සිවු වසරකට පසු හෙළි වූ අබිරහස | Page 3 | සිළුමිණ

සිවු වසරකට පසු හෙළි වූ අබිරහස

ත්‍රිරෝද රථයට යටවී මියගිය දෙහැවිරිදි දැරියගේ මරණයට හේතුව සඟවන්න වතු හිමිකාරිය කළ සාහසික ක්‍රියාව

මීට වසර හතරහමාරකට පමණ පෙර බදුල්ල, කැන්දගොල්ල, මුතුමාල පියසිරි නි‌ෙවසේ පදිංචිව සිටි කාන්තාවක ත්‍රිරෝද රථයක් පැදවීමට පුරුදු පුහුණු වෙද්දී එම රථයට යටවී මියගිය ඒෂදී ධනුශිකා නමැති දෙහැවිරිදි දැරියගේ මළසිරුර මුතුමාල, දෙහිලන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට දමා තේ දලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකට යටවී ඇය මියගිය බව පවසමින් එම ත්‍රිරෝද රථ අනතුර වසන් කළ බදුල්ල, කැන්දගොල්ල, මුතුමාල ප්‍රදේශයේ 78 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 43 හැවිරිදි දියණිය දීර්ඝ කාලයක් පුරා පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසුව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

බදුල්ල අපරාධ පරීක්ෂණාගාරයේ සොකෝ (soco) නිලධාරින් පුද්ගලයන් රැසකගෙන් ලබාගත් සාක්ෂි තහවුරු කරගැනීමෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ පියා සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇත. කැන්දගොල්ල, මුතුමාල ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි ඩී.එම්. ඩිංගිරි බංඩා සහ 43 හැවිරිදි ඩී. එම්. සුමිත්‍රා යන පියා සහ දියණිය මෙසේ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කර එම අනතුර වසන් කිරීම යන චෝදනා යටතේය. සැකකරු සහ සැකකාරිය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බදුල්ල මහේස්ත්‍රාත් එම්. නුජිත්ද සිල්වා එම දෙදෙනා මේ මස 10 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මේ අනුවේදනීය කතාව පොලිසියෙන් වාර්තා වන්නේ මේ අන්දමටය.

ඒෂදී ධනුශිකා 2016 වසරේ මැයි මස 25 වන දින මෙලොව එළිය දුටුවාය. ඇය පවුලේ බාලයා වූ අතර ඇයට සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයකු සිටිති. 42 හැවිරිදි මව එස්.එච්. සිරියලතා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගියාය. පියා ඩී.එම්.පියසේනය. 53 හැවිරිදි පියසේන බදුල්ල කෝබෝ වත්තේ වතු කම්කරුවෙකු ලෙස රැකියාව කෙළේය.

2018 වසරේ මැයි 11 වන දින සුපුරුදු පරිදි පියා වැඩට ගිය අතරේ මව සිඟිති දියණිය ඒෂදී ධනුශිකා රැගෙන යාබද නි‌ෙවසක තේ වත්තේ දලු කැඩීමට ගියාය. දින කීපයක් මුළුල්ලේ තේ දලු කැඩීමට ගිය සිරියලතා පස්වන දින ද මෙසේ තේ දලු කැඩීමට ගිය අතරේ ඇගේ සිඟිති දියණිය ඒෂදී දැරිය තේ වත්ත හිමි සුමිත්‍රා විසින් රැකබලා ගත්තාය.

සුමිත්‍රාගේ නි‌ෙවසේ ත්‍රීරෝද රථ දෙකක් සහ වෑන් රථයක් තිබිණි. මේ අතර ඇය රිය පැදවීම සඳහා රියදුරු බලපත්‍රයක් ද ලබාගෙන තිබුණාය. උදෑසන තේ දලු කැඩීමට එම නිවසට පැමිණි සිරියලතා දියණිය ඒෂදී, සුමිත්‍රා අතට බාර දී ඇය රැකබලා ගන්නැයි පවසා නි‌ෙවසට පහළ අක්කර 34ක පමණ තේ වත්තේ දලු කැඩීමට ගියාය.

රියැදුරු බලපත්‍රය ඇතත් තවමත් රිය ධාවනය කිරීමට අත හුරු නොමැති නිසා සුමිත්‍රා සිය ත්‍රිරෝද රථය මිදුලේ එහාට මෙහාට ධාවනය කළාය. මේ අතර ඒෂදී ධනුශිකා සිඟිත්තියද මිදුලට පැමිණ සිටි අතර, සුමිත්‍රා ත්‍රිරෝද රථය පසුපසට ධාවනය කිරීමට යාමේදී ඒෂදී එක්වරම ත්‍රිරෝද රථයට යට වූවාය.

බරපතළ තුවාල ලැබූ ඒෂදී ලේ විලක් මැද ඒ වන විටත් අවසන් හුස්ම හෙළා තිබුණාය. ඒ සමඟම කලබලයට පත් වූ සුමිත්‍රා වහා ඒෂදීගේ තැවරී තිබූ ලේ පැල්ලම් සෝදා දැම්මාය. අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත්ව සිටි සුමිත්‍රා තමා වැටුණු අමාරුව ගැන දසඅතේ කල්පනා කළාය. මේ අතරේ තේ දලු එකතු කරන ලොරිය පැමිණි අතර තේ දලු මිලදී ගැනීමෙන් පසුව ලොරිය හරවා ගැනීමට මාර්ගය දිගේ උඩට ගියේය. ඒ සමඟම සුමිත්‍රාට ‘ගණදෙවි‘ නුවණ පහළ විය. වහා නි‌ෙවසට දිව ගිය සුමිත්‍රා මියගිය ඒෂදීගේ මළසිරුර මුතුමාල, දෙහිලන්ද මාර්ගයේ අයිනක තබා නි‌ෙවසට ගියාය.

මේ සමගම උඩට ගිය තේ දලු එකතු කරන ලොරිය එම ස්ථානය පසු කරන අතරේ සිඟිති දරුවෙකු මාර්ගයේ වැටී සිටිනු දැක නිවැසියන්ට දැනුම් දී ඇත. නිවසේ සිට මීටර් 200ක පමණ දුරින් මාර්ගය අසල තිබූ ඒෂදීගේ මළසිරුර දැක සුමිත්‍රා කලබලයට පත්වූ බවක් පෙන්වූවාය. වහාම දැරිය එම ලොරියේ පටවාගෙන කැන්දගොල්ල රෝහලට රැගෙන ගියාය.

පසුව රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා ලොරියක ගැටි සිඟිති දරුවෙකු මියගොස් ඇති බව බදුල්ල පොලිසිය දැනුම්වත් කළේය. බදුල්ල පොලිසියේ රථවාහන අංශය මගින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදුකර අදාළ තේ දලු එකතු කළ ලොරිය සමඟ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරිය අතර වසර තුනක් පුරා මෙම නඩුව බදුල්ල අධිකරණයේ විභාග වෙමින් පවතී.

බදුල්ල මහ රෝහලේ එවකට සිටි අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ.බී.එම්.ජී.ඒ.එන්. විජේසිංහ මෙම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර විවෘත තීන්දුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ඒෂදී ධනුශිකාගේ මවට තම සිඟිත්තියගේ මරණය සම්බන්ධයෙන් කිසියම් සැකයක් හටගත්තාය. ඇය ඒ පිළිබඳව ලිඛිතව බදුල්ල දිසා භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලට දැනුම් දුන්නාය.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සමඟ බදුල්ල සහකාර පොලිස් අධිකාරි 1 බුද්ධික ගුණසේකර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කිරීම බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ජී. ප්‍රියන්ත චාමින්දට 2021 වසරේ භාර දුන්නේය. ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චාමින්ද සිය නිලධාරි කණ්ඩායමේ සහාය ද ලබාගෙන මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනය කෙළේය. දිවා රාත්‍රි නොබලා ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චාමින්ද ඇතුළු කණ්ඩායම කැන්දගොල්ල, මුතුමාල ගම්මානයට ගොස් බොහෝ පිරිසකගෙන් මේ සම්බන්ධයෙන් සාක්කි සටහන් ලබා ගත් අතර සැකකාර ඩිංගිරි බංඩා සහ සුමිත්‍රා යන පියා සහ දියණියගෙන්ද සාක්කි ලබා ගත්තේය.

ඒෂදීගේ මව තේ දලු කඩමින් සිටියදී ඒෂදී දියණිය මිදුලේ සෙල්ලම් කරමින් සිටි බවත් තමන් ත්‍රිරෝද රථය පණ ගන්වා මිදුලේ එහාට මෙහාට ධාවනය කරමින් සිටියදී ඒෂදී ධනුශිකා ත්‍රිරෝද රථයට යටවූ බවට සැකකාර සුමිත්‍රා පොලිසියට පාපොච්චාරණය කරන්නේ මේ අතරතුරදීය.

ඒ වන විට ලබා ගත් සාක්ෂිවලින් පවා මෙම අනතුර සම්බන්ධයෙන් සැබෑ තොරතුරු පොලිසිය හෙළි කරගෙන තිබුණු අතර, රජයේ ජ්‍යේෂ්ඨ සහකාර රස පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථය පරීක්ෂා කෙළේය. එම වාර්තාවෙන් මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය විය.

බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහකාර පොලිස් අධිකාරි 1 බුද්ධික ගුණසේකරගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .ජී. ප්‍රියන්ත චාමින්ද, කාන්තා පොලිස් පරීක්ෂිකා නිලූෂි පතිරණ, පොලිස් පරීක්ෂක බී.එම්. අබේපාල, උපපොලිස් පරීක්ෂක එන්.එම්. කරුණාපාල, සැරයන්වරුන් වන (38004) රත්නායක, (54116) විජේතුංග, කාන්තා සැරයන් (2401) සෙව්වන්දි, (11740) පූර්නිමා යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Comments