කෘතිය - මතු ජීවිත
පරිවර්තනය - රෝහණ වෙත්තසිංහ
සරසවි ප්‍රකාශනයකි
මිල - රු. 1,700/=
පිටු ගණන - 392
විමසීම් - 077 730 5777
එය හුදෙක් ප්‍රබන්ධයක්ම යැයි කිව හැකි කෘතියක් නොවේ. ඓතිහාසික පසුබිමක ලියවුණු හුදු නවකතාවක් ද නොවේ. එය වනාහි ඉතිහාසගත කාල පරිච්ඡේද හරහා ගලා ආ සජීවි අත්දැකීම් ප්‍රවාහයක් ගැන කියන නිර්මාණාත්මක ප්‍රකාශයක් යැයි කීම නිවැරැදි යැයි සිතමි. රෝහණ වෙත්තසිංහ “මතු ජීවිත” නමින් සිංහලට පරිවර්තනය කරන මෙම කෘතිය ප්‍රථම වතාවට අප්‍රිකානු ජාතික ලේඛකයකුට නොබෙල් සම්මාන ත්‍යාගය හිමි කර දුන් විශිෂ්ට උදාහරණයක් වේ. ඔහු අබ්දූල් රසාක් ගුර්නා ය.
“යටත් විජිතවාදයේ මහද්වීපික හා සංස්කෘතික ඒ යෝධ පරතරය හමුවේ සරණාගත ජීවිතවලට ඇති වන බලපෑම හා ඉන් ඇති වන ඉරණම පිළිබඳ නිර්දය හා සානුකම්පික තියුණු විමසා බැලීම උදෙසා ය.”
ඉහතින් දැක්වුණේ උක්ත කෘතියට නොබෙල් ත්‍යාගය පිරි නැමීම සම්බන්ධයෙන් කියවුණු හේතු පාඨයයි. එක්තරා අතකින් ගත් කල එය සමස්ත කෘතියේ අන්තර්ගතය අතිශය සංක්ෂිප්ත ලෙසින් කියාපෑමක් වැන්න.
“මතු ජීවිත”නමින් සිංහලට පරිවර්තනය වන මෙම කෘතියේ කතුවරයා වන අබ්දූල් රසාක් ගුර්නා ටැන්සානියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛකයකු වේ. 60 දශකය අගභාගයේ දී එවකට මුස්ලිම්වරයකුගේ (සුල්තාන්) පාලනය යටතේ පැවැති සැන්සිබාරයේ සිට එක්සත් ජනපදයට ඔහු සංක්‍රමණය වූයේ සරණාගතයෙකු ලෙසිනි. ඊට හේතුව වූයේ සැන්සිබාරය තුළ උත්සන්න වෙමින් පැවති ජනවාර්ගික ගැටුම්ය. අප්‍රිකානු ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අරාබි සුල්තාන්වරයාව බලයෙන් පහ කිරීමත් සමඟ ඇති වූ ඒ තත්ත්වය එදා 18 හැවිරිදි තරුණයකු වූ අබ්දූල් රසාක් ගුර්නාට නව ලොවට පිවිසීමට මඟ පෙන්වීය. පසු කලෙක ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු බවට පත්වෙමින් දර්ශන සූරි උපාධිය ලබා ගනියි. අද දවසේ ඔහු විශ්‍රාමික මහාචාර්යවරයෙකි.
“මතු ජීවිත”නම් මෙම කෘතියට ඔහු සිය ජීවිතයෙන් ඇසුරු කළ ඓතිහාසික සංසිද්ධීන් ඇතුළත්ව ඇත්තේ ය. නැඟෙහිර අප්‍රිකාවේ ටැන්සානියාව කේන්ද්‍ර කර ගෙන ලියවුණු මෙම කතාවට විසිවැනි සියවසේ ආරම්භක දශකය ගෙවීයත්ම පැන නැඟෙන පළමු වැනි ලෝක යුද්ධය (914 - 18) හා තුන්වැනි දශකය අගභාගයේ ඇවිළෙන දෙවැනි ලෝක යුද්ධය (939 -45) මෙම කෘතියට පසුබිම් වෙයි. පරිවර්තක රෝහණ වෙත්තසිංහ පෙන්වා දෙන අන්දමට භාෂාව ද පොදුවේ සංස්කෘතිය මුල් කොට ගෙන බෙදී ගියා වූ ජනවාර්ගික කොටස් 120කට අධික සංඛ්‍යාවකගේ වාස භූමියක් වූ මේ දේශයේ වරින් වර ඇති වන ගෝත්‍රික සටන් මූලික වශයෙන්ම සිය දේශය යටත් කරගෙන සිටින්නා වූ විදේශීය බලවේග පරාජය කිරීම අරමුණු කොට ගත්තේය. මාජි මාජි කැරැල්ල (1905 - 07) ඊට කදිම උදාහරණයක් වේ.
ගිනිකොන දිග ටැන්සානියාවේ දී ජර්මන් හමුදාවට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මාජි මාජිවරුන් විසින් එල්ල කරන ලද්දකි. කෙසේ වෙතත් එහිදී 75,000 - 1,25,000 අතර සංඛ්‍යාවකින් කැරලිකරුවන් සහ සාමාන්‍ය වැසියන් මිය ගිය බවක් වාර්තා වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේම මිනිසුන් මරා දැමීමට අප්‍රිකානු ජාතිකයන්ගෙන්ම යුත් හමුදාවක් ගොඩනැඟීමට ජර්මන් නිලධාරීන් කටයුතු කොට තිබේ. ස්කුස්ට්‍රප් අස්කාරින් නම් මේ හමුදාව මෙම කෘතියේ තැන් කිහිපයකදීම අපට හමු වේ. ස්වාහිලි බසින් ආරක්ෂක හමුදාව හඳුන්වන්නේ ස්කුස්ට්‍රප් යන නමිනි. අස්කාරින් යනු සොල්දාදුවා යන අරුත දෙන්නකි.
ඒ ආකාරයට ජර්මනියට හා බ්‍රිතාන්‍යයට යටත්ව පැවැති නැඟෙනහිර අප්‍රිකානු කලාපයට අයත් ටැන්සානියානු ජන ජීවිතයේ එක් පැතිකඩක් පිළිඹිබු කරන්නා වූ චරිත කිහිපයක්ම මෙම කෘතිය පුරා හැසිරෙනු දැකිය හැකි ය. එකී චරිත අයත් සෑම කෙනෙක්ම පාහේ මෙහිදී මතු වන්නේ පීඩිත පාන්තිකයන් වශයෙනි. කලිෆා ඉල්යාස්, අෆියා හා හම්සා නම් ඔවුන් මේ දිගු කාල පරාසය තුළ යුද්ධය හා වහල්කම හමුවේ අසරණ වන ආකාරය ඛේදනීය තත්ත්වයකි.
“අක්මුල් සිඳී නන්නත්තාර වුව ද ජීවිත ගමනට අත්වැලක් වන අකුරු ශාස්ත්‍රය ඉගෙනීමට ඔවුන්ට මඟ පෑදෙයි. එහෙත් අවාසනාව රොද බැඳගත් ලොවකට මැදිවූ මේ සිවු දෙනාට ඉන් සහනයක් ලැබෙන්නේ මඳ වශයෙනි.”