පෙම් පුරාණය | සිළුමිණ

පෙම් පුරාණය

පෙම් පුරාණය යනු ස්වතන්ත්‍ර කාව්‍ය නිර්මාණ එකතුවකි. සාමාන්‍යයෙන් මේ තීරුවේ දිගටම ලියන ලද්දේ පරිවර්තන කෘති ගැන නිසා එහි කිසියම් විශේෂත්වයක් ද වේ. එහෙත් මේ කෘතිය තෝරා ගන්නට අදහස් කෙරුණේ ඒ ස්වතන්ත්‍ර කාව්‍ය නිර්මාණ ඇසුරෙන් මෙහි කර්තෘ පුරාතන ග්‍රීක පුරාණෝක්ති වෙත අප කැන්දාගෙන යන හෙයිනි.

මේ කෘතියට කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ විසින් සපයන ලද පූර්විකාවෙන් ගත් උධෘතයකි මේ.

“සාමාන්‍ය අරුතින් ඉංග්‍රීසි බසේ Mythical හා Mythological යන දෙවදනට කෝෂකරුවන් අරුත් සපයා ඇති සරලම අර්ථ විවරණය උපුටා දක්වමින් මේ කෙටි ලිපිය අරඹමු. Naney Pitt තම Dictionary of Modern English Usage හි එම දෙවදනට අරුත් මෙසේ ලබා දෙයි.

Mythical means untrue, having no real

exsistance. Mythlogical means concerned with

mythology එහි සරල සිංහල අරුත වනුයේ මිතිකල් යනු සැබැවින් නොපවතින යන අරුත් දෙන බවයි. මිතලොජිකල් යන්නෙහි අරුත මිතලොජි හා එයට සම්බන්ධ එයට අදාළ දේවල් බවයි. මිතලොජි වර්තමානයේ සිංහල භාෂාවෙන් ප්‍රකට වී ඇත්තේ පුරාණෝක්ති ලෙසිනි. පැරණි කාලයේ කියුම්කෙරුම් ලෙසට එම වදන විසන්ධිකොට අරුත් බිණිය හැකි වෙතත් නූතනයේ පුරාණෝක්ති යන වදන එම වචනාර්ථය ඉක්ම වන සංකීර්ණ න්‍යායික අරුත් සම්භාරයක් ජනිත කර ඇත. සැබැවින්ම නොපවතින දෙයක් ලෙස ශබ්දකෝෂකරුවන් විසින් අර්ථ දක්වන ලද්දේ වුව ද ඇත්තෙන්ම මිනිසුන්ගේ මානසික ලෝකයේ තදින්ම මුළු ජීවිත කාලයක් පුරාම පවතින්නේ පුරාණෝකිත්ති ය කීවොත් වරදක් නොවේ.”

සිය කෘතිය හැඳින්වීමේදී මෙහි කර්තෘ මෙසේ කියයි.

“මිථ්‍යා කතා සහ පුරාණෝති සඳහා හිමිකම් කියන කතුවරුන් නෑ. ඒවා නිර්නාමිකයි. ඒවා සාමුහික මානව නිෂ්පාදන. කටින් කට සම්ප්‍රේෂණය වෙනවා. එ නිසා කාලයත් සමඟ වෙනස් වෙනවා.එසේ වුවත් ඒවායේ ආදි මුල් ස්වරූපය රැක ගන්න තරම් ශක්තියක් මිථ්‍යා හා පුරාණෝක්ති තුළ ගැබ් වෙනවා.”

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව මිථ්‍යා කතා හා පුරාණෝක්ති මානව අවිඥානයේ මනෝ විද්‍යාත්මක ප්‍රකාශනයක්. ඔහු ඊඩිපස්, ඉලෙක්ට්‍රා, නාසිසස් වැනි සංකල්ප උපුටා ගන්නේ මේ මිථ්‍යා පුරාණෝක්තිවලින්. මානව අවිඥානයේ ආකෘති මේ කතන්දර සඳහා විෂය වන බව කාල්යුංග් පවසනවා.” ඉතින් අප මෙහි ඇතුළත් පැදි පෙළ 12 වෙත ප්‍රවේශ විය යුත්තේ පුරාණෝක්ති හා මිථ්‍යා කතා පිළිබඳ එතරම්වත් අවබෝධයක් ඇතිවය.

මේ පැදි පෙළ 12 පෙම් පුවත් 12ක් හා සම්බන්ධය. මූලික වශයෙන් මේවායේ වියෝගය සහ විප්‍රලම්භ ශෘංගාරය ප්‍රකටය. ඒවායින් පළමු වැනි හයිසින්තුස් සහ ඇපලෝ, තුන්වැනි ඔපියස් හා යුරිඩිසි ද 

 

දොළොස් වැනි ඇපලෝ හා ඩැෆ්නි ද හැරුණු විට අනෙක් සියල්ලම කාන්තාවන්ගේ භාව ප්‍රකාශය. 9 සහ 12 වැනි පැදි පෙළවල ඇත්තටම පෙම් සබඳකම් නොමැත. ඒ හැර අනෙක් ඒවායේ එන පෙම් බැඳුම් විවිධාකාරය. 

පළමු වැනි පැදි පෙළ වන ‘ඇපලෝ සහ හයිසින්තුස්’ඇපොලෝ මහදෙවියා තමා අතිශයින් පෙම් කළ සුරූපි හයිසින්තුස් නම් තරුණයා තමාගේ අත්වැරැද්දකින් මිය යෑම ගැන ශෝකයට පත්ව කියන්නකි. දෙවැන්න වන ‘ඓපීස් සහ ඉයන්තා’හි එන්නේ කොලු වෙස් ගෙන සිටින ඓපීස් නම් කෙල්ලට ආදරය කරන ඉයන්තා නම් කෙල්ලගේ ආයාචනයට සවන් දෙන ඇපලෝ දෙවිඳුන් ඓපීස් පිරිමියකු බවට පත් කරන සුඛාන්තයකි. තුන්වැනි ‘ඔපියුස් හා යුරිඩිසි’හි එන්නේ සිය සුන්දර රුවැති විවාහක බිරිය වන යුරිඩිසි හදිසියේ මිය යෑම නිසා කම්පාවට පත්ව ඔපියුස් කියන දුක් කවියයි. සිවු වැනි ‘මයරා සහ සිනියාස්’ අන්දරය අමුතුම එකකි. සිය පියාට ආලය කරන මයරා නම් තරුණියක් සිය කිරිමවගේ ආධාරයෙන් ඔහු සමඟ යහන් ගත වන ආකාරය සහ රහස අනාවරණය වීමෙන් අනතුරුව ඔහු සිය මාලිගයෙන් ඇය පන්නා දැමීමෙන් පසු ඇගේ කවිය එහි ඇතුළත්ය. සිය නිවුන් සොයුරාට ආලය කරන බිබ්ලිස් නම් තරුණිය ඔහු විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමෙන් පසු ශෝකයට පත්වී නඟන වියෝ ගීය ‘බිබ්ලිස් සහ කොනුස්’හි ඇතුළත්ය.

‘යොකොස්ටා සහ ඊඩිපස්’ පැදි පෙළේ එන්නේ සුප්‍රකට ඊඩිපස් පුරාවෘත්තයයි. මෙහිදී යොකොස්ටා බිසව සියදිවි හානි කර ගන්නට පෙර සිය පුතු ද සැමියා ද වන ඊඩිපස් අමතා සිතින් පවසන දෑ මෙහි එයි.

දෙවියන්ගේ අණ පරිදි තමා හැර යන සිය පෙම්වතා වන ඊනියස්ගේ වියොවින් කම්පාවට පත් වන ඩිඩෝ නම් රැජිනගේ කවියයි ‘ඊනියස් හා ඩිඩෝ’. සියුස්ගේ බිරිය වන හේරා දෙවඟනගේ සාපය නිසා දෝංකාරයක් පමණක් බවට පත්වන ස්ත්‍රියකගේ විලාපයයි‘නාසිසස් සහ එකෝ’

දහවැනි ‘පෙනිලෝපි සහ ඔඩිසියස්’හි එන්නේ දස අවුරුදු ට්‍රෝයි යුද වීරයකු වන ඔඩිසියස්ගේ රුවැති බිරිය පෙනිලෝපි පතිවත රැක ගන්නට දරන උත්සාහය සිය සැමියා අමතා කියන අකාරයයි. විශ්වාස ඝාතක කුරිරු සැමියා වන ජේසන් ඝාතනය කරන මීඩියාගේ කවිය එකොළොස් වැනි ‘මීඩියා සහ ජේසන්’හි එයි.

දොළොස් වැනි ‘ඇපලෝ සහ ඩැෆ්නි’ පැදි පෙළේ ප්‍රේමය පිළිබඳ කිසිවක් සඳහන් නොවේ. එහි එන්නේ ඇපලෝගේ ප්‍රේමය පිළි නොගෙන ලෝරල් ගසක් බවට රූප විපර්යාසයට බඳුන් වන ඩැෆ්නිගේ කවියයි.

ග්‍රීක පුරාණෝක්ති එලෙසම ද, ඒවා ඇසුරින් නිර්මිත කෘති ද පරිවර්තනය වූ අවස්ථා සිංහල සාහිත්‍යයේ විරල නොවේ. එහෙත් ඒවා පාදක කර ගනිමින් පද්‍ය පන්ති නිර්මාණය කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි සිතමි. මේ කෘතියේ වැදගත්කම එයයි.

‘පෙම් පුරාණය’ බර්ටි බී. කුඩා හෙට්ටිගේ කෘතියකි

Comments