පෙම්වතියට 15යි පෙම්වතාට 21යි පෝරුවේදී අත්අඩංගුවට | Page 3 | සිළුමිණ

පෙම්වතියට 15යි පෙම්වතාට 21යි පෝරුවේදී අත්අඩංගුවට

 

මොරටුවේ අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ හැදී වැඩුණු 'අමා' තවමත් පාසල් වියේ පසුවන දැරියක් වුවත් අට වසර දක්වා අධ්‍යාපනය ලබා ඇත. ඇය ඉගෙනීම කෙරෙහි එතරම් ඇල්මක් දැක්වූයේ නැත. මහල් අටකින් යුතු ‘සයුරුපුර‘ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පන්සීයක් පමණ පවුල්වල බොහෝ දරු දැරියන් මෙන්ම 'අමා' ද ජීවිතය දෙස බැලුවේ අනාගතය උදෙසා විශේෂ අරමුණකින් තොරවය. මත්ද්‍රව්‍ය මෙන්ම රංඩු සරුවල්වලටද මුල් තැන දෙන මෙහි වැසියෝ මුහුදු යාම සහ කුලී රැකියාවල නියුතුව එදා වේල හරි හම්බ කරගෙන දවස ගෙවා දමන්නේ දරුවන්ගේ හෙට දවසට ආයෝජනයක් නොකරමිනි. මවුවරුන්ගෙන් වැඩි පිරිසක් විදෙස්ගත වන බැවින් අඩු වයස් විවාහයන් ද ඔවුන්ගේ සංස්කෘතියට බාධාවක් නොවේ.

'අමා'ගේ ජීවිතයද ගෙවී යන්නේ අගහිඟකමින් මිරිකෙමිනි. ඇයට සිටියේ එක් සහෝදරයකු පමණි. ඔහු ඇයට වඩා වසර පහකින් වැඩිමහල්ය. එහෙත් නැගණියට අවවාද අනුශාසනා ලබා දීමට තරම් ඔහු බුද්ධිවන්තයකු නොවන බව සිතීමට හේතු කාරණා බොහෝය. ඇගේ මව මෙන්ම පියාද ආබාධිතය. මවගේ එක් පාදයක පවතින ආබාධය නිසා ඇයට හදිසියකටවත් දුවපැන යාම අසීරුය. පියාගේද උකුල් ඇටය ප්‍රදේශයේ ආබාධයක් නිසා ඔහුටද ගමන් කිරීමේ අපහසුතා නැතැයි කීම මුසාවකි. එහෙත් ඔහු කුලී රැකියාවල නිරත වෙමින් මේ පවුලේ ආර්ථිකය ගොඩනැඟීමට දායක වෙන්නේ කිසිම රැකියාවක් නොකරන බිරිය හා දරු දෙදෙනාගේ කුස ගිනි නිවීමට ඇවැසි බැවිනි. එදා වේල අමාරුවෙන් ගෙවා දමන මෙහි වැසියන්ට තම දරුවන් පාසල් යැවීමට උනන්දුවක් නැති තරම්ය. එහෙත් අවුරුදු දහය පහළොව වන විට දරුදැරියන් බාහිර දේවලට යොමු වීම සිදු වන්නේ පරිසර වටපිටාව තුළින් ලබා ගන්නා 'දැනුම' හේතුවෙනි.

යෞවන වියේ එළිපත්තේ සිටි 'අමා'ට 'නිශාන්' මුණ ගැසෙන්නේ අහඹු ලෙසටය. ඒ ඔහු සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ අමාලාගේ ඥාති නිවෙසකට පැමිණ සිටි අවස්ථාවකය. මොරටුව, කොරලවැල්ලේ පදිංචි නිශාන් දහනව හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. දුටුවනම ඔහුගේ සිතද අමා කෙරෙහි බැඳුණේ කිසිම තෝරාබේරා ගැනීමකින් තොරවය. ඒ මීට මාස තුනකට පමණ පෙරය. මේ බව දැන ගත් අමාගේ මාපියන්ද දියණියගේ පෙම් පළහිලව්වට එක පයින් කැමති වූයේ දෙවරක් නොසිතමිනි. ඉන් නොනැවතුණු ඔවුන් නිශාන්ට තම නිවෙසේ දොරගුළු ද විවර කර දුන්නේ දියණිය සමඟ නිදහසේ කතාබස් කිරීම සඳහාය.

නිශාන්ගේ මව සිටියේ විදෙස්ගතවය. පියා නොමැති මේ තරුණයා මව විසින් එවන ලද මුදල් වියදම් කරමින් සැහැල්ලු ජීවිතයක් ගත කළේ සිය පෙම්වතිය වන අමාටද තෑගි බෝගවලින් අඩුපාඩුවක් නොකරමිනි. ඔහු දිනක් ඇය බැලීමට ආවේ බයිසිකලයකිනි. එය ඇගේ කුඩා නිවෙස තුළටම රැගෙන ආවේ පෙම්වතියට පෙන්වා සතුටු කිරීමට විය හැකිය. එහෙත් අමාගේ පියා මෙන්ම සීයා ද මේ ගැන සිටියේ කෝපයෙනි. ඔවුන් ඔහුට දොස් නගමින් බැණ වැදුණේ එය එළියේ නතර කර නොපැමිණියේ ඇයි දැයි විමසමිනි.

නිශාන් ද ඔවුන්ට පිළිතුරු බැන්දේ ආවේගයෙනි. බහින්බස් වීම තරමක් දුර දිග ගියේ කිසිවකුත් පරාද වීමට අකමැතිවය. නිශාන් ආපසු ගියේ නැවත නොඑන අදහස ඇතිවය. එහෙත් ඔහුට පෙම්වතිය නොදැක සිටීමට අසීරුය.

"අනේ බබි මට ඔයා නොදැක ඉන්න බෑනෙ... අඟුලානෙ ස්ටේෂමට එනවද ටිකක් හම්බවෙන්න... ඔයා ආවොත් මම ඔයාට ඇඳුමකුත් අරන් දෙනවා..." නිශාන් සිය පෙම්වතිය අමා අමතා එසේ කියන්නේ ඇයට ඇති ආදරය නිසාම වන්නට ඇත.

ඒ පසුගිය 29 වෙනිදාය. පෙම්වතාගෙන් ලැබුණ දුරකතන ඇමතුමෙන් සතුටට පත් අමා ඔහු මුණගැසීමට යන්නේ කිසිවකුටත් නොදැනෙන්නට හොර රහසේය. අඟුලාන ස්ටේෂමේදි මුණ ගැසුණ පෙම් යුවළ දුම්රියට නැගී එතනින් යන්නේ මොරටුවටය. මොරටුවේදී අමාට ගවුමක් මිලදී ගන්නා පෙම්වතා ඇයට පවසන්නේ ‘නැන්දලාගේ ගෙදර යමු‘ කියාය. ඊට විරුද්ධ නොවන අමා ඔහුගේ අතේ එල්ලී කළුතර, මග්ගොනට යන්නේ ඔහුගේ පියාගේ නැගණියගේ නිවෙසටය. එදින එහි ‘මංගල රාත්‍රිය‘ ගත කරන යුවළ පසු දින යන්නේ නිශාන්ගේ කොරලවැල්ලේ නිවෙසටය.

"අම්මේ මම ඉන්නෙ නිශාන්ලගෙ ගෙදර... බය වෙන්න එපා... එයා මාව හොඳට බලා ගන්නවා..." ඇය මවට පවසා සිටියේ හිනැහෙමිනි.

"මඟුලක් කාල මේ වැඩේ කෙළවරක් කරගමු ළමයො... නැත්නං කෙල්ලට හොඳ නෑනෙ..." නිශාන්ට එලෙස පැවසු මව, දියණිය ආපසු කැඳවාගෙන ආවේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාය. ඉන්පසු හතර වරිගයේ නැදෑයින්ට ආරාධනා කර විවාහ මංගල උත්සවය සූදානම් කළේ දෙපැත්තේම එකඟතාව මතය.

"මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්. අඟුලාන සයුරුපුර උත්සව ශාලාවෙ අවුරුදු පහළොවක විතර ළමයෙක් කසාද බන්දල දෙන්න හදනවා එයාගේ අම්මලා තාත්තලා. ඒක වැරැද්දක්."

අඟුලාන පොලිසියට මේ තොරතුර ලැබෙන්නේ පසුගිය 07 දා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 දුරකතන අංකය ඔස්සේය. අඟුලාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මේ පිළිබඳ මොරටුව සහකාර පොලිස් අධිකාරි උපුල් සමරසිංහ දැනුම්වත් කර මේ ගැන විමර්ශන ආරම්භ කරන ලෙස පොලිස් පරීක්ෂක මහින්ද බණ්ඩාරට දන්වා සිටින්නේ ඒ මොහොතේමය.

කාන්තා පොලිස් කොස්තාපල් දුලංකා සහ බණ්ඩාර, විජේසිංහ, වසන්ත යන කොස්තාපල්වරුන් සමඟ පොලිස් පරීක්ෂකවරයා සයුරුපුර උත්සව ශාලාව වෙත යන්නේ මො‍ෙහාතක්වත් පමා නොකරමිනි. එහෙත් උත්සව ශාලාව පාළුය. මංගල උත්සවයක් තබා කිසිම උත්සවයක් එහි නොමැත. අන්දමන්ද වූ පොලිස් නිලධාරින් නිවැසියන් කීප දෙනකුගෙන් මේ ගැන විමසන්නට වූයේ කුතුහලයෙනි.

"ආ සර් මේ පැත්තේ ගෙදරක නං ඔය කියන විදියෙ මඟුලක් තියෙනවා. අන්න අර පිටිපස්සෙම බිල්ඩින් එකේ තුන්වැනි තට්ටුවෙ."

පුටුවක් මේසයක් පවා හරි හැටි නොමැතිකමින් අමාගේ මවුපියන් ඥාති නිවෙසක මෙම උත්සවය සූදානම් කර තිබුණේ දෙපාර්ශ්වයේ නෑදැයින් පනහකට පමණ ආරාධනා කරමිනි. මනාලිය සිටියේ සුදුපාට දැල් වැනි ඔසරියකින් සැරසී මාල හතක් පැලඳ උඩරට සිරිතට අනුවය. මනාලයා සිටියේ නිල්පාට කෝට් එකකින් සැරසීගෙනය. 'ප්‍රී ශූට්' ඇතුළු මංගල චාරිත්‍ර ඉටු කර හමාර වුවත් විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරීම පසුවට කල් දමා තිබුණේ ඒ සඳහා දිනයක් වෙන් කර ගැනීමට මනාලියගේ වයස සම්පුර්ණ වීම අවශ්‍ය බව පවසමිනි. කාබී විනෝද වෙමින් සිටි සියල්ලන්ගේ සතුටු මුහුණු මැළවී ගියේ අනාරාධනයෙන් එක්වරම පොලිසිය එතනට කඩාපාත් වූ විටය.

"කට උත්තරයක් ගන්න තියෙනවා. යං පොලිසියට."

මංගල ඇඳුමින්ම මනාලිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් අඟුලාන පොලිසියට ආවේ මංගල උත්සවයේ වැඩ කටයුතු එතෙකින් නිමා කරමිනි. ඇය අවු 15 යි මාස 06 ක දැරියක් බව දැන ගත්තේ එවිටය. කළුබෝවිල රෝහලට දැරිය ඇතුළු කළ පොලිසිය බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මනාලයා අත්අඩංගුවට ගත්තේ ඔවුන්ගේ සියලු බලාපෙරොත්තු සුනු විසුනු කරමිනි.

 

 

Comments