කෝට්ටේ හාඩ්වෙයාර් ගින්නෙන් අවසන් ගමන් ගිය ලකී | Page 3 | සිළුමිණ

කෝට්ටේ හාඩ්වෙයාර් ගින්නෙන් අවසන් ගමන් ගිය ලකී

- සැමදා නින්දට යන්නේ හාඩ්වෙයාර් වෙළෙඳසලේ සොල්දරයේ
- ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ

ඇතැමුන්ගේ ජීවන ඉරණම ලියවී ඇත්තේ විවිධාකාර අන්දමටය. සමහර අය සුඛෝපභෝගී ජීවිත ගත කරද්දී තවත් අය දුගී අතු පැලක කහට උගුරකින් කුස පුරවා ගන්නේ බුදු දහමට අනුව නම් පෙර කළ කුසල අකුසල කර්මවල බල මහිමයෙනි. අවුවට වැස්සට පින්නට එක ලෙසටම හසු වෙමින් තමාගේ කියන්නට කිසිවකුත් නොමැතිව ඉබාගාතේ යන අයද ඕනෑ තරම් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉපදීම සහ මරණය පොදු ධර්මතාවක් වනවා මෙන්ම ඒ අතරතුර කාලය ගෙවා දැමීමට සිදු වෙන්නේද එකිනෙකට වෙනස්ම ආකාරයටය. 

පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ‘ලකී‘ ද මේ කියන තුන්වැනි කොටසට අයත් පුද්ගලයෙකු වූයේ ඇයි දැයි කියා කිසිවකුත් දැන සිටියේ නැත. කවදා කොහේ සිට ආවා දැයි කියා නොදන්නවා සේම කවදා කෙලෙස කොතැනට යන්නේ දැයි ඔහුවත් දැන සිටින්නට නැති බව විශ්වාසය. පිටකෝට්ටේ නගරයේ තැන තැන ඇවිද ඇති හැකි අයට අත පාමින් කීයක් හෝ සොයා ගත් ඔහු සීතල රාත්‍රිය අගු පිලක ගත කරන්නේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිවය. නිතර දෙවේලේ ඔහු මුණ ගැසෙන අය සමඟ කුලුපග ඇසුරක් තිබුණත් එය දිර්ඝ කාලීන සුහදතාවක් දක්වා වර්ධනය කර ගැනීමට කිසිම උවමනාවක් ලකීට තිබුණේ නැති බව සනාථ වන්නේ ඔහු පිළිබඳ කිසිවකුත් නිවැරදි තොරතුක් නොදන්නා බැවිනි. එහෙත් නිතර මුණ ගැසී කතාබහ කරන පිරිස ඔහු ඇමතුවේ ‘ලකී‘ යන කෙටි නමිනි. ඒ ඔහුට දෙමවුපියන් ලබා දී ඇත්තේ ‘ලක්ෂ්මන්‘ යනුවෙන් වන බැවිනි.

පසු කාලයේදි පිටකෝට්ටේ සුපිරි වෙළඳසල් පරිශ්‍රය සිය නිවහන කර ගැනීමට පුරුදු වූ ලකී මැදි වයසට එළැඹෙමින් සිටියේ කාගේ හෝ පිළිසරණක් අවැසිවය. තුනටිය ප්‍රදේශයේ ආබාධයක් සහිතව සිටි ඔහුට ඇවිද ගැනීම එතරම් පහසු කාර්යක් නොවීය. කෙසේ වුවත් සංවර්ධන කටයුත්තක් සඳහා මෙම ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීම නිසා ඔහුට යන එනමං අහිමි වූයේ කබලෙන් ළිපට වැටුණු ගානටය. ඇවිද ගැනීමට අපහසු වූ නිසා කෑමට යමක් සොයා ගැනීම අපහසු වීමෙන් ඔහු තවත් අසරණ වූයේ කිසිවකු හෝ දෙන ආහාරයකින් කුස පුරවාගෙනය.

“ලකී අයියා... ඔතන තෙමි තෙමී ඉඳල ලෙඩ වෙයි... අර අපේ බිල්ඩිමේ උඩ තට්ටුවට වෙලා ඉන්න...“

නගරයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සලක හිමිකාරියට හැට විය පසු කරමින් සිටි ලකී ගැන ඇති වූයේ විශාල අනුකම්පාවකි. එතැන් පටන් ලකීගේ නවාතැන වූයේ මෙම වෙළඳ සලේ සොල්දර තට්ටු කෑල්ලය. පැරණි ගොඩනැඟිල්ලක් වූ මෙහි පිටතින් පිහිටා තිබූ යකඩ පඩි පෙළකින් සොල්දරයට නැඟීමට හැකි වූ අතර පරණ බඩු ගොඩ ගැසීමට කුඩා කොටසක් වෙන් කර තිබිණි. මෙම ලෑලී සොල්දරය මත එළන ලද මෙට්ටයක ලකී නිදා ගත් අතර ඔහුට කෑම බීම සැපයීමට වෙළඳසල් හිමිකාරිය මෙන්ම නගරයේ තවත් අය ද ඉදිරිපත් වූහ. වසර හතක පමණ කාලයක් ගෙවී ගියේ සුපුරුදු පරිදිමය.

පසු ගිය දින අලුයම් කාලයේ මෙම වෙළඳසල දෙසින් ගින්නක් ඇති වී තිබෙන බව දුටුවේ රාත්‍රි ආපන ශාලාවක හිමිකරුවෙකි. ඔහු මේ බව කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයටද දැනුම් දුන් අතර මිරිහාන පොලිසියට තොරතුර ලැබෙන්නේ පොලිස් හදිසි ඇමතුම් දුරකතන අංකය හරහාය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බී.ජී.එන්. ජයමහ මෙන්ම දිස්ත්‍රික් 1 භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ මේ ගැන දැනුම්වත් කළ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ටී. එම්. තුෂාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න සහ උපපොලිස් පරීක්ෂක ප්‍රභාත් සමඟ විමර්ශන කටයුතු ආරම්භ කළේ යුහුසුලුවය. පොලිසිය එම ස්ථානයට යන විට දුටුවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගින්න මැඬ පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවය. ප්‍රධාන පාරට මුහුණ ලා තිබු වෙ‍ෙළඳසලේ දෙපස හා පිටුපසට වෙන්නට වෙ‍ෙළඳසල් පිහිටා තිබීම නිසා තත්ත්වය බරපතළය. අලුයම 2.00 ට පමණ ඇති වී තිබූ ගින්න නිවා දමන විට අලුයම හතරට පමණ වි තිබිණි.

එදින හවස 6.00 ට පමණ හිමිකාරිය වෙ‍ෙළඳසල වසා දමා ගියත් ලකී පිළිබඳ සොයා බැලීමට ඇයට අමතක වී තිබිණ. කෙසේ වුවත් ඒ වන විටත් හඳුනා ගැනීමට නොහැකි අයුරින් ඔහු දැවී ගොස් තිබුණේ නින්දේ සිටියදී මෙම ගින්න ඇති වීමෙන් ඔහුට ඉවත් වීමට නොහැකි වූ නිසා විය යුතුය.

කෙසේ වුවත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් හෝ ලකී විසින් දල්වන ලද මදුරු දඟරයක් නිසා හටගත් ගින්නක්ද නැතිනම් වෙන වෙනත් හේතුවක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතින්නේ නිශ්චිතවම එය අනාවරණය කර ගැනීමට අවශ්‍ය නිසාය.

අම්මෙක් අප්පෙක් හෝ සහෝදරයෙක් නොව මිතුරෙකුවත් නොමැතිව අනපේක්ෂිත ලෙස මියගිය ලකීට අවසානයේ සිදු වූයේ දන්නා හඳුනන කෙනෙක් හෝ පැමිණ රැගෙන යන තුරු කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ සීතලට ගුළි වී තනිව බලා සිටින්නටය.

Comments