
- 14 හැවිරිදි දැරියකට අතවර කළැයි චෝදනාව එල්ල වන්නේ 2012දී
- මහාධිකරණ තීන්දුවෙන් වසර 15ක් දඟගෙට නියම වුණා
- තීන්දුව අභියාචනාධිකරණයෙන්
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් නිදොස්කොට නිදහස් කැරුණේ පසුගියදාය.
ඒ 14 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කළ අපරාධයට වරදකරු වී 15 වසරක සිර දඬුවමක් නියම වී සිටියදී ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාරවය.
තමාට පනවා තිබෙන සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර සාරුවා ලියනගේ සුනිල් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව දෙමින් පී. කුමාරන්රත්නම් සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරු විසින් මෙම තීන්දුව පසුගිය 11 වැනි අඟහරුවාදා ලබා දුන්නේය.
මහාධිකරණය මඟින් තමන්ව වරදකරු කර ඇත්තේ දූෂණයට ලක්වූ බව කියන දැරිය සම්බන්ධව ළමාරක්ෂක අධිකාරියට ලබා දුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් බව ඔහු සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.
එම වීඩියෝ සාක්ෂිවල සඳහන් වූ කරුණු වෙනත් ස්වාධීන සාක්ෂිවලින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දැක්වූයේය.
එම අභියාචනා පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඬුල්ල විත්තිකරු එම චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
මේ සිද්ධිය මහත් කම්පනයක් සමාජය තුළ ඇති කර තිබිණි. සාරුවා ලියනගේ සුනිල් තමන් යටතේ සේවය කළ අඹු සැමියන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් බලහත්කාරයෙන් ඔහුට අයත් හෝටලයකට ගෙන ගොස් දුෂණය කළැයි කියන චෝදනාව සුනිල්ට එල්ල වන්නේ වර්ෂ 2012දී ය. වසර අටක් තිස්සේ මේ නඩුව විභාගයට ගැනිණි. ඒ අතර සුනිල්ට එරෙහිව බරපතළ ව්‍යභිචාරී හැසිරීම් පිළිබඳවද චෝදනා එල්ල විය.
ඔහු සම්බන්ධ වූ එක් ආන්දෝලනාත්මක කතාවක් රටම තිගැස්සුවේය. ඒ කන්‍යාවන් සියයක් දූෂණය කිරීම නිමිතිකොටගෙන සාදයක් පැවැත් වූ ආකාරය ගැන කතාවය. ඔහු අතේ මිටේ බොහෝ සේ මුදල් ගැවසුන ව්‍යාපාරිකයෙක්ව සිටියේය. එළවළු ව්‍යාපාරයකින් ජීවිතය පටන් ගත් ඔහු එම අවදිය වන විට තේ කර්මාන්ත ශාලා දෙකක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙක්ව සිටියේය. කෙරම් මිල මුදල් ගැවසුණත් සමාජ සේවකයෙක් සේ පෙනී සිටියත් සුනිල් ගේ සල්ලාලකම සම්බන්ධ විවේචනය ජන සමාජයෙන් ඔහුට එල්ල විය.
සිය සේවක යුවළකගේ 14 හැවිරිදි පාසල් දියණිය දූෂණය කිරීම සම්බන්ධව නඩුව රටේ අවධානය දිනාගත් නඩුවක් වූයේය. ළමාරක්ෂක අධිකාරියත්, මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයත් ඒ සම්බන්ධව ප්‍රබල ලෙස මැදිහත් වී සාක්ෂි ගොනු කරමින් නඩුව පවත්වාගෙන යෑමට මහත් පිටුබලයක් සැපයුවේය. මේ අගතියට පත් වී සිටියේ හඬක් නැති අසරණ දැරියකි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2020 ජනවාරි 17 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නඩුව සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 14 වියැති දියණිය දූෂණය කළ අපරාධකරුට බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවමක් නියම විය.
දඬුවමට අමතරව දුෂණයට ලක්වූ දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට විනිසුරුවරයා එහිදී නියෝග කළේය.
එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දඩයක් ලෙස අය කර ගැනීමටත් එම දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත අමතර සිර දඬුවම් ලබා දීමට නියෝග කළේය.
විත්තිකරුට ලබා දී ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුගේ එම ක්‍රියාව මඟින් මහජන නියෝජිතයන් කෙරෙහි ජනතා විශ්වාසයට ඉතා බරපතළ හානියක් සිදුවී ඇති බවත් එබැවින් විත්තිකරු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට ඇති හැකියාව තම අධිකරණයට නැති බවත් පෙන්වා දුන්නේය.
මෙම දඬුවමට එරෙහිව සාරුවා ලියනගේ සුනිල් අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. අනතුරුව අපෑල විභාගය අවසන්ව තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන් ඇප මත මුදා හරින ලෙස ඇප පෙත්සමක් ඉදිරිපත් කළේය.
අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් සිර දඬුවම් නියම වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඇප පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කළේය. පසුගිය වසරේ ජූලි මස 20 දා නීතිපතිවරයා වෙත එම නොතීසිය නිකුත් වුණේ පෙත්සම සම්බන්ධව කරුණු දක්වන ලෙසය.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු අතින් තමා දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවය.
තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න කීවේය.
ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහාධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් තම සේවාදායකයාගේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න අධිකරණ ඉල්ලා සිටියේය.
ඇප පෙත්සම විභාග විය. අවසානයේ දී සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
සාරුවා ලියනගේ සුනිල් පසුගියදා නිදොස්කොට නිදහස් වනතුරු සිටියේ ඇප මතය. ඔහු බන්ධනාගාරගතව සිටියේ කෙටි කාලයක් පමණි.