ගිනි ජාලාවකට දමා තාත්තා එලොව යැවූ හෝකන්දර අජාසත් පුත්‍රයා | Page 3 | සිළුමිණ

ගිනි ජාලාවකට දමා තාත්තා එලොව යැවූ හෝකන්දර අජාසත් පුත්‍රයා

 

“මොනවද පුතේ ඔය ගිනි තියන්නෙ?" හෝකන්දර දකුණ අංක 194/1 ඒ නිවෙසට යාබද නිවෙසේ පදිංචි කාන්තාව ජනේලය ඇර එබී බලා තමන් කුලියට දුන් නිවෙසේ පදිංචි පවුලේ පුත්‍රයාගෙන් විමසුවේ මේ වෙලාවේ එම නිවෙසේ ගේට්ටුව දෙසින් ඇවිළෙන ගිනි ජාලාව කුමක්දැයි දැන ගැනීමේ කුහුලින් යුතුවය.

"ආ මම මේ කුණු ගොඩකට ගිනි තිබ්බා නැන්දෙ"

යාබද නිවෙසේ තරුණයා එම පැනයට පිළිතුරු බැන්දේ එලෙසිනි. මිදුලේ සිට සිය නිවෙසට ගිය තරුණයා ඔහු ඇඳ සිටි කලිසම සෝදා නා පිරිසිදු වී සාලය මැද එළා තිබු පැදුරේ ඇල වුණේ සුව නින්දට විය යුතුය. එහෙත් පැය භාගයක පමණ කෙටි නින්දකින් පසුව අවදි වූ ඔහු පැදුරටත් නොකියා පලා ගියේ ඇයිදැයි අවට නිවැසියන් දැන සිටියේ නැත. අසල්වැසි කාන්තාව සිටියේ මෙම ගින්න පිළිබඳ දැඩි කුහුලින් යුතුවය.

තරුණයා පදිංචි කුලී නිවෙස අයත් කාන්තාව හිමිහිට ගේට්ටුව අසලට ගොස් විපරම් කර බැලුවේ ගිනි තැබුවේ කුමක් දැයි නිශ්චිත ලෙස දැන ගැනීම සඳහාය. ඇගේ ඇස් අදහා ගැනීමට නොහැකි වූයේ ඒ ඇවිළෙන්නේ කුණු ගොඩක් නොව මිනිස් ප්‍රාණයක් බව දුටු සැණිනි.

මාලඹේ පොලිසියට මෙම සිද්ධිය දැනුම් දෙන්නේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් ලෙසිනි. මාලඹේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක නිවාඩු සිටි හෙයින් වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ අතුරුගිරිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ඒකනායකය. මාලඹේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉලක්ෂ ජයවර්ධන ඇතුළු කණ්ඩායම මෙහි විමර්ශන කඩිනමින් ආරම්භ කළේ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ජී.එන්. ජයමහ මෙන්ම පොලිස් අධිකාරි මාලන් පෙරේරාගේද උපදෙස් අනුවය.

හෝකන්දර දකුණ, අංක 194 / 1 / ඒ 1 ලිපිනයේ පිහිටි අදාළ ස්ථානයට පොලිස් නිලධාරීන් ළඟා වන්නේ ඒ අනුවය. ගේටුට්ව ළඟ මුණින් අතට වැටි අඟුරු වී සිටියේ එම කුලී නිවසේ ගෘහ මූලිකයා වන රංජිත් සේනානායකය. ඒ වන විටත් තුවාල ලබා සිටි රංජිත්ගේ බිරිය නන්දනි ඒකනායකත් ඔවුන්ගේ බෑණාත් සිටියේ එම ස්ථානයේය. පොලිසිය මුලින්ම කළේ තුවාලකාරිය රෝහල් ගත කිරීමය.

පනස් හත් හැවිරිදි රංජිත් ත්‍රිරෝද රථ රියැදුරෙකු වන අතර පනස් හැවිරිදි ඔහුගේ බිරිය නන්දනි රැකියාවක නිරත වූයේ නැත. ඔවුන්ට සිටියේ දරු දෙදෙනෙකු පමණි. ඒ තිස් හතර හැවිරිදි දියණියක් සහ විසි අට හැවිරිදි පුතෙකි. මුල් කාලයේදී රංජිත්ලා පදිංචිව සිටියේ රාජගිරිය ප්‍රදේශයේය. අධ්‍යාපනය සඳහා පිරිමි දරුවා එතරම් ඇල්මක් දැක්වූයේ නැත. සාමාන්‍ය පෙළ දක්වා උගත් ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවේ නරක මිතුරු ඇසුරට යොමු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මත් ද්‍රව්‍ය සඳහා මුදල් ඉල්ලා ඔහු නිතර මාපියන්ට කරදර කිරීමට පටන් ගත්තේ අතට හසුවන දේ විකුණා දමමිනි. මේ නිසා රංජිත්ලාට උන්හිටි තැන් පවා විකුණා දැමීමට සිදු විය.

රංජිත්ලාගේ දියණිය විවාහ වී අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටියාය. ඇය අවුරුදු 11 ක දරුවෙකුගේ මවකි. ඇය තම මාපියන් ගැන නිතර සොයා බැලුවාය.

රංජිත්ට අයත් පිට්ටුගල ප්‍රදේශයේ ඉඩමක් ද විකුණා දියණියට සහ මෙම 'මාර පුත්‍රයාට' ලක්ෂ හතළිහ බැගින් බෙදා දීමට ද රංජිත් කටයුතු කළේ පුතුගෙන් ගැලවීමට මඟක් නොමැති බැවිනි.

කොරතොට, කඩුවෙල ආදි ප්‍රදේශවල කුලි නිවෙස් වලට මාරු වෙමින් රංජිත්ලා තම නරක කල දසාව ගෙවා දැමීමට මහත් වෙහෙසක් දැරූහ. ඒ අතර පුත්‍රයා පුනරුත්ථාපන කඳවුරකට යැවීමට මාපිය දෙපළ කටයුතු කළේය. එහෙත් මාස හයක පමණ කලකින් පසුව ඔහු නැවත ආවේ මීට වසරකට පමණ පෙරය. කෙසේ හෝ ඔහුගේ මත් ලෝලිතවය නතර වූයේ නැත.

රංජිත්ලා නිතරම කටයුතු කළේ තමන් සිටින්නේ කොහිදැයි පුතුට දැන ගැනීමට කිසිම ඉඩක් නොතබාය. ඒ ඔහුගෙන් සිදු වෙන හිරිහැර තවදුරටත් විඳ ගැනීමට අපහසු වූ බැවිනි. සියලු සේසතම හිස් වී සිටි රංජිත් සහ නන්දනී හෝකන්දර කුලි නිවෙසකට පැමිණියේ මීට මාස හතරකට පමණ පෙරය.

නන්දනි ගමන් බිමන් ගියේ ස්කුටි වර්ගයේ යතුරුපැදියකිනි. රංජිත් ත්‍රිරෝද රථයෙන් කුලි ගමන් යමින් කීයක් හෝ උපයා ගෙන ජිවත් වීමට වෙර දරුවේය. දිනක් නන්දනී පුත්‍රයාගේ ඇස ගැටුණේ අවාසනාවක මහිමය කියාපාමිනි. නැවතත් ඔහුට මව්පිය සෙවණේ සුව විඳීමට ඉඩ සැලසෙන්නේ ඒ අනුවය. ඒ මීට සති දෙකකට පමණ පෙරය.

"පුතේ දැන්වත් අපිට කරදර නොකර හිටපං.... තාත්තත් උඹට කොච්චර ආදරේද"

පුතු ඉදිරියේ දනින් නැමී හෝ නන්දනී උත්සාහ කළේ සිය පුතුගේ පවින් ගොඩ ඒමටය. එහෙත් කුඩු නොමැති ජීවිතයක් ඔහුට තිබුණේ නැත. පසුගිය දිනෙක නන්දනී සෝමාවති චෛත්‍ය වන්දනා කිරීමට ගියේද පුත්‍රයා ද කැඳවාගෙනය. කෙසේ හෝ යක්ෂයාගේ හෝරාව එළඹියේ පසුගිය 28 වැනිදාය. පෙර දින රාත්‍රියේ ආහාර ගෙන රංජිත්, නන්දනි හා පුත්‍රයා නිදා ගත්තේ දහයට පමණය.

සාලය, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත මෙම කුඩා කුලි නිවෙසටම තිබුණේ එක් නිදන කාමරයක් පමණි. නිවෙස් හිමිකරුවන් සිටියේ අල්ලපු වැටේය. නන්දනී සහ රංජිත්ට කාමරයේ ඇඳ වෙන් වූ අතර පුත්‍රයාට හිමි වූයේ සාලයේ පැදුරකි. මැදියම් රැයේ අවදි වු පුත්‍රයා පස් වතාවක් පමණ නාන කාමරයට යන අයුරු නන්දනි දුටුවේ එහි විදුලි පහනේ ආලෝකය කාමරයට ද වැටෙන හෙයිනි.

"මට තාත්තා කතා කරනව වගේ ඇහුණා. මම මොකද බලන්න කාමරේට ගියා. එක පාරටම තාත්ත මට පිහියෙන් අනින්න හැදුවා."

ඔහුට අනුව නම් සිද්ධිය ආරම්භ වෙන්නේ එලෙසය. පිය පුතු පොරය ඇරඹෙන්නේ කාමරය තුළදීය. පියා ඇඳ සිටි සරම ද කාමරය තුළ ගැලවි වැටි ඇත්තේ පොර බැදිමේදීය. පුතුගෙන් ගැලවීමට පියා දිව යන්නේ මුළුතැන්ගෙය දෙසටය. එතුළ සිදුවී තිබුණේ දමිළ චිත්‍රපටියක බිහිසුණු දසුනකි. පියා මුළුතැන්ගෙයින් මිදුලට පැන්නේ පණ බේරා ගැනිමටයි. එහෙත් ඔහුට මාරයා ඉඩ ලබා දුන්නේ නැත. කුස්සියේ තිබු උදැල්ල අතට ගත් මාරාවේශ වූ අජාසත් පුත්‍රයා, පියා පසුපස පන්නා ගියේ නිමේෂයෙනි. උදලු පහරින් බිම වැටුණු පියා ජීවිතය ඉල්ලා නැඟිටින්නට වෙර දැරුවේය. එහෙත් ගේට්ටුව අසල ඇද වැටිණි. නැවතත් ඔහු අසීරුවෙන් නැඟිටීමට වෙර දැරුවේ ගේට්ටුවෙන් එළියට පැන හෝ කිසියම් අයකුගේ උදව්වක් ලබා ගැනීමටයි. එසැණින් නිවෙසේ තිබූ ඉන්ධන කෑනයක් රැගෙන ආ අජාසත් පුත්‍රයා සිය පියාව පණ පිටින්ම ආදාහනය කළේ හිත්පිත් නැත්තෙකු විලසිනි. එම අවාසනාවන්ත සිදුවීම වී තිබුණේ අලුයම 2.40ට පමණය.

සියල්ල නිමා කළ පුත්‍රයා නාන කාමරයට ගොස් පිරිසිදු වී පැදුරට වැටුණේ ඉන් පසුවය. කෙටි නින්දකින් පසුව පිහියද රැගෙන පිටවෙන මත්ලෝලි පුත්‍රයා නිවෙසේ සිට මීටර් සීයක් පමණ දුරින් අතුරුගිරිය මාවත ආරම්භ වන ස්ථානය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක පිහිය සඟවා පලා ගියේය.

පිය පුතු හරඹය ඇවිළුණු සැණින් එය බේරීමට ඒ මැදට පැන්න නන්දනි බිම වැටී අත කැපී තුවාල සහිතව එළියට පැන්නේ කරකියා ගත හැකි දෙයක් නොමැතිවය. පාරට දිව ගිය ඇය දියණියගේ සැමියාට කතා කර පවසන්නේ පුත්‍රයා විසින් පියාට පහර දෙන බවය. අතුරු පාරකට වී සැඟවෙන නන්දනි සැමියා දැවෙන බව දැන ගන්නේ පසුවය.

ඇඟ කිලි පොලා යන මෙම සාහසික අපරාධයේ විමර්ශන ආරම්භ කළ මාලඹේ පොලිසියේ සැරයන් 6731 අමරසේකර, කොස්තාපල්වරුන් වන 47116 බණ්ඩාර, 69900 රසික, 93487 නිකවන්ත, 31660 වීරසිංහ, 31667 ගුණවර්ධන සහ උප පොලිස් පරීක්ෂක ඉෂන්ත ජයවර්ධන සැකකරු කොටු කර ගැනීමේ මෙහෙයුම ද දියත් කළේ සුක්ෂ්මවය.

මෙම සිද්ධියෙන් පසු දින උදේ හෝකන්දර, සිංහපුර බුදු පිළිමය අසලදී සැකකරු පොලිසියට කොටු වෙන්නේ බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ සැරයන් 56993 ඉන්ද්‍රජිත්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාලඹේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුවය.

"ගේටුට්ව ළඟදි තාත්තා නැඟිට්ටා. මට ගහයි කියල බයටයි මම පෙට්‍රල් දාල ගිනි තිබ්බෙ" යැයි ඔහු කියන්නේ පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදීය.

මත් ද්‍රව්‍ය නිසා ආනන්තරිය පාප කර්මයක් සිදු කර ගත් මත් ලෝලියාගේ දැතට මාංචු වැටුණත් ඒ අහිංසක පියා යළි කිසි දිනෙක නොනැඟිටින නින්දකට වැටුණේ මුළු ගමක්ම හඬවමිනි.

 

Comments