නැඟණියගේ දියණිය අපහරණය කළ එක් දරු පියා අවුරුදු 15ක් හිරේ | Page 3 | සිළුමිණ

නැඟණියගේ දියණිය අපහරණය කළ එක් දරු පියා අවුරුදු 15ක් හිරේ

 

ළමා පරපුර යනු ගමකට පළාතකට හෝ එක් රටකට පමණක් නොව මුළු ලෝකයටම සිටින වටිනාම සම්පතයි. එවන් වටිනා දරු පරපුර ආරක්ෂා කිරීම සමාජයේ සියලු දෙනාගේම වගකීමකි. එම නිසා දරුවන් ආරක්ෂා කිරීමේ පරම වගකීම දෙමාපියන්, ඥාති හිත මිත්‍රාදීන්ගෙන් පටන් සියලුම දෙනාට පැවරෙන සමාජ වගකීමකි. එම වගකීමෙන් කිසිවෙකුටත් මිදිය නොහැකිය. දරුවන්ද තම මාපියන් හැරුණු කොට සිය ළඟම ඥාතීන් කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයක් හා විශ්වාසයකි. එය එසේ වුවත් එම විශ්වාසය නොරකින තිරිසන් ගති ඇති දෙමාපියන් මෙන්ම ඥාතීන් පිළිබඳ පුවත්ද අපට මේ සමාජයෙන් ඕනෑ තරම් සොයා ගත හැකිය. තමන් ආරක්ෂා කරනවා යැයි විශ්වාසයේ තබාගෙන සිටින මිනිසුන් අතින්ම කුඩා දරුවන් ලිංගික අතවරයට ලක් වන්නේ නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එවන් තිරිසන් මිනිසුන් වෙනුවෙන් නීතියෙන් ද කිසිම ඉඩක් නොතැබිය යුතුය. ඒ අන් අයටද ආදර්ශයක් සැපයීම වෙනුවෙන් හා දරුවන්ගේ අනාගත සුබසිද්ධිය සඳහාය.

පාඨක ඔබට අද අප ලියන්නට යන්නේ සිය නැඟණියගේ 11 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ වැඩි මහලු සහෝදරයෙකුට හම්බන්තොට මහාධිකරණයෙන් දුන් දඬුවමක් පිළිබඳ කතාවකි.

රමණි සහ පියසේන යුවළ විවාහයෙන් පසු ජීවත් වූයේ අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේය. දෙදෙනාගේ විවාහයෙන් පසු දරුවන් තිදෙනෙකු මෙලොව එළිය දුටුවේය. ඒ දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු ලෙසය. රමණිගේ වැඩිමල් සහෝදරයා වූ ප්‍රියන්ත ජීවත් වූයේ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේය. විවාහ වී සිටි ප්‍රියන්ත එක් දරු පියෙකි. මාතර තෙලිජ්ජවිල පදිංචිව සිටියත් ප්‍රියන්ත නිතර නිතර අම්බලන්තොට පදිංචිව සිටි නැඟණියගේ නිවසට ආව ගියේය. නිතර නිවසට යන එන මවගේ අයියා පිළිබඳවද දරුවන් තුළද එතරම් සැකයන් මතු නොවීය. නිවසේ දරුවන් තිදෙනා පමණක් සිටියදී පවා මවගේ සහෝදරයා නිවසේ සිටි වාර අනන්තය.

දිනය 2011 වසරට හා හා පුරා කියා නව අවුරුද්ද උදා වූ ජනවාරි පළමු වැනිදාය. පියසේන රැකියාව සඳහා ගොස් තිබිණි. රමණිත් දර කැඩීමට අසල වු ලන්දකට ගියාය. රමණිත් සමඟ පුංචි පුතු ද ගියේය. නිවසේ සිටියේ 11 හැවිරිදි දියණිය සහ 10 හැවිරිදි දැරියන් දෙදෙනාත් මවගේ සහෝදරයා වූ ප්‍රියන්තත් පමණි. පාසල් ඇරී නිවසට පැමිණ සිටි දරුවන් දෙදෙනාගෙන් වැඩිමහලු දරුවා වූ දුලානි නිවසේ බිම පැදුරක් එළාගෙන නින්දට වැටුණාය. 10 හැවිරිදි නැඟණිය එළියට වී සෙල්ලම් කරමින් සිටියාය. ඒ ආසන්නයේ පුටුවකට වී මවගේ සහෝදරයාද වීය. පාසල් ඇරී පයින්ම නිවසට පැමිණ මහන්සියටත් එක්ක මඳක් පැදුරේ ඇලවුණු දුලානිට නින්ද ගියේ ඇයටත් නොදැනීමය. 11 හැවිරිදි දුලානි සිය ප්‍රියන්ත මාමාද අසල සිටින නිසා කිසිම බියක් සැකක් නැතිව නින්දට වැටුණාය. නින්දට ගිය දුලානිට එලෙස මහ වේලාවක් නිදා ගැනීමට නොහැකි වීය. කවුරුන් හෝ තම ඇඟ මතට බර වී සිටිනු ඇයට දැනිණි. වහා ඇහැරී බලන විට දුලානිට දැකිය හැකි වූයේ නිවසේ සිටි සිය මවගේ සහෝදරයා වන ප්‍රියන්ත මාමා තමන්ගේ ඇඟ මත නැඟී සිටින බවය. වහා නිදි පැදුරෙන් නැගිට ගත් දුලානි නිවසින් එළියට දිව ගියාය. ඒ වන විට නිවසින් එළියේ සෙල්ලම් කරමින් සිටි දුලානිගේ 10 හැවිරිදි නැඟණියද මේ සිද්ධිය දැක තිබිණි.

තමන්ට සිය මාමාගෙන් මුහුණු දීමට සිදු වූ අමිහිරි අත්දැකීම පිළිබඳව ඇයට කිසිවක් සිතා ගත නොහැකි වීය. මෙම සිදුවීම පිළිබඳව මවට හෝ පියාට පැවසුවහොත් ඔවුන් තමන්ට පහර දේවි... ඒ නිසා පාසල් යන්නට නොහැකි වේ යැයි දුලානි සිතුවාය. එපමණක් නොව මෙම සිදුවීම කිසිවෙකුටත් නොකියන ලෙසට ප්‍රියන්ත මාමාද දුලානිට තර්ජනය කර තිබිණි. මේ හේතුව නිසාවෙන් දුලානි තමන්ට මුහුණ දීමට සිදු වූ එම අමිහිරි අත්දැකීම පිළිබඳව කිසිවෙකුටත් නොකියා වසන් කරගෙන සිටියාය.

කෙසේ වෙතත් අපරාධයක් සිදුකර කිසිවෙකුටත් කිසිදා සැඟව සිටිය නොහැකිය. සිය සොයුරියට සිදු වූ අකරතැබ්බය පිළිබඳව දිනක් දුලානිගේ නැඟණිය මවට කරුණු කීවාය. ඒ අනුව මේ සිද්ධිය පිළිබඳව අම්බලන්තොට පොලිසියටද කරුණු වාර්තා කෙරිණි. වහා ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලිසිය සිද්ධියට අදාළ චූදිතයා අත්අඩංගුවට ගත් අතර 11 හැවිරිදි දුලානිද වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී අනාවරණ වූයේ චුදිතයා විසින් දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි. ඒ අනුව පොලිස් අත්අඩංගුවට ගැනුණු චුදිත ඉදිරිපත් කෙරුණේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයටය. එහිදී පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි. පැවති මුල් නඩු විභාගයේදී චුදිත අදාළ චෝදනාවට නිවැරදි කරු බව ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ චෝදනාවට එරෙහිව නඩු විභාගය පැවැත්විණි. එහිදි පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චූදිත අදාළ චෝදනාව සඳහා වැරදි කරු බවට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වීය. ඒ අනුව අදාළ චෝදනාව සඳහා වැරදි කරු වූ චූදිතට හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල චූදිතට දඬුවම් නියම කෙළේය.

අදාළ චෝදනාවට වැරදි කරු වූ චූදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු වරයා චූදිතට රුපියල් 50,000ක දඩයක්ද නියම කෙළේය. චුදිත දඩ මුදල නොගෙවයි නම් අමතර වසරක සිර දඬුවමක්ද නියම කෙරුණු අතර අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කැරිණි. චුදිත එය නොගෙවයි නම් ඉහත දඬුවම් කාලයට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි. නීතිපති වරයා වෙනුවෙන් අම්බලන්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂක විජේසිරි සමඟින් රජයේ අධිනීතිඥ නිමංක ජයවික්‍රම පැමිණිල්ල මෙහෙයවන ලදී.

Comments