බීමත් රියැදුරු බිලි ගත් සැරයන් | Page 3 | සිළුමිණ

බීමත් රියැදුරු බිලි ගත් සැරයන්

මිය ගිය සැරයන් ජී.එම්.ආනන්ද පෙරේරා සහ අනතුරට ලක්වූ සැරයන්වරයා ගමන් ගත් යතුරු පැදිය

බීමත්ව රිය ධාවනය කරන රියැදුරන් සිදු කරන අනතුරුවලදී බරපතළ තුවාල ලබන පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීම නිසා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විවිධ පිඩාවලට ලක්ව සිටිති. ජාඇළ, දෑලතුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති පාර්ලිමේන්තු සේවක සුහද හමුවට සහභාගී වූ එහි සේවක සේවිකාවන් පිරිසක් සිය නිවෙස් බලා ගෙන යමින් සිටි පාර්ලිමේන්තු බස් රථයක ගැටීමෙන් ගම්පහ වැලිවේරිය පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ හේනේගම, විළිඹුල ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි තිදරු පියෙකු වන ජී.එම්. ආනන්ද පෙරේරා ය. අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා රදාවාන ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය.

පාර්ලිමේන්තු සේවක සුහද හමුව ඉකුත් ඔක්තෝබර් මස 29 වන දින ජාඇළ හෝටලයක දී පැවත්විණි. සාදයට සහභාගී වූවෝ පාර්ලිමේන්තු බසයෙන් ආපසු රැගෙන යමින් සිටියදි ගම්පහ, කිරිඳිවැල මාර්ගයේ හේනේගම, විළිඹුල, මල් කැලේ ප්‍රදේශයේ පිහිටි ලී මෝලක් ඉදිරිපිටදී බසය පොලිස් සැරයන් ගිය යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු විණි.

මල්වතුහිරිපිටිය පොලිසියට ප්‍රදේශවාසියකු විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව එම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි.

මේ අනතුර සිදුවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු බසයේ රියදුරා පොලිස් සැරයන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර නොමැති බසය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා විණි. පසුව එම බසයේ සිටි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසද එම බස් රථය අතහැර පලා ගොස් තිබූ අතර එම බස් රිය සහායකයා පමණක් එම ස්ථානයේ සිටි බවට විමර්ශනවලින් හෙළි විණි. 

අනතුරුව එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු එම පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රියලත් ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තු බස් රථය මල්වතු හිරිපිටිය පොලීසියට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

මෙම රිය අනතුර සිදුවීමට පෙර පාර්ලිමේන්තු බසය කිරිඳිවැල ප්‍රදේශයේ තිබු වෙළඳ සැලක ද ගැටී අනතුරක් සිදුවී තිබිණි. සැකකාර බස් රියැදුරා සාදයට සහභාගී වි අධික ලෙස බීමත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වේ. සැකකාර රියදුරා බසය ධාවනය කර ඇත්තේ එසේ නොකරන ලෙස බොහෝ පුද්ගලයන් පවසද්දි බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සුහද හමුව වසරකට වරක් සංවිධානය කෙරෙන අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර එය සංවිධානය කර තිබුණේ වසර 3කට පසුව බවට ආරංචිමාර්ග පවසයි.

මෙම අනතුර සිදුවු ස්ථානයේ තිබු ලී මෝලක සවිකර තිබු සී.සී.ටී.වි කැමරා දර්ශනවල මෙම රිය අනතුර සටහන්වී තිබිණි. මීට අමතරව මෙම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ද සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. මෙම අනතුර සිදු වන අවස්ථාවේ සැකකාර බස් රියදුරා මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට බස් රථය දකුණු දෙසට කපා ඇති අතර එහිදී ඉදිරියෙන් පැමිණි සැරයන් ගමන් ගත් වැලිවේරිය පොලිසියට අයත් යතුරු පැදියේ ගැටි මෙම අනතුර සිදු වී ඇති බව හෙළිවී තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ සැරයන්වරයා බීමත්ව නොසිටි බවට හෙළි වන අතර සැකකාර බස් රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුවී ඇති බවට හෙළිවී තිබේ.

සැරයන් වැලිවේරිය පොලිසියේ රාජකාරි කටයුතු නිම කිරීමෙන් අනතුරුව තම නිවස බලා එමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවීමෙන් අනතුරුව පලා ගොස් සිටි සැකකාර රියදුරා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුගේ පොල්ගහවෙල නිවසට ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. අනතුරුව සැකකාර රියදුරාට අයත් කෑගල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක ඔහු සිට ඇති අතර අනතුරුව ගම්පහ අධිකරණයේ නීතිඥවරයකු මාර්ගයෙන් මල්වතුහිරිපිටිය පොලිසියට පැමිණ බාර වීමෙන් අනතුරුව සැකකරු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වී අත.

විළිඹුල, හේනේගම පදිංචි සැරයන්ගේ බිරිය වන ආර්.කේ. චන්ද්‍රා රෝහිනි රත්නායක මහත්මිය මෙසේ පැවසුවාය.

“අපි දෙන්නට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටිනවා. 32 හැවිරිදි ලොකු දුව විවාහකයි. දෙවැනි දුව වයස අවුරුදු 25යි. 19 හැවිරිදි බාල පුතා හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යයන කටයුතුවල නිරත වනවා. මේ අනතුර සිදු වූ දින උදේ 6.30 ට පමණ සැමියා රාජකාරි ඇති බව පවසමින් නිවසින් පිටව ගියා. පස්සෙ මම මහත්තයට සවස දුරකතන ඇමතුමක් ගත්තා. ඒ වෙලාවේ ඔහු රාජකාරි නිම කර ඉක්මනින් නිවසට එන බව පැවසුවා. පසුව සවස හිතවත් පුද්ගලයකු පැමිණ මගේ සැමියාට අනතුරක් සිදුව ඇති බව පැවසුවා. ඒත් එක්කම අපි අනතුර සිදුවූ ස්ථානයට යන විට එතන සෙනඟ පිරිලා හිටියා. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු සැමියා ප්‍රතිකාර සඳහා රදාවාන ග්‍රාමීය රෝහලට රැගෙන ගිය බවට දැනගන්නට ලැබුණා. අපි එම රෝහලට ගියා. එහිදී මගේ සැමියා මිය ගොස් ඇති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අපට පැවසුවා.“

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොල්උර පාර, කහවත්තේ ඇළ, පොල්ගහවෙල පදිංචි 47 හැවිරිදි සැකකාර පාර්ලිමේන්තු බස් රථයේ රියදුරා ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ අධීක්ෂණය යටතේ ගම්පහ සහකාර පොලිස් අධිකාරි තිස්ස සේනානායකගේ මඟ පෙන්වීම යටතේ මල්වතුහිරිපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස්. එම්. මුණසිංහගේ උපදෙස් මත එහි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්. කේ. රණතුංග, උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රියලත්, සැරයන්වරුන් වන (554557) ශ්‍රියන්ත, කාන්තා පොලිස් සැරයන් (2742) ඉෂාරා යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

Comments