මිතුරාගේ බිරියට කළ අයුතු යෝජනා නිසා මහමඟදී දිවි අහිමි වූ කළුවා | Page 3 | සිළුමිණ

මිතුරාගේ බිරියට කළ අයුතු යෝජනා නිසා මහමඟදී දිවි අහිමි වූ කළුවා

- සැකකාර පොඩියාත් කළුවාත් කලක් හොඳම මිතුරන්
- ‘කේලම’ කිව්වේ පොඩියාගේ මිතුරෙක්
- පොඩියා පුනරුත්ථාපනය වෙද්දි කළුවා පොඩියාගේ බිරියට එස් එම් එස් යවලා

වැසි සහිත කාලගුණයක් පැවති පසුගිය 20වනදා උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත යොමු කැරිණි. ඉන් කියැවුණේ හුණුපිටිය පාදිලියාතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසලදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී මරා දමා ඇති බවය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් ඝාතකයා පලා ගොස් සිටියේය. කඩු පහරට ලක්වූ පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට රැගෙන යන අතරතුරදී මරුමුවට පත්වූ බව පොලිස් නිලධාරින්ට දැනගන්නට ලැබෙන්නේ ඔය අතරය.

මේ ඝාතනය 'කල්‍යාණ මිත්‍රයන්' දෙදෙනෙක් අතර ඇතිවූ 'විශ්වාසය පළුදු වීමක' ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් යැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වේ. වත්තල හුණුපිටිය පාදිලියාතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ මේ පුවත කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ වාර්තා පොතේ සටහන් වන්නේ මෙසේය.

ඔහු නමින් පොඩියාය. පොඩියා වත්තල හුණුපිටිය පාදිලියාතුඩුවේ පදිංචිකාරයෙකි. පොඩියා මීට ඉහත සිදු කළ බව කියන මංකොල්ලකෑම් තියුණු ආයුධවලින් පහරදීම් ඇතුළු විවිධ චෝදන මත අධිකරණයෙන් වරෙන්තු ලැබූ අයෙකි. ඔහු කලක් අධිකරණය මඟ හරිමින් සිටියේය.

මේ කතාවේ ප්‍රධාන චරිත දෙකම 'මත්ලෝලීන්' වන අතර පොඩියාගේ මිතුරා කලක් යුද හමුදා සේවයේ නිරතව සිටි අයෙකි. 51 හැවිරිදි වියේ පසු වූ විශ්‍රාමිකයෙක් වන ඔහුද අවාසනාවට මත්ලෝලියෙකි.

දෛනිකව කුලී කම්කරුවෙකු ලෙස වෙහෙසවී සොයාගත් මුදලින් දරුවන් දෙදෙනෙකු සිටින පවුලක් නඩත්තු කරමින් අඩු නැතුව මත්කුඩු ද පානය කරන පොඩියා 33 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. සැමියා මත් ලෝලියෙකු වුවද ඔවුන්ගේ නිවස අඬදබර වලින් තොරවූ සාමකාමී කැදැල්ලකි. පොඩියා තම රූමත් බිරියට පණ මෙන් ආදරය කෙළේය. පොඩියාට හුණුපිටිය පාදිලියාතුඩුව ප්‍රදේශයේ බොහෝ මිතුරන් සිටියේය. ඔවුන් අතරින් ප්‍රමුඛස්ථානයේ සිට ඇත්තේ 'කළුවා' හෙවත් විශ්‍රාමික යුද හමුදා සෙබළකු වන ප්‍රියනන්ද වන්නකු කෝරාලය. මේ දෙදෙනා ගජමිතුරන් ලෙස එකිනෙකාගේ නිවෙස්වලට යාම් ඊම් සිදු කරමින් එක පත කමින් මිතුරුව සිට ඇත්තේ දිගු කලක සිටය.

තම දරු පවුලේ අනාගතය ගැන කල්පනා කළ 'පොඩියා' මතින් නිදහස් වීමේ අරමුණින් ස්වේච්ඡාවෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත ගොස් පුරා මාස දෙකක් පුනරුත්ථාපනය වී මතින් නිදහස්ව පසුගිය 18 වනදා නිවසට පැමිණ ඇත්තේ 'යළි උපන්නෙමි' යි ප්‍රීතිය ඇතිවය.

දෙමසකට පසු ගමට පැමිණි 'මිතුරා' බැලීමට ගමේ සෙසු මිතුරන් ද පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු 'පොඩියාට' පවසා ඇත්තේ පොඩියා ගමේ නොසිටි කාලයේ කළුවා පොඩියාගේ රූමත් බිරිය දැලේ දා ගැනීම සඳහා බොහෝ උත්සාහ කළ බවයි.

හොඳ මඟ යාමට පැමිණ පොඩියා තමන් පණ ලෙස ආදරය කරන බිරියට තම ගජමිතුරා අයුතු යෝජනා ගෙනා බව දැනගත් මොහොතේ සිට හිතට ආ වෛරී සිතුවිලිවලින් හැඟී ඇත්තේ 'කළුවා' මිය පරලොව යැවීමය.

ඉන් අනතුරුව පොඩියාගේ සිතුවිල්ල ක්‍රියාත්මක විය. කළුවා මිය පරලොව යැවීමට පොඩියාට ඒ හැටි කාලයක් ගත වූයේ නැත. මිනිස් ඝාතනයෙන් පසුව ප්‍රදේශය හැරදා පලා ගොස් සිටි පොඩියා කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඝාතනය සිදු කර පැය දොළහකටත් අඩු කාලයක් තුළදී කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළුවා පොලිස් නිලධාරීන් ඉදිරියේ ලොකු කතාවක් කීවේය.

"සර් මම කාලයක් මත්කුඩු බීපු එක ඇත්ත. ඒත් මම මගේ ගෑනිට දරු දෙන්නට පණ වගේ ආදරෙයි. ඒක නිසාමයි මම පුනරුත්ථාපනය වුණේ... මගේ කැමැත්තෙන්ම. මට ඕන වුණේ මගේ දරු දෙන්නයි ගෑනියි එක්ක හොඳින් ජීවත් වෙන්න. කළුවා මගේ හොඳම මිත්‍රයා සර්. මං මිනිහව පණ වගේ විශ්වාස කළා. ජීවිතේට හිතුවෙ නෑ මේකා අයුතු යෝජනාවක් මගේ අහිංසක ගෑනිට මං නැති වෙලේ කරයි කියලා. යාළුවා අවංක නම් මං නැති අවස්ථාවෙ මගෙ ගෑනි දරුවන්ට එන ප්‍රශ්නෙකදි ආරක්ෂා කරන්න ඕනෙනේ. නමුත් මෙතෙන්දි වෙලා තියෙන්නේ මගේ අහිංසක ගෑනිව නොමඟ යවලා කළුවා සූදානම් වෙලා තියෙන්නේ එයාගෙ පහත් ආසාවන්වලට ඒ ගෑනිව ගොදුරු කර ගන්න. ඒත් මගේ ගෑනි මට කිව්වේ ඕවා වැඩක් නෑ දැන් ආයෙත් අපි ජීවිතේ අලුතෙන් පටන් ගමු කියලා. මං තමයි එයාගෙ ජංගම දුරකතනෙ අරන් කෙටි පණිවිඩ කියෙව්වේ.

ඊට පස්සෙ මම මගේ ගෑනිගේ ජංගම දුරකතනය අරගෙන බැලුවම ඒකෙ තිබුණෙ කළුවා මගේ ගෑනිට අයුතු යෝජනා කරලා එවපු කෙටි පණිවිඩ. මගේ හිත කිව්වේම කළුවා ගැන මොකක්ම හරි කරන්න ඕනේ කියලා. ද්‍රෝහියෙක් නේද මම ආශ්‍රය කරලා තියෙන්නේ කියලා ඇති වුණු වෛරය තමයි මේ විදියට ඉවර වුණේ. ඊට පස්සෙ මම දවස් දෙකක් පාරේ බැලුවා කළුවා ඉන්නවාද කියලා. මිනිහා දකින්න හිටියේ නෑ. පස්සේ විසිවෙනිදා උදේම ගිහින් බැලුවා. ඒත් හිටියේ නෑ. ආයෙත් 7ට විතර පාර ළඟට ගිහින් බලද්දි කළුවා පාර ළඟ හිටියා. මම ගෙදර ගිහින් කඩුවයි මන්න පිහියයි අරන් කළුවා ළඟට යන්න යනකොට මට මේ ගැන කියපු යාළුවා දුවගෙන ඇවිත් මගේ අතේ තිබුණු මන්නෙ උදුරා ගත්තා. මං කඩුවත් අරන් කළුවා ළඟට ගියා. මං නැති වෙලාවේ උඹ මගේ ගෑනිට අයුතු යෝජනා කරලා මැසේජ් එව්වෙ ඇයි කියලා අහලා කළුවාට කඩුවෙන් කෙටුවා. කඩුපාර කාගෙනම කළුවා පැනලා දිව්වා. මගේ කඩුවත් බිමට වැටුණා. මම බිම වැටුණු කඩුව අහුලගෙන ලේ පෙරාගෙන දුවන කළුවගෙ ඔළුවට ආයෙත් කඩුවෙන් කෙටුවා. එතකොටම කළුවගෙ මස්සිනා ඉන්දිකත් එතෙන්ට එන්න ඇවිත් මගේ අතේ කඩුව තියෙනවා දැකලා පැනලා දිව්වා. කළුවා ලේ පෙරාගෙන හිටියා. කඩුව ඒ ළඟ වගුරු බිමක හංගලා මං පැනලා ගිහින් ඉන්න කොටයි පොලිස් අත් අඩංගුවට ගත්තේ." 

කෙසේ නමුත් එකෙකු පරලොවටත් අනෙකා දඟ ගෙයටත් දරු පවුල් දෙකක් අන්ත අසරණ භාවයටත් ඇද දමමින් ගැටුම නිමා වී ඇත. බිරින්දෑවරුන් දෙදෙනෙකුට සැමියන් අහිමිය. දරුවන් සිවුදෙනෙකුට පියා අහිමිය. පොඩියා බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණියද ඔහු මිනීමරුවෙකු ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසී ඇත. ක්ෂණික කෝපයත් නොසන්සිදෙන රාගයත් මත්කුඩු පානයත් මේ විනාශයට මුල්වී ඇත.

මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අන් කිසිවෙකු නොව පොඩියාගේ මන්නය උදුරාගෙන පලාගිය ඔහුට කේලම කිවු මිතුරාය.

ඝාතනයට ලක්වූ ප්‍රියනන්ද වන්නකු ගේ බිරිය හඬා වැලපෙමින් පැවැසුවේ “මගේ මහත්තයා මත්ද්‍රව්‍ය අලෙවි කළෙත් නෑ... බිව්වෙත් නෑ... ඇතැම් මාධ්‍යවල තිබුණේ දෙන්නම කුඩුකාරයො කියලා. ඒක බොරුවක්. මේ ඝාතනය නිසා මගේ දුවලා දෙන්නත් මමත් අන්ත අසරණ වුණා. පාසල් යන වයසේ ගෑනු දරුවො දෙන්නෙක් එක්ක මම දැන් තනි වෙලා. මගේ මහත්තයා හමුදාවේ විශ්‍රාමිකයෙක්. අපි ජීවත් වුණේ කුඩු විකුණලා නෙවි. මගේ මහත්තයට රජයෙන් විශ්‍රාම වැටුපක් ලැබුණා. මගේ මහත්තයට කෝල් කළේ පොඩියාගේ බිරිඳ. මගේ ඉස්සරහ කෝල් කළේ. පොඩියා ගෙදරින් තරහ වෙලා ගියදාටත් ඒක සමාදාන කළෙත් මගේ මහත්තයා. අන්තිමට සතෙක් වගේ මරලා දැම්මා“ යැයි ඇය කීවාය.

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර පළාත් උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බී.වයි. ක්‍රිෂාන්තගේ උපදෙස් මත කැලණි දිස්ත්‍රික් අංක 111 සහකාර පොලිස් අධිකාරි පෙරුමාල් පත්මනාදන්ගේ අධීක්ෂණයෙන් කිරිබත්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත හේරත්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර, සැරයන්වරුන් වන 2725 සිසිර, 23117 සුනිල්, කොස්තාපල්වරුන් වන 79778 පත්මසිරි, 93652 නන්දසිරි, 72909 චතුරංග, 101898 රජිත්, 102055 ප්‍රදීප්, කොස්තාපල් රියදුරන් වන 16666 සජීව, 89671 බණ්ඩාර යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

කේ. එස්. හැන්නදි - රාගම සමූහ

Comments