අනුරාධපුර එකම පවුලේ තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර | Page 3 | සිළුමිණ

අනුරාධපුර එකම පවුලේ තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර

- නීතිඥවරිය පැදවූ කාරය ගසක වැදී පුතු සමඟ තිදෙනාම මරුට

ස්ථානය පාදෙණිය අනුරාධපුර මාර්ගයේ රිදීබැඳිඇල්ල මංසන්ධිය අසලයි. දිනය පසුගිය 17 වන සඳුදා උදෑසන 10.30 ට පමණ වන්නට ඇත.

අනුරාධපුර දෙසින් පැමිණි 'නිසාන් මාර්ච්' වර්ගයේ රිදී පැහැති කාරය මහ හඬක් නඟමින් මාර්ගය අසල තිබූ සියඹලා ගසේ ගැටිණි. අවට සිටි පිරිස වහ වහා අනතුර වූ ස්ථානයට දිව ආහ. රියදුරු අසුනේ සිටි කාන්තාව සිහියෙන් පසු වුවත් ඇය රථය තුළ සිර වී සිටියාය. රියදුරු අසුන ඉදිරිපස වායු බැලුනය සක්‍රිය වී එහි ලේ තැවරී තිබිණ. ඉදිරිපස අනෙක් අසුනේ කුඩා දරුවෙකු සහ වැඩිහිටි පිරිමි අයකු සිර වී සිටියහ. ඔවුන් දෙදෙනාට සිහියක් පතක් තිබුණේ නැත. රියදුරු අසුනට පසුපස අසුනේ තවත් වැඩිහිටි කාන්තාවක් සිටි අතර ඇගේ මුහුණ තුවාල වී ලේ ගලමින් තිබුණත් ඇය හොඳ සිහියෙන් පසු වූවාය. පසුපස අනෙක්පස සිටියේද වැඩිහිටි කාන්තාවකි. ඇයද සිහිසුන්ව සිටි බව පෙනිණ. 

අනතුර සිදු වූ ස්ථානයට එක් රැස්වූ පිරිස හැකි ඉක්මනින් තුවාලකරුවන් රථයෙන් ඉවතට ගැනීමට කටයුතු කළහ. මුලින්ම දරුවා පිටතට ගෙන අවට තිබූ වාහනයකින් වාරියපොළ රෝහල කරා යැවීමට පිරිස ක්‍රියා කළහ. කුඩා දරුවකු බැවින් එම දරුවා තනිව වාහනයක දමා යැවීමට සිත් නොදුන් එතැන සිටි කාන්තාවක් දරුවා රැගෙන රෝහලට යාමට ඉදිරිපත් වූවාය. ඉන් පසු අනෙක් පිරිස රථයෙන් පිටතට ගැනීමට පිරිසට මහත් පරීශ්‍රමයක් දැරීමට සිදු විය. සියලු දෙනාම රෝහල වෙත යැවීමට අනතුර සිදුවී විනාඩි 20 ක් පමණ ගත වූ බව සිද්ධිය ඇසින් දුටු අයෙකු පැවසීය.

මෙසේ රිය අනතුරට පත් වූයේ අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ පදිංචිව සිටි පිරිසකි. චන්දිමා කුමාරි වර්ණකුලසූරිය නීතිඥවරියකි. ඇය රැකියාව කළේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ශාඛාවේ නීති නිලධාරිනියක ලෙසය. ඇගේ පියා, මව සහ කුඩා පුතු මනුල සමඟ නි‍ෙවසේ ඇය කල් ගත කළාය. හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිව සිටින එම්. එම්. පුංචි මැණිකේ, චන්දිමාගේ පුංචි අම්මාය. ඇය දින කීපයක් නැවතීමට අනුරාධපුරයේ චන්දිමාගේ නි‍ෙවසට පැමිණ සිටියාය. ඇය නැවත නිවසට ඇරලීම සඳහා හෙට්ටිපොළ කඩවලගෙදරට යාම සඳහා එදින උදෑසන 8.45 ට ඔවුන් අනුරාධපුරයෙන් පිටත් වී තිබිණ.

අනතුර හේතුවෙන් බරපතළ තුවල ලබා සිටි හැත්තෑ එක් හැවිරිදි සුනන්ද වර්ණකුලසූරිය, චන්දිමාගේ පියා වාරියපොළ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් සිටියේය. ඔහු විශ්වවිද්‍යාල කීපයකම කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ අයෙකි. විශ්‍රාම දිවිය ගත කරමින් සිටි ඔහු සමාජ සේවා කටයුතුවල නිරතව සිටියේය. චන්දිමාගේ මව වන එම්. එම්. ලීලාවතීද අනතුරින් මියගියාය.

අනතුර සිදුවන ආකාරය ඇසින් දුටු රිදීබැඳිඇල්ල ප්‍රදේශයේ පදිංචි අයකු සිද්ධිය විස්තර කළේ මෙසේය.

"මම ඇළ පැත්තෙ ඉඳල ඇවිදගෙන එනකොට මේ කාර් එක පාරෙන් අයින් කරනව වගේ දැක්කා. ඒත් එක්කම වාහනේ මහ සද්දෙන් සියඹලා ගහේ වැදුණා. මම එතනට දුවගෙන ගියා. අහල පහ හිටපු හැමෝම එතෙන්ට ආවා. අපි දැක්කා කුඩා දරුවෙක් සිහි නැතිව ඉස්සරහ සීට් එකේ ඉන්නවා. අපි මුලින්ම දරුවා ගත්තා. එයාව ගන්න විනාඩි දහයක් විතර ගියා. මට තේරුණ විදිහට දරුවා නැතිවෙලා. ඊට පස්සෙ අනිත් අයවත් ගත්තා. අන්තිමට ගත්තේ ඩ්‍රයිවින් සීට් එකට එහා පැත්තෙ ඉස්සරහ සීට් එකේ හිටපු පිරිමි කෙනාව. එයාව ගන්න ගොඩක් අමාරු වුණා. කාර් එක වැදිල තිබුණු විදිහට ඇන්ජින් එකේ පැත්තක් එයාගෙ කකුල් හරියටම ඇවිත් තිබුණා"

අනතුරින් තුවාල ලද චන්දිමා සහ ඇගේ පුංචි අම්මා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර මූලික වෛද්‍ය ප්‍රතිකාර දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවන ලදි. එහිදි චන්දිමාගේ තත්ත්වය තරමක් අසාධ්‍ය වීම හේතුවෙන් එදින දහවල් වන විට ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අනතුර සිදු වූ දින දහවල් වන තුරු මියගිය අයගේ දේහයන් වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර එදින සවස ඥාතීන් පැමිණ දේහයන් බාර ගන්නා ලදි.

එකම නි‍ෙවසේ කල් ගෙවූ සිවුදෙනාගෙන් තිදෙනෙක් මියගොස් අනෙකා දැඩි සත්කාර ඒකකයේ පසුවන අවස්ථාවක මියගිය අයගේ අවසන් කටයුතු කිරීමට කිසිවෙකු ඉතිරි වී සිටියේ නැත. එබැවින් මියගිය අයගේ අවසන් කටයුතු චන්දිමා කුමාරි මහත්මියගේ පියාගේ උපන් ගම වන ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ දී සිදු කිරීමට ඥාතීන් තීරණය කර ඇත.

නීතිඥ චන්දිමා සහ ඇගේ පියා පරිසරයට, රටට බෙහෙවින් ආදරය කළ බව අනතුර අවස්ථාවේදී රෝහලට, පොලිසියට සහ මාධ්‍යවේදීන්ට නන් දෙසින් ගලා ආ දුරකතන ඇමතුම්වලින් දැනගන්නට ලැබිණ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස චන්දිමා අනවසරයෙන් ඉඩම් ගොඩ කිරීම්, වැව් රක්ෂිත අල්ලා ගැනීම සහ විනාශ කිරීම වැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ කාන්තාවක බව බොහෝ දෙනාගේ මතයයි.

අනතුරට හේතුව රථය පැදවූ නීතිඥවරියට නින්ද යාමද නොඑසේනම් අධික වේගය නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීමද එසේ නැතහොත් වෙනත් හේතුවක් දැයි සොයා ගැනීමට නාගොල්ලාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාරගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (30704) අනුර සහ පොලිස් කොස්තාපල් (67736) බාලසූරිය යන නිලධාරීහූ ඉදිරි පරීක්ෂණ පවත්වති.

එන්.එම්. රවින්ද්‍ර ප්‍රභාත් 
වාරියපොළ සමූහ

Comments