොම නිදහසේ ජීවත් වීමට නිදහස දුන්නා. අහවල් කෙනා විය යුතුයි, අහවල් විෂයයන් කළ යුතුයි කියලා අපි කිසිම කෙනෙකුට බලපෑම් කළේ නැහැ. නමුත් පියා ඔහුගේ මාසික වැටුපෙන් මට පොත්පත් කිහිපයක් ගෙනත් දෙන පුරුද්දක් තිබුණා. ඒ හැර මම පුස්තකාලවලින් පොත් ගෙනල්ලත් කියවනවා. පියා ඉන්දියාවෙන් ගෙනා දුර්ලභ සාහිත්‍ය කෘති, චිත්‍ර කෘති ඇතුළු වටිනා පොත්පත් සහිත හොඳ පුස්තකාලයක් අපේ ගෙදර තිබුණා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ 8 ශ්‍රේණියෙදි විතර මම වැඩිපුර පොත් කියන්න පටන් ගත්තා. ඒ සඳහා ද්විභාෂා මනාව දත් මගේ මවගෙන් ද විශාල උදව්වක් ලැබුණා. මම පොත් කාවෙක් කිව්වොත් නිවැරැදියි. චිත්‍ර කලාවෙ දිගටම යෙදෙන්න තරම් ලොකු පෙළඹවීමක් තිබුණෙ නැති නිසා මම ලිවීමට නැඹුරු වුණා.”
ඒ සඳහා ඔහුට පදනම සැකසෙන්නේ පුවත්පත් තුළිනි. පාසලෙන් ප්‍රකාශයට පත්කළ සඟරාවකට තමාගේ ප්‍රියතම ඉංග්‍රීසි ලේඛකයා වූ චාල්ස් ඩිකන්ස් පිළිබඳ කුඩා කාලිංග ලිපියක් ලීවේ ඉතා ආශාවෙනි. ඒ හැර පුවත්පත් සඳහා ද ඔහු නිතර නිර්මාණ යොමු කළේය. මුල්වරට ඔහුගේ ලිපියක් පළවූයේ 'ටිකිරි' පුවත්පතේය. “දිළිඳු පැලෙන් ආ ගත්කරු” යනුවෙන් ඊට යෙදූ ශිර්ෂ පාඨය ඔහුට දැනුදු මතකය. කලාවේ ඔහුගේ දෙවැනි ප්‍රේමය තිබුණේ නාට්‍ය කලාවේය. ඒ ප්‍රේමයට පසුබිම තනන්නේ මුද්‍රා නාට්‍යයි.
“ඒ කාලේ කොළඹින් නුවරට එන හැම නාට්‍යයක්ම පෙන්නුවේ කටුගස්තොට ශාන්ත අන්තෝනි රඟහලේ. මගේ පියාට නුවරට එන කලා කටයුතුවලට නිතරම ආරාධනා ලැබුණා. රඟහල තිබුණේ අපේ ගෙදර ඉඳන් පයින් යන දුර නිසා හැම සති අන්තයකදීම මට නාට්‍ය නරඹන්න අවස්ථාව ලැබුණා. මුලින්ම නාට්‍යයක් බලන්න යද්දි මම ඉස්කෝලෙ යන්න පටන්ගන්න කාලේ. ඒ, චිත්‍රසේනයන්ගේ 'කරදිය' මුද්‍රා නාට්‍යය. මුලින් අම්මයි තාත්තයි එක්ක නාට්‍ය බලන්න ගිය මම පස්සෙ කාලෙක තනියම ගිහින් නාට්‍ය බලන්න පුරුදු වුණා. හෙන්රි ජයසේනයන්ගේ 'අපිට පුතේ මඟක් නැතේ', 'ජනේලය' වැනි නාට්‍යවල ආභාසයත් මට ලැබුණා. උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදිහට මම ලියපු පළමුවැනි නාට්‍ය 'සමයන්කාරයෝ'. ඒකට ගීත ගණනාවක් ඇතුළත් වුණා. උසස් පෙළ ලිව්වට පස්සේ මම නුවර ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණු 'ශුද්ධවන්තයෙක් ඇතුළු කීපදෙනෙක්' නාට්‍යයට ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. මගේ ගීත රචනා කලාවේ මූලාරම්භය එතැනයි. මුද්‍රා නාට්‍ය බැලීම නිසා ඒ ගීත පිළිබඳ ආස්වාදය ඇති වුණා. ඒ ආස්වාදය තුළින් මගේ වේදිකා නිර්මාණවලට ගීත ලිවීම පටන් ගත්තා. “නාට්‍යකරුවකු ලෙස නුවර නමක් හදාගත් කාලිංග ඉලන්දාරියා කොලොම්පුරයට අවතීර්ණ වන්නේ පුවත්පත් කලාව ගැන උපන් ඇල්ම නිසාය. මුලින්ම පුහුණුවන පුවත්පත් කලාවේදියකු ලෙස පුවත්පත් කලාවට අත්පොත් තබන හෙතෙම පසුව ළාබාල උප කර්තෘවරයකු ලෙස 'දවස' පුවත්පතට සම්බන්ධ විය. 1975දී පමණ 'බිංගෙය' නාට්‍ය වේදිකාගත කරමින් අගනුවර ප්‍රධාන නාට්‍ය ධාරාවට සම්බන්ධ වන කපිල කුමාර කාලිංගයන් ඊට සමගාමීව ගුවන්විදුලි නාට්‍ය රචනයට ද යොමු විය. මේ වන විට ඔහු ගුවන් විදුලි නාට්‍ය 150ක් පමණ රචනා කොට ඇති අතර, ඉන් තුනක් මුද්‍රිත කෘති ලෙස පළකොට ඇත. ඉන්පසු ඔහුගේ සිත බැඳෙන්නේ කෙටිකතාව කෙරෙහිය. මේ වන විට ඔහු කෙටි කතා කෘති පහක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඉන් 'නිරෝධානය චාරිකාව' කෙටිකතා සංග්‍රහය 2019 ගොඩගේ සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය. නව පරපුරේ පාඨක පරම්පරාව අතර කපිල කුමාර කාලිංගයන් වඩාත් ප්‍රකට සම්මානිත නවකතාකරුවකු ලෙසිනි.
“ඒ වුණත් මම වයස අවුරුදු හැට වෙනකම්ම හිටියා නවකතාවක් ලියන්න. එහෙම ලියූ පළමුවැනි නවකතාව 'පියැසි කවුළුව' 2012 විද්‍යෝදය සම්මාන උලෙළේ විශිෂ්ට නවකතාව ලෙස සම්මාන ලැබුව වගේම ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් කෘති පහ අතරටත් නිර්දේශ වුණා. මේ වෙද්දි මම ලියා ඇති නවකතා පහ අතරෙන් තුනක්ම සම්මාන සඳහා නිර්දේශ වුණා.”
මේ අපූර්ව නිර්මාණවේදියාගේ සෞන්දර්ය චාරිකාව නෙක මලින් පිරුණු පුෂ්ප තටාකයක් බව කීවෙමි. ඒ අතරේ කාව්‍ය සංග්‍රහ දෙකක් ද වේ.
“මම වැඩිපුරම කවි ලියන්නෙ දිනපොත්වල සටහන් පොත්වල. මම එදා ඉඳලම ලිව්වේ කෙටි කවි. පසුකාලීනව මට හිතුණා කෙටි කවි කියන්නෙත් වෙනම අලංකාර ශානරයක් කියලා. ඒ නිසා මම කෙටි කවි සීයක් එකතු කරලා 2021දී 'කෙටි වුණත් ඒ කවි' කියලා කෘතියක් පළ කළා. මාධ්‍යවේදි, ලේඛක මාලින්ද සෙනෙවිරත්න මගේ මිතුරා මගේ ඒ කවි සියය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබෙනවා. ඒ වගේම මම ඉන්දියානු ප්‍රේමියෙක් කිව්වොත් නිවැරදියි. කුඩා කාලයේ මගේ පියා ඉන්දියාව එක්ක තිබුණු සම්බන්ධය නිසාදෝ ඉන්දියාව කියන්නේ ලෝකයේ මම ඉතාම ඇලුම් කරන රටක්. මම ලියූ කෙටිකතා පොත්වල ඉන්දියාව පසුබිම් කරගෙන ලියූ කෙටිකතා ගණනාවක්ම තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ කතිකාචාරිනී සුභා රත්නායක විසින් එම කෙටිකතා හින්දි භාෂාවට පරිවර්තනය කරමින් සිටිනවා. මේ කරුණු දෙක නිසා මම ඉතාම නොඉවසිල්ලෙන් සහ සතුටෙන් බලාගෙන ඉන්නවා මගේ කාව්‍ය කෘතිය සහ කෙටිකතා කෘතිය වෙනත් රටක ප්‍රකාශයට පත්වන තුරු.”
එහෙත් කපිල කුමාර කාලිංගයන් පවසන්නේ කවිය ඔහුගේ ප්‍රධාන ආත්ම ප්‍රකාශනය නොවන බවයි. ඔහුගේ කලා කුසලතාව දසත විසිරුණු අතු ඉති සහිත මහා රුකක් බඳුය. ඔහුගේ කවියක්, කෘතියක් හෝ වෙනත් කිසිදු නිර්මාණයක් රස නොවිඳි අයකු පවා ඔහු විසින් පබැඳූ මියුරු ගී පදවැලක් අසා ඇතිවාට කිසිදු සැකයක් නැත. “වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, නෙක උයන් වතු මැදින්, සුපෙම් හැඟුම්, මීන නුවන් යුග, නිමා නොවන පෙම් හැඟුම්” ආදී යුග යුග රසික හද බැඳි ජනප්‍රිය ගීත රැසක් ඒ අතර වේ. එසේ වුව ද සිය නිර්මාණ චාරිකාවේ ඉකුත් වසර පනහ පුරාම ඔහු ලියා ඇත්තේ ගීත 250ක් පමණ සංඛ්‍යාවකි.
“ඒත් මම වැඩිම ආස්වාදයක් ලබන්නේ ගීත රචනා කිරීමෙන්. ගීත රචනාවක් කියන්නේ මල් වෙඩිල්ලක් පුපුරනවා වගේ ඉතා ක්ෂණිකව සිදුවන ඉතාම අලංකාර දෙයක්. ගීතයක් ලියලා ඉවර වුණාම එය ගායනා කරන්නත් කලින් මම එයින් ආස්වාදයක් ලබනවා. ඒ සතුට මට වෙනත් කලා මාධ්‍යයක් එක්ක සසඳන්න බැරි තරම්. ගී පද රචනා තුළින් මම දිව්‍යමය ආස්වාදයක් ලබනවා. මම හිතන්නේ මගේ ගීත ජනප්‍රිය වෙන්න ඒ යුගයේ තිබුණු පසුබිමත් උදව්වක් වුණා. එදා අද වගේ මාධ්‍ය වනාන්තරයක් තිබුණේ නැති නිසා යූටියුබ් පීරමින් ගීත හොයන්න සිදු වුණේ නැහැ. ඒ කාලේ අපි කිව්වේ “වන් ඇන්ඩ් ඔන්ලි එස්.එල්.බී.සීය” කියල. ඒ වගේම එදා ගීත සාහිත්‍යයක් තිබුණා. කවුරු හරි ලියපු මොනවා හරි වචන ටිකකට තනුවක් දාලා ගීත කළේ නැහැ. එහෙම ගීත ලිව්වත් කවුරුත් ගායනා කරන්නෙත් නැහැ. හොඳ ගීත තමයි එදා ජනප්‍රිය වුණේ. මධුර මතක ප්‍රසංගයේදී පළමු වරට දොරට වඩින මගේ ගී පද රචනා එකතුව නම් කළෙත් 'වසන්තයේ අග' නමින්.
ඔහු 'වසන්තයේ අග' සිහි කළ නිසා ඒ සොඳුරු ගීතයේ උපත ගැන ද සිහි නොකරම බැරිය. ඒ ගීතය ඔහු ලියන්නේ සිය පෙම්වතිය වෙනුවෙනි. ඒ යටගියාව ඒ ගීතයටත් වඩා සොඳුරුය; ආදරණීයය.
“ප්‍රථම ප්‍රේමය විවාහයෙන්ම ජයගන්න මගේ හිතේ අරමුණක් තිබුණා. මගේ පෙම්වතිය හිටියෙත් ඒ අරමුණෙන්. විවාහ වෙන්න ටික කාලයකට කලින් ප්‍රේමය වෙනුවෙන් ඇයට දෙන තෑග්ගක් විදිහටයි මම මේ ගීතය ලිව්වෙ. එදා වගේම අදත් මගේ ජීවිතයේ සෙවණැල්ල ඇයයි. කලා කටයුතු සඳහා මට අවශ්‍ය නිදහස ලබාදෙමින් නිවෙසේ සහ දරුවන්ගේ සියලු කටයුතු බලා ගත්තේ ඇයයි. මම පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කරන කාලේ හැම සතියෙම සිකුරාදා රෑ කොළඹ ඉඳන් නුවර ගෙදර ගිහින් ආපහු සඳුදා පාන්දරම කාර්යාලයට එනවා. ඒ දවස්වල මට යාළුවො විහිළු කරන්නෙ "වීකේන්ඩ් හස්බන්ඩ්" කියලා. ඇත්තට ඉන්දු ඒ සියල්ල කිසිදු මැසිවිල්ලකින් තොරව ඉවසීමෙන් දරාගත් නිසයි මගේ කලා ජීවිතය සාර්ථක වුණේ.”
කපිල කුමාර කාලිංගයන්ගේ බොහෝ ගී පද රචනාවලට ප්‍රස්තූතය වී ඇත්තේ ප්‍රේමයේ චමත්කාරයයි. ඒ චමත්කාරය ඔහු රසික හදවතට දනවන්නේ වෙනස්ම හැඩයකිනි. ඔහුගේ බොහෝ ගී පද රචනාවලින් සහෘද හදවතට දැනෙන්නේ සොබාදහමේ අරුමැසියයි.
“කලාකාරයෙක් කියන්නෙම සොබාදහම සමඟ බොහොම ළඟ සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඒ නිසාමදෝ මගේ ගීත බොහොමයක් සොබාදහමේ දෘශ්‍ය රූප එක්ක සම්බන්ධයි. ඒ නිසාම ඒ ගීත ඇහෙද්දි රසික හදවතේ මැවෙන්නේ සොඳුරු සංකල්ප. මගේ ඉතා ජනප්‍රිය ගීත බොහොමයකින් කියැවෙන්නෙ ප්‍රේමයේ චමත්කාරය සහ එහි සොඳුරු ආස්වාදය ගැනයි. මම හිතන්නෙ මම විරහ ගීත ලියල තියෙන්නෙ ඉතාම අඩුවෙන්, ලියලා නැති තරම්ම වගෙයි.”
සිය නිර්මාණ තුළින් කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කළ කපිල කුමාර කාලිංගයන් පවසන්නේ සිය අරමුණ රසිකයාගේ ජීවිත අවබෝධය පුළුල් කිරීම බවයි. ඒ සඳහා ජීවිතය පිළිබඳ ගැඹුරු දැක්ම සහ පාඨකයා එතැනට කැඳවාගෙන යෑමේ ජීවන දැක්ම ද කලාකරුවා තුළ තිබිය යුතු බව ඔහුගේ විශ්වාසයයි.
දශක පහක් ඉකුත් වූ කපිල කුමාර කාලිංගයන්ගේ ලිවි සැරිය විමසා බැලීමේදී ඒ ජීවිත දර්ශනය ඔහු සාක්ෂාත් කරගෙන ඇති බව පැහැදිලිය. උප කර්තෘවරයකු ලෙස වෘත්තීය පුවත්පත් කලාවට අවතීර්ණ වූ කපිල කුමාර කාලිංගයන් දශක දෙකකට ආසන්න කාලයක් එහි නිරත විය. ඔහු එම වෘත්තීය ජීවිතයට සමු දෙන්නේ දිනපතා සහ ඉරිදා ලක්බිම පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙසිනි. කලින් කලට විවිධ කලා ඉසව් ස්පර්ශ කළ ඔහු කලක් වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර යේ පිටපත් රචකයකු හා නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය. යම් යම් කාලවල රටේ පැවති තත්ත්වයන් මත වැඩි වැටුප් ලැබෙන එම රැකියාවේ නිරත වුව ද සිය කුසලතාව ඉහළ මිලකට අලෙවි කිරීමට සිදුවීම ඔහුගේ සිතට කිසියම් බරක් එක් කළා සේය. ඔහු ඊට සමු දෙන්නේ තමා කළ යුත්තේ මානවීය සහ වඩාත් ගෞරවනීය සේවයක යෙදීම යන තීන්දුව මත පිහිටාය. කලාවේ විවිධ ඉසව්වල සැරිසැරූ කපිල කුමාර කාලිංගයන් තමා හඳුන්වා දෙන්නේ හරි අපූරු විලාසයකිනි.
“මම නොකළ දෙයක් නෑ. නමුත් ඔබ කවුද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්න කැමතියි, මම නාට්‍ය කරුවෙක්, ගීත රචකයෙක් සහ ලේඛකයෙක්. මේ තුන් ආකාරය ගැනම කියන්න පුළුවන් එක වචනයක් හැදුණදාට මාව ඒ වචනයෙන් හඳුන්වන්න පුළුවන් වෙයි.” ලබන සැප්තැම්බර් 30 වැනිදාට ඔහු සිය ජීවිතයේ හත්වැනි දශකය සපුරන්නේය. එහෙත් ඔහුගේ සිතිවිලි හැමදාමත් විචිත්‍රවත්ය; තරුණය.
“ඇත්තටම මම මාව හඳුන්වන්න කැමති ඉතා විචිත්‍රවත් ජීවිතයක් ගත කරන අයෙක් විදිහටයි. ජීවිතය දිහා ආපස්සට හැරිලා බලද්දි විවිධාකාර කලා අංශවල යෙදුණු කෙනෙක් විදිහට සහ සමාජ අත්දැකීම් බහුල කෙනෙක් විදිහට මට ගෙවුණු අතීතය ගැන බොහොම තෘප්තියෙන් ආවර්ජනය කළ හැකියි. දැන් වැඩ කිරීමේ වේගය තරමක් මන්දගාමී වුවත් මම විශ්වාස කරනවා, ලේඛකයකුට කලාකරුවකුට සිය මරණ මංචකය දක්වා වැඩ නොකර සිටිය නොහැකි බව. ඒ නිසා මම විවිධ නව නිර්මාණවල යෙදෙමින් සිටිනවා. ඒවා සම්පූර්ණ කරන්න මට දෛවය සහ කාලය ඉඩ ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”
දිවිමඟ සටහන්
සම්පූර්ණ නම - කපිල කුමාර කාලිංග
මවුපියන් - පියා: එස්. එස්. කාලිංග (මධ්‍යම පළාත් හිටපු චිත්‍ර කලා පරීක්ෂක)
මව: පියසීලි කරුණාරත්න
උපන් දිනය - 1953 සැප්තැම්බර් 30 වැනිදා
උපන් ගම - මහනුවර කටුගස්තොට රණවන ග්‍රාමය
ඉගෙන ගත් පාසල - මහනුවර ධර්මරාජ විද්‍යාලය
උසස් පෙළ- කලා අංශයෙනි
සහෝදර සහෝදරියන් - පවුලේ වැඩිමහල් දරුවා වන ඔහුට බාල සහෝදරියන්
තිදෙනෙක් සහ බාල සහෝදරියන් තිදෙනෙකි.
බිරිය - ඉන්දුමතී ඒකනායක
දූ දරුවන් - දෙදෙනෙකි. දියණිය ලයාන්වි, එංගලන්තයේ රජයේ අනුබද්ධිත
සෞඛ්‍ය ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකි. පුතු නිපුන්, මෙරට පෞද්ගලික
ආයතනයක සේවය කරයි.
පුවත්පතක පළවූ පළමු නිර්මාණය - පාසල් ශිෂ්‍යයකු ලෙස ටිකිරි ළමා පුවත්පතට
ලියූ ලිපියකි.
පළමු රැකියාව සහ වැටුප - දවස පුවත්පත (1980 දශකය) වැටුප රුපියල්
1,200යි.
සම්මාන දිනූ නිර්මාණ
* පියැසි කවුළුව - විද්‍යෝදය සම්මාන 2012 (විශිෂ්ට නවකතාව)
* අදිසි නදිය - ස්වර්ණ පුස්තක සම්මානය 2019 (විශිෂ්ට සාහිත්‍ය සම්මානය)
* නිරෝධායන චාරිකාව - ගොඩගේ සාහිත සම්මාන 2019 (හොඳම කෙටි කතා සංග්‍රහය)
* රයිනෝසිරස් - රාජ්‍ය නාට්‍ය සම්මාන (හොඳම අනුවර්තනය හා අධ්‍යක්ෂණය)
* බැංකු වීරයා - රාජ්‍ය නාට්‍ය සම්මාන 2018 (හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය රචනය)
* හොඳම තීරු ලිපි රචක - ශ්‍රී ලංකා පුවත්පත් ආයතන සම්මානය (2020-2021)
* වන බිමේ සිරකරු-කපිල කුමාර කාලිංගයන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම
ටෙලිනාට්‍ය සඳහා රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී විවිධ අංශ සඳහා
නිර්දේශිත 10ක් ලැබිණි.
* මෙම ප්‍රධාන සම්මානවලට අමතරව ඔහුගේ නිර්මාණ රාශියක් විවිධ සම්මාන
සඳහා නිර්දේශ වී ඇත.