ප්‍රේමණීය මිනිසකුගේ ප්‍රේම පුරාණය | සිළුමිණ

ප්‍රේමණීය මිනිසකුගේ ප්‍රේම පුරාණය

අඩසියවසක ජීවිත හා වෘත්තීය අත්දැකීම් අලළා ප්‍රේම් දිසානායක විසින් රචිත ස්වයං ලිඛිත අපදානය 'ප්‍රේම පුරාණය' නමින් අගෝස්තු 25 වැනිදා පස්වරු 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනගත වීමට නියමිත ය. මෙහිදී මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සහ ප්‍රවීණ නිර්මාණවේදී සමන් අතාවුදහෙට්ටි මේ උළෙලේදී ප්‍රේම් ගැන සිය ප්‍රේමණීය මතක ස්මරණය කිරීමට නියමිත ය.

ප්‍රේම්ලා ගැන කතා බොහෝ ය. අපි දන්නා කියන ප්‍රේම්ලා දෙතුන් දෙනාම ෆ්‍රේම් නොවූවෝ වෙති. ෙෆ්‍ර්ම් නොවීම පහසු නැත. ඉපදුණ දා සිට අපට උගන්වන්නේ රාමු වීමටය. ඒ රාමුවෙන් පිට පනින්නෝ ලෝකය වෙනස් කරති. ඔවුහු ලෝකයට වෙන හැඩ නිර්මාණය කරති. ඒ හැඩ විසින් ලෝකය නේක වර්ණිත වෙති. ඒ එකම වර්ණවලින් නොව විවිධ වර්ණවලිනි. ඒ වර්ණ නියෝජනය කරන්නේ අත්දැකීම් ය. අත්දැකීම් විසින් ජීවන හැඩය හා විලාසිතාව තීරණය කරනු ලබයි. බොහෝ ප්‍රේම්ලා අතරත්, ෆ්‍රේම් නොවූ ප්‍රේම්ලා කිහිප දෙනා අතරත් අප කියන්නට යන ප්‍රේම් හැඩවත් හා අත්දැකීම්වලින් නෙක වර්ණිත සිතුවමකි. හේ ප්‍රේම් දිසානායක ෆ්‍රේම් නොවූ ප්‍රේම්ලා අතර හේ ඉදිරියෙන් සිටින්නෙකි. ඒ වර්ණිත ලෝකයට හැඩයක් නිර්මාණය කළ වර්ණවත් මිනිසකු ලෙසිනි. 

ප්‍රේම් දිසානායකගේ දශක හතක මතක ප්‍රේම පුරාණය ලෙස එළැඹෙන අගෝස්තු 25 වැනිදා ජනගත වීමට නියමිත ය. එහි චරිත කතාවකින් ඔබ්බට ගිය සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතිකමය වියමනක් අන්තර්ගත වන බැව් ඔබට වචනවලින් කියන්නට අවැසි නැත. ඒ ඔබ ප්‍රේම්ගේ කතාව, ඔහුගේ කතාව පමණක් නොව මෙරට ඉතිහාසය පිළිබඳ කතාවක් බැව් හොඳින්ම දන්නා නිසා ය. ඉතිහාසය කියවා ගන්නට හා හදාරන්නට ඉතිහාස කෘති ම කියැවිය යුතු නොවන්නා සේ ම සමහර ඉතිහාස, ඉතිහාස කෘති ඇතුළේ ලියැවෙන්නේ ද නැත. ඒවා ලියැවෙන අපදාන කෘති ගැන බොහෝ ශාස්ත්‍රාභිලාෂීන් උනන්දු වෙන්නේ ඒ නිසා ය. ඒ අපදාන කෘති ඇතුළේ පුද්ගලිකත්වය දියැවී ඇතැයි කෙනකු කියන්නට පුළුවන. එහෙත් ඒ පුද්ගලිකත්වය මුහුණ දෙන විවිධ අවස්ථා හා අත්දැකීම් ඔස්සේ වක්‍රාකාරව කියැවෙන්නේ සමාජ විද්‍යාත්මක කියැවීමක් බව නොකියා බැරිය. ප්‍රේම්ගෙන් ලියැවෙන මේ ස්වයං අපදානයේ ඇත්තේ ද දශක හතක සමාජ විද්‍යාත්මක හා සංස්කෘතිකමය ගලා යෑම බව සත්‍යයකි.

ප්‍රේම්ගේ ජීවිතය එක්තරා අන්දමකට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේත් අනෙක් අතට ඒ අධ්‍යාපන ක්‍රමයෙන් හැඩ නොගැන්වෙන තාරුණ්‍යයේත් කතන්දරයක් යැයි සිතමි. මෙරට අධ්‍යාපන ක්‍රමය විසින් හා සමාජය විසින් බල කරන්නේ වෛද්‍යවරු සහ ඉංජිනේරුවන් එසේත් නැතිනම් වරලත් ගණකාධිකාරීවරුන් වීමට ය. ස්වල්පයක් වූ නිදහස් හා විකල්ප මතධාරීන් මේ තුන් ක්ෂේත්‍රයට ම අයත් නොවූවත් ලෝකය වෙනස් කිරීමේ හා වර්ණවත් කිරීමේ පාඩම බොහෝවිට සපථ කරන්නේ ඔවුන් විසිනි. ප්‍රේම් අයිති වෙන්නේ ඒ පරම්පරාවට ය.

හේ කරන්නේ විද්‍යා විෂයයන් ය. වෛද්‍යවරයකු වීමේ සිහිනය අබියස සිටියදී හේ එයින් කට්ටි පනින්නේ ය. ඒ, සිය ජීවන විලාසාව වෛද්‍ය භූමිකාවේ සිර නොකර රස්තියාදුවකට පෙලඹෙමිණි. ජීවන අරගලයත් එක්තරා අන්දමකට ඔහුට ඊට බලපෑම් කරන්නේ ය. සිය පියා තමන් කරමින් සිටි ව්‍යාපාර සියල්ල එකවර අතහරින්නේ තම සහෝදරයාගේ වචනයක් නිසා ය. ඉතා සමෘද්ධිමත් ජීවිතයක් ගෙවූ ඔවුහු පියා ඒ එකවර ගත් තීරණය නිසා ආර්ථික අර්බුදයකට මුහුණ දෙති. ඒ මූල්‍යමය දරිද්‍රතාවත් ඔහුට ඒ සඳහා බලපෑම් කරන්නට ඇත. එසේම ප්‍රේම්ගේ අම්මාගේ සුනම්‍ය ලාලිත්‍යයේ සෙවණැල්ල ප්‍රේම්ගේ ජීවිතය පුරා දැවැන්ත සෙවණැල්ලක් ව පතිත ව ඇතැයි සිතේ. ඔහුගේ ජීවිතයේ හැමදෙයක් ම තීරණය වීමට බලපෑ හේතු අතර මෙන්ම ඔහුගේ ජීවන විලාසය පිළිබඳ අවබෝධයක් ගන්නා ඕනෑ ම අයකුට එසේ සිතීම අරුමයක් නොවේ. ඇය ආදර්ශවත් ගෘහණියක් වූවා සේ ම නිසර්ගයෙන් පිහිටන ලද කලා හැකියාවලින් යුක්ත වූවා ය. ඇගේ අත් අකුරු වටකුරු ය, ලස්සනය. සොබාදහමේ විවිධ අවස්ථා වර්ණිත සිතුවමට නැඟීමේ අපූර්ව හැකියාවකින් ඈ යුතු වූවා ය. සිය දරුවන් වට කරගන්නා ඇය ඔවුන්ගේ පාසලේ ක්‍රියාකාරකම්වලට සහය දෙන්නී, එ් ඔස්සේ ජීවිතය ද කියා දෙන්නී ය. මේ සුන්දර අත්දැකීම් වෛද්‍ය සිහිනයට එහා ලොවක් කරා පියඹන්නට ප්‍රේම් පෙලඹ වූයේ ය. පත්තර කන්තෝරු ඔහුට වෙනත් ලෝකයක් පෙන්වූයේය. ඒ ලෝකයට ආසක්ත වූ ඔහු අනතුරුව සිහින දැක්කේ පුවත්පත් කලාවේදියකු වෙන්නට ය.

ප්‍රේම් පත්තරවලට ලියන්නට පටන් ගන්නේ ඇත්ත පුවත්පතෙනි. ඔහු ම කියන පරිදි ඇත්තට ඔහු ලියූ ලිපිවල බස කඨෝර ය. ඒ රළු බස සහිත ලිපි ලියන්නේ ළමයකු කියා කිසිවෙක් සිතා නැත. දැඩි දේශපාලන විවේචන පවා ඔහු ලියයි. පාසල් විවේක කාලයේ ප්‍රේම් පාසලෙන් හොරෙන් පැන යන්නේ ඇත්ත පත්තර කන්තෝරුවට ය.

ඒ අතීතය ස්මරණය කරමින් ඔහු මා සමඟ පැවසුවේ මෙවැන්නකි.

ඒ කාලෙ ලියන්න උදව් කරන අය කියලා එහෙම විශේෂයෙන් දන්න හඳුනන කවුරුත් හිටියෙ නෑ. මට කිසිම ගුරුවරයෙක් නෑ. මම දැන් මේ කරන දේවල් වුණත් ඉගෙන ගෙන නෑ. අම්මා තමයි මට පෙරහුරුවක් වුණේ. ඒ කාලෙ දිනපතා ලංකාදීපෙ තිබුණා ලස්සන අත්අකුරු කියලා තරගයක්. අම්මා මගේ අත්අකුරු ඒකට යවනවා. මට ඒ තරගෙන් දෙවැනි තැන ලැබුණා. මට ලැබුණා තෑග්ගක් විදියට පාකර් 51 පෑනක්. ඒක තමයි මගේ නිර්මාණයකට හම්බ වුණු පළවැනි තෑග්ග. පවුලෙන් මට කිසිම විරෝධතාවක් ආවෙ නෑ. ඒත් මම දන්නවා එයාලා මම ගැන හිත හිත වද වෙනවා කියලා‘

ඒ වකවානුවේ පාසල් යන ළමයෙක් ලෙස ප්‍රේම් ඇත්ත කන්තෝරුවට යද්දී එහි කතුවරයා වූයේ බී. ඒ. සිරිවර්ධනය. පාසලෙන් ඉවත් වීමෙන් ඉනික්බිති ප්‍රේම් කෙළින්ම යන්නේ කතුවරයා හමුවට ය. ඒ ලියන්නට අවස්ථාව උදා කරගැන්මටය. ලියන්නට පමණක් නොව අඳින්නට ද ප්‍රේම්ට අවස්ථාව දෙන්නට ඇත්ත කතුවර බී. ඒ. සිරිවර්ධන දෙපාරක් සිතන්නේ නැත. ඒ 1967 වසරේ දී ය. වැටුප රුපියල් 150කි.

ඇත්ත මතක අවදි කරමින් ප්‍රේම් පැවසූ දෑ ඔබ හමුවේ තැබීමට මට අවැසිය. ඒ අන් කිසිවක් නිසා නොව පුවත්පත් කලාව යනු කුමක්ද සහ එහි ව්‍යාවෘත වන්නන් කෙතරම් ඒ වෙනුවෙන් කැපවූයේ ද යන්න ඔබට දැනවීමට ය.

‘මම ජීවිතේ ඉගෙන ගත්තෙ එතැනින්. අපි වැඩ කළේ ටකරන් මඩුවක. සුගීෂ්වර ශාලාවේ. අති වෙහෙසකරයි. ඒත් හැම මිනිහෙක්ම තෘප්තිමත්. සිරිලාල් කොඩිකාර, නිව්ටන් සෙනෙවිරත්න, ජැක්සන් සේනාරත්න, රිචඩ් වීරසිරි, බුද්ධි කීර්තිසේන, මොටාගෙදර මේ හැම කෙනෙක් ම ගත්තෙ සොච්චම් පඩියක්. ඒවුණාට කවුරුවත් පඩිය ගැන හිතලා වැඩ කළේ නෑ‘

ප්‍රේම් ට එක තැනක වැඩ කරන පුරුද්දක් තිබුණේ නැත. ඔහුගේ ලිවිසැරියට ලංකාවේ තිබෙන බහුතරයක් පුවත්පත් කාර්යාල අයත් වෙන්නේ ය. ඔහු එක දිගට චිත්‍ර කතා කිහිපයක් අඳින අවස්ථා ද තිබිණි. වර්තමානයේ මෙන් එකල පරිගණක හෝ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැත. සියල්ල කළ යුතු වූයේ අතින් ම ය. චිත්‍ර කතා දෙක තුනක් ඇඳීම කිසිසේත්ම පහසු වූයේ නැත. ප්‍රේම්ට අපහසු වූයේ චිත්‍ර කතා කිහිපයක් ඇඳීම නොවේ. එක තැනකට සිරවී සිටීම ය. මාස පහ හයක් යද්දී ඔහුට වෙනසක් අවැසි වෙයි. ලාබ වුණත් පාඩු වුණත් ඔහුට එපා වූ විට තවදුරටත් ඉන්නට බැරිය. ඔහු එළියට බහියි. ඒ එළියට බහින බොහෝ අවස්ථාවල ඔහුට ආදේශකයක් තිබුණේ නැත. එහෙත් ආදේශකයක් නැතැයි කියා ඔහු නැවතුණේ ද නැත. අප මුලින් කීවා සේ ලෝකය වෙනස් කරන්නට අවැසි මිනිසුන්ට රාමු තවදුරටත් රාමු වෙන්නේ නැත. ඒ රාමු ඇතුළේ සුන්දර රටා වියෙන අතර, ඒ සුන්දර රටා තවදුරටත් රාමුවෙහි හිර වීමට නොහැකි කල්හි එළියට පනියි. ප්‍රේම්ට වෙන්නේ ද එවැන්නකි.

ඔහු ගමේ තොරණේ පටන් ලංකාවේ ප්‍රධානම පෙළේ සමාගම් සඳහාත් දැන්වීම් සඳහාත් අකුරු ඇන්දේ ය. සන්නාම නිර්මාණය කළේය. පාඩු ලබමින් තිබූ ආයතන ඔහුගේ නිර්මාණශීලී අකුරෙන් හා අදහසෙන් ඔපවත් වී ලාබ ලැබුවේය. ලොතරැයි මණ්ඩලය එවැන්නකි. ආණ්ඩු හදන්නට ඔහුගේ අදහස් හා අකුරු බලපෑවේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය සිය ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නේ ඔහු නිකමට මෙන් ඇඳ යැවූ පෝස්ටරයකිනි. චන්ද්‍රිකා හිටපු ජනපතිනියට මේ පෝස්ටරය කොතරම් හිතට අල්ලා ගියේ ද යත් පුවත්පත් දැන්වීම් සඳහා භාවිත කළේ ද එයම ය. අප මේ කියමින් සිටින්නේ පරිගණක භාවිතයෙන් අක්ෂර නිර්මාණය ආරම්භ වී නොතිබුණු යුගයක අක්ෂර හැඩතල නිර්මාණයේ ඉතිහාසය ගැන බව ඔබට වැටහෙනු ඇත. මෙවැනි නිදසුන් දහස් ගණනකි. හේ ඒවා සිහිපත් කරන්නේ කිසිදු මමංකාරයකින් නොව ස්මරණීය තෘප්තිදායක බවකින් යුතු ව ය.

ඔහු කතුවරයා වූ විචිත්‍ර පුවත්පත හරහා මෙරට සිනමා විචාරක පරම්පරාවක් බිහි කිරීමේ පදනම දැම්මේ ය. රසඳුන, කලා වැනි ටැබ්ලොයිඩ් පුවත්පත් මෙරට සිනමා කර්මාන්තය නව මුහුණුවරකට ගෙන ආවේය. සිනමාව කර්මාන්තයක් ලෙස වැඩිදියුණු වීමේ පදනම වැටුණේ ඒ හරහා ය. කලා පුවත්පත ප්‍රේම් අරඹන්නේ තම වියදමිනි. එය අලෙවි වාර්තා තැබූ පුවත්පතකි. රමණී බර්තොලමියුස්ගේ මරණය සිදුවූ අවස්ථාවේ එක ම පුවත්පතේ මුද්‍රණ තුනක් නිකුත් කළ බවත් ජෝති මියගිය අවස්ථාවේ මුද්‍රණ දෙකක් නිකුත් කළ බවත් ප්‍රේම් සිහි කරන්නේ එකල සිනමා සහෘදය පාඨකයන්ගේ ආදරය සිහිපත් කරමිනි.

70 දශකයේ අග භාගයේ කැසට් පට ව්‍යාපාරය ශීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන් ගත්තේ ය. කවදත් අලුත් හා වෙනස් වැඩ ගැන උනන්දු ප්‍රේම් මේ සඳහා ද නව අත්හදාබැලීම් කිහිපයක් කරන්නේ ය. වැඩිකල් ගත වෙන්නේ නැත. ප්‍රේම්ගෙන් තොර කැසට් කවරයක් නැති තරමට ඔහුට වැඩේ අහුවෙන්නට පටන් ගත්තේ ය. එහෙත් ඉල්ලුම තිබුණාට ලංකාවේ ඊට පහසුකම් තිබුණේ නැත. මුද්‍රණය සඳහා සිංගප්පූරුවට යැවිය යුතුය. කොතෙක් බාධක තිබුණත් වැඩේ තිතට ම කිරීම ප්‍රේම්ගේ පුරුද්දයි. ඔහු අත මිට සරු නිර්මාණකරුවකු බවට පත් කරන්නට කැසට් කවර නිර්මාණය හේතු පාදක වූයේ ය.

70 දශකයේ සිට දශක 5ක් තිස්සේ මෙරට සංස්කෘතික පදනම නිර්මාණය කිරීමට වෙහෙස වූ ප්‍රේම් දිසානායක ඉතිහාසයක් ගොඩනැංවූවෙක් යැයි අප කීම යුක්ති යුක්ත වෙන්නේ මේ සියලු පදනම් නිසා ය. ප්‍රේම් FASTads පටන් ගන්නේ 89 වසරේ අගදී ය. තමන්ගේ ම කියා ගොඩනැගිල්ලක තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන ඔහුට ඒ ආයතනය හරහා දැන්වීම් කලාවේ දේශීය නැඹුරුවක් ඇති කිරීමට හැකි විය. ඔහුගේ දැන්වීම් කලාවේ තීරණාත්මක මොහොත එළැඹෙන්නේ විනාඩි 45කින් මහජන බැංකුවේ දැන්වීමක් නිර්මාණය කිරීමෙනි. ප්‍රේම්ට කවදත් නැහැ, බැහැ කතා තිබුණේ නැත. වැඩේ බාර ගන්නා ඔහු කෙසේ හෝ තමාගේ සේවාදායකයාගේ විශ්වාසය රැක ගන්නට තම උපරිම ධෛර්යය යොදයි. දැන්වීම් කලාවෙන් මුද්‍රණ කලාවට අතගසන ඔහු වැඩේ පටන් ගන්නා තෙක් ම මුද්‍රණ කලාව ගැන දැන සිටියේ නැත. එහෙත් අද වන විට සුරස ප්‍රකාශකයෝ බොහෝ ලේඛක ලේඛිකාවන්ගේ ප්‍රියතම ප්‍රකාශනායතනයකි.

ප්‍රේම් කියන්නේ ම ප්‍රේමණීය මිනිසෙකි. ඔහුට තරහකරුවන් නැත. ජීවත් වීමට අරගල කරන කාලේ පටන් සිටි යහළුවෝ අදටත් ඔහුගේ යහළුවෝ ය. ඒ යහළුවන් ඔහුට බැරි කල්හි ඔහු අතහැරියේ නැත. ඔහුත් එලෙස ම ය. ජීවත් වීම සඳහා බොහෝ රැකියා කළ ඔහු ඒ රැකියා නිසාම ජීවිතය උගත්තේ ය. ෆේම් නොවීම නිසා ජීවිතය විඳි ප්‍රේම් අදටත් සිය පියා ගැන සිහි කරන විට, මව ගැන සිහි කරන විට කුඩා දරුවකු සේ සංවේදී වෙන්නේ ය. දෑස් අග කඳුළු දිස්නෙ දෙන්නට පටන් ගන්නේ ය. ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය කියමින් ගුරුතුමා කළුලෑල්ලේ අඳින චිත්‍රය සිහිපත් කරමින් හේ සංවේදී වෙන්නේ ය. අම්මා බෝල අකුරෙන් ලියන කවි සිහිපත් කරමින් නිහඬ ව සුදු බිත්තිය දෙස බලා සුසුම් හෙළන්නේ ය.

මිනිසකුට තමන්ට ගැළපෙන ම නම ලැබීම වාසනාවකි. සිය නමේ අර්ථය සේ ම ප්‍රේම් දිසානායක ප්‍රේමණීය බව නොකියා බැරි ය.


Comments