"යමං කැරම් අතක් ගහන්න. කාලෙකින්නෙ කට්ටිය සෙට් වුණෙත්... " කලකට පසුව හමුවුණු මිතුරන් පිරිස අතර සිටි මුදිතගේ මුහුණ අඳුරු වීමට ගත වූයේ නිමේෂයකි.
" අනේ මට බෑ බන්. උඹලා ගහපන්. "
" අපි තුන්දෙනා අහවල් දෙයක් කරන්නද ? ඇයි උඹ දන්නැද්ද කැරමක් ගහන්න හතරක් ඕනෙ කියල.. ? මෙන්න මෙහෙ වරෙන් බන්. "
මිතුරන්ගේ පෙරැත්ත මත අකමැත්තෙන් වුවද කැරම් බෝඩය ඉදිරිපිට වාඩි වූ මුදිත මොහොතක් නිසොල්මන්ව සිටියේය. නොදැනුවත්වම ඔහුගේ අතැඟිලි වෙව්ලමින් තිබිණි.
" එහ්.. මොකද බන් ඔය අත වෙව්ලන්නෙ ? කැඳ බීලා වගේනෙ උඹ නම්. ගහපන්කො ඉත්තට හරියට.. "
" කයිවාරුව නම් තියෙනවා මුගෙ. කැරම් ඉත්තෙක්ට ගහගන්න බෑ.. "
තම මිතුරන්ගේ දැඩි සිනහ හඬ මධ්‍යයේ ලැජ්ජාවෙන් මඳ සිනහ පහළ කළ මුදිතගේ මතකය වසර ගණනාවක් ඈතට දිව ගියේය.
*************
"අනේ අම්මෙ මට කැරම් බෝඩ් එක ඉක්මනට අරන් දෙන්නකො.. " කුඩා මුදිත හඬන්නට වූයේ තම මවගේ මඟ අහුරාගෙනය. තම සහෝදරියගේ නිවෙසට කැරම් බෝඩ් එකක් ගෙන ආ දින සිට, ශ්‍රියාලතාට තම පුතුගේ මෙම අඳෝනාව නුපුරුදු නොවීය.
" පුතේ මේ දවස්වල අප්පච්චිට කරදර කරන්න බෑනෙ. නාඬා ඉන්නකො, මයෙ පුතාට අප්පච්චි ඉක්මනටම කැරම් බෝඩ් එකක් අරන් දෙයි... "
පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කළ, මුදිතගේ පියා වූ පත්මසිරි බොහෝ වෙහෙස මහන්සියෙන් එදා වේල සරි කරවා තම පවුල ජීවත් කරවූ අයකු වූ අතර පවුලේ එකම දරුවා වන මුදිත ඔහුගේ පණ මෙන් විය.
" අප්පච්චි... මට කැරම් බෝඩ් එකක් ගෙනාවද..? "
නිවෙසට ගොඩ වීමටත් පෙර තම පුතුගෙන් ලද පැනය හමුවේ පත්මසිරි නිරුත්තර වූ අතර තම හැඟීම් සඟවා ඔහු සිනාසෙන්නට වූවේය.
" මයෙ පුතාට අප්පච්චි ඉක්මනටම කැරම් බෝඩ් එකක් ගේන්නම්කො. හරිද.. ? "
" ඊයෙත් ඔහොමයි කිව්වෙ පෙරේදත් ඔහොමයි කිව්වෙ. අප්පච්චි හරි නරකයි. " මුදිතගේ බොළඳ වදන්, පත්මසිරිගේ ළය පසාරු කර යනවාක් මෙන් ඔහුට දැනුණි.
" ඒයි... මේ ඇහුණද ? කොල්ලගෙ වැඩේම නාහෙන් අඬන එක කැරම් බෝඩ් එකක් ඉල්ලලා. අද දවස තිස්සෙම මාත් එක්ක ඔට්ටු වෙවී හිටියෙ ඕකට. "
එදින රාත්‍රියේ පසෙකින් නිදමින් සිටි මුදිතගේ හිස පිරිමදිමින් ශ්‍රියාලතා පැවසුවේ ඇඳ විට්ටමට හිස තබා කල්පනාවට බර වී සිටින තම සැමියා වෙතට හැරෙමින්ය.
" හ්ම්ම්... ආපු ගමන්ම මං එක්කත් ඔට්ටු වුණේ ඔය... "
" කොහෙ තියෙන සල්ලියක්ද ඒයි ඕවට වියදම් කරන්න.. ? අපි කන හැටි ලිපා දනී. මට තේරෙන්නැත්තෙ කොලුවට කොහොම ඕක තේරුම් කරන්නද කියල. " ශ්‍රියාලතා සුසුම් මැද තෙපළූ වචනවලට පිළිතුරු ලෙස පත්මසිරිගෙන් ලැබුණේ මඳ සිනහවක් පමණි.
පසුදිනට පහන් වූ අතර, රැකියාවට පිටත් වූ පත්මසිරි තම ප්‍රධානියාගේ කාමරය කරා ඇදුණේ අපේක්ෂාවෙන් යුතු දෑසිනි.
" සර්.. මට පොඩි උදව්වක් ඕනෙ. "
" මොකක්ද පත්මසිරි ? නිවාඩු නම් ඉල්ලන්නෙපා දැනටමත් දරුවගෙ වැඩවලට කිය කිය සෑහෙන්න නිවාඩු අරන් තියෙනවා. " ආයතන ප්‍රධානියාගේ ස්වරය රළු වීමට වැඩි වේලාවක් ගත නොවීය.
" නෑ සර් නිවාඩුවක් නෙමේ. මට පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්ද, දරුවගෙ වැඩකට සර්.. "
" මොකක්ද පත්මසිරි මේකෙ තේරුම ? දරුවගෙ වැඩ කිය කිය නිවාඩු ඉල්ලනවයි, ඇඩ්වාන්ස් ගන්නවයි. මේ විදියට ගියොත් මාසෙ අන්තිමට දෙන්න පඩියක් නැති වෙයි. කියන්න කනගාටුයි පත්මසිරි, ඇඩ්වාන්ස් එකක් නම් දෙන්න විදියක් නෑ. "
දැඩි මතධාරියකු වූ ආයතන ප්‍රධානියාගේ වචනය වෙනස් නොවන බව මැනවින් දත් පත්මසිරි දැවෙන හදවතින් යුතුව ඉවතට ගමන් කරන්නට වූවේය.
.............................................
" අප්පච්චි... මගෙ කැරම් බෝඩ් එක ගෙනාවද ? අද අක්කලා මාව එයාලා එක්ක සෙල්ලම් කරන්න ගත්තෙත් නෑ. මටත් එකක් තිබ්බනම් එහෙම වෙන්නෙ නෑනෙ. "
කඩුල්ල පනින විටම ඇසුණු මුදිතගේ පැමිණිල්ල පත්මසිරිගේ දෙසවන් තුළින් විත් හද පත්ලටම කිඳාබැස්සේ පියකුගේ අසරණකම ඔහුට මැනවින් අවබෝධ කරදෙමිනි.
" මයෙ පුතේ අප්පච්චිට අද වැඩ ගොඩාක් තිබුණා. ඒ හන්දා කැරම් බෝඩ් එකක් ගන්න යන්න බැරි වුණානෙ. පුතාට මං අනිද්දාට අනිවාර්යයෙන්ම කැරම් බෝඩ් එකක් ගෙනත් දෙන්නම්. හරිද ? "
" ඇයි අනිද්දා ? හෙට බැරිද අප්පච්චි ? "
" හෙට කැරම් බෝඩ් තියෙන කඩේ වහලලු පුතේ. මං අනිද්දට ගෙනත් දෙන්නම්කො. මෙන්න මං පුතා ආසම බූන්දි ගෙනාවා. මේකත් අරන් ගිහින් කාලා සෙල්ලම් කරන්න.. " මෙතෙක් වේලා කළු වලාවක් සේ දිස් වුණු මුදිතගේ මුහුණෙහි ඇඳුණු සතුටු සේයාව දුටු පත්මසිරි, ආරූඪ කරගත් සිනහව අසුරු සැණෙකින් වියැකී ගියේ ඊළඟ මොහොතෙහි සිතට නැඟුණු සිතුවිල්ල නිසාවෙනි. එනම්, “තව කොපමණ දිනක් පුතුට බොරු කිව යුතුද ? ”යන්නයි.
................................................................
" මොකෝ ඒයි කල්පනා කරන්නෙ කෑම එක අතගගා..? ඕක කාලා ඉන්නකො. "
තම සැමියාගේ නිහඬ බව නොඉවසූ ශ්‍රියාලතා ඇසුවේ හොදි දීසිය ඔහු වෙතට ළං කරමිනි.
" එපා ශ්‍රියා, මේ ඇති මට. මේ... දෙයක් කියන්න තියෙනවා. "
" අර මොකක්ද කියන්න තියෙන්නෙ ? " " මං තීරණය කළා හවසට පොඩි ජොබ් එකකට යන්න. "
" මොකක් ? දවස තිස්සෙම මැරිලා මැරිලා හවසට කොහොමද පත්මෙ ඔයා තව රස්සාවක් කරන්නෙ ? "
පත්මසිරිගේ ප්‍රකාශයෙන් වික්ෂිප්ත වූ ශ්‍රියාලතා විමසුවේ බිඳුණු හඬකිනි.
" වෙන මොනවා කියල කරන්නද ශ්‍රියා.. ? කොල්ලා හැමදාම අඬනවා කැරම් බෝඩ් එකක් ඉල්ලලා. මං අද ලොක්කගෙන් ඇඩ්වාන්ස් එකක් ඉල්ලුවා. ගත් කටටම කිව්වේ බෑ කියලා. අනික් අතට මේ මාසෙම ඇඩ්වාන්ස් කීයක් කියල ගත්තද?"
" හ්ම්ම්.. මහ අමාරු කාලයක් මේක නම් අපිට. ඉතින් මොකක්ද ඔය යන්න හදන රස්සාව ? "
තම බිරිය දෙස බලා දිගු හුස්මකින් ළය සැහැල්ලු කරගත් පත්මසිරි, පිඟානෙහි ඉතිරිව වේලී තිබූ බත් ඇට පොඩි කරමින් වචන ගළපන්නට විය.
" මතකද ටවුමෙ අලුතෙන් දාපු යකඩ ගබඩාව ? අන්න ඒකට දවසෙ කුලියට, “ තාවකාලික මුරකරුවන් ඕනෙ” ය කියල බෝඩ් එකක් අලවලා තිබ්බා. මං හෙට රෑට යනවා ඒකෙ වැඩට. අනිද්දා එන්නම් කොල්ලට කැරම් බෝඩ් එකකුත් අරන්. "
පත්මසිරිගේ වචන හී තුඩු මෙන් ශ්‍රියාලතාගේ හදවත තුවාල කරන්නට වූ අතර නොදැනුවත්ම තම දෙනෙත් අගින් ගැලූ කඳුළු බිඳු තම සැමියාට හොරෙන් පිසදා හැරීමට ඇය අසාර්ථක උත්සාහයක් ගත්තාය.
" ශ්‍රියෝ අඬන්නෙපා මයෙ මැණිකෙ. ඔයයි දරුවයි සතුටින් තියන්න මට කරන්න බැරි දෙයක් නෑ. නාඬා ඉන්න. අපිට බැරි වුණාට සැප විඳින්න අපෙ දරුවන්ට දුක දෙන්න ඕන නෑ. මං හෙට ගිහින් අනිද්දට එන්නම්. කොල්ලත් එක්ක පරෙස්සමට ඉන්න. "
දෙදිනක් ගත විය. මුදිත එදින පාසල් ගියේ වෙනදාටත් වැඩි උද්‍යෝගයකිනි.
මන්ද, එය තමා ආසාවෙන් බලා සිටි කැරම් බෝඩය ගෙන අප්පච්චි පැමිණෙන දිනය බව ඔහු දැන සිටියේය.
පාසල නිම වී ගේට්ටුව අසලට පැමිණි මුදිත වෙනදා මෙන් තම මව නොදුටුවේය. ඒ වෙනුවට එහි සිටියේ තම නැන්දාය.
" නැන්දෙ.. කෝ අපෙ අම්මා ? "
" අම්මට උණ හැදිලා ඉස්පිරිතාලෙ අරන් ගියානෙ. මට කිව්වා ඔයාව එක්කරගෙන අපෙ ගෙදර යන්න කියල.."
" එතකොට අප්පච්චි ? "
" අප්පච්චි වැඩ ඇරිලා එන්නෙ හවසටනෙ පුතේ. අපේ ගෙදර ගිහින් නාලා, කාලා, අක්කලා එක්ක සෙල්ලම් කරමු. හරිද ? "
" අදවත් එයාලා මාව කැරම් ගහන්න ගනියිද නැන්දෙ ? "
" මයෙ පුතාව ගනියි එයාලා. ගත්තෙ නැත්තන් නැන්දා බලාගන්නම්කො. "
නැන්දාගේ නිවෙසට පැමිණි මුදිතට එදින අමුතුම දිනයක් විය. පෙර නොවූ ලෙස ඔහුට සැමගේම අවධානය ලැබෙමින් තිබූ අතර හිතේ හැටියට කැරම් සෙල්ලම් කළ ඔහුගේ සිත ප්‍රීතියෙන් උදම් වී තිබිණි.
" අක්කේ... අද අප්පච්චි එද්දි මට කැරම් බෝඩ් එකක් ගේනවා කිව්වා. ඒක ගෙනාවම ඔයාලත් සෙල්ලම් කරන්න අපේ ගෙදරට එන්න. "
මුදිතගෙ ප්‍රීතිමත් හඬ නිවෙසේ වූ නිහඬතාව බිඳිමින් දසත පැතිරෙන්නට විය. එක්වරම නිවෙස ඉදිරිපිට නැවත්වූයේ ත්‍රිරෝද රථයකි. එයින් බට ශ්‍රියාලතා, නිවෙස තුළ සිටි මුදිත දැක මහ හඬින් හඬමින් පැමිණ ඔහුව වැලඳගත්තාය.
" අනේ මයෙ රත්තරන් පුතේ... මයෙ පුතාට කැරම් බෝඩ් එකක් ගේන්න ගිය අප්පච්චි ආයෙ එන්නෙ නෑ මයෙ පුතේ. අප්පච්චි අපි දෙන්නවම දාලා ගිහින් රත්තරන් පුතේ... " කුඩා වුවද සිදුව ඇති දෙය වටහාගැනීමට තරම් දැනුමක් මුදිත සතු විය. ශ්‍රියාලතාගේ කඳුළු ගංගාවට මුදිතගේ කඳුළු බිඳු එක්වීමට ගත වූයේ සුළු මොහොතකි. දෙදෙනාගේ විලාපය අවට වූවන්ගේ ද නෙත් කඳුළින් තෙත් කරවීමට සමත් විය.
දින ගෙවී ගියේ අවමඟුලේ සියලු වැඩ ද අවසන් කරවමිනි. අප්පච්චිව දැමූ පෙට්ටිය වළට දමා පස් අහුරු දැමූ අයුරු කුඩා මුදිතගේ මනසෙහි තැන්පත් වී තිබුණේ කිසිදා වියැකී නොයන පරිද්දෙනි. පෙට්ටිය බිඳගෙන හෝ අප්පච්චි නැවත තමා වෙතට පැමිණෙතැයි මුදිත තුළ දැඩි විශ්වාසයක් විය. ඔහු සෑම දිනකම අප්පච්චි පැමිණෙන තෙක් පෙර මඟ බැලුවේය.
දිනක් නිවෙසට පැමිණි පිරිසක් මුදිතට කුඩා කැරම් බෝඩ් එකක් ගෙනැවිත් තිබිණි.
" මුදිත පුතා, ආ මෙන්න අපෙන් තෑග්ගක්. මේකත් අරන් ඇතුළට ගිහින් සෙල්ලම් කරන්නකෝ.. "
මුදිතගේ දෙනෙත් සතුටින් පිරී ගියද ඒ සුළු මොහොතකට විය. ඔහුගේ දෙනෙත් ඉදිරියේ නැවතත් අප්පච්චිගේ මුහුණ මැවෙන්නට වූ අතර කිසිවක් නොපවසමින් දෝතට ගත් කැරම් බෝඩය ද සමඟ ඔහු කාමරය තුළට ඇදෙන්නට විය. තම ඇඳ මත කැරම් බෝඩය තැබූ ඔහු කැරම් ඉත්තන් ගෙන ඒ මත අතුරන්නට පටන් ගත්තේ හැඟීමකින් තොරවය. නිවෙසට ආ පිරිස තම මව සමඟ කෙරෙන කතා බහා අතරින් පතර ඔහුගේ දෙසවනට ද ඇසෙන්නට විය.
" ශ්‍රියාලතා අක්කෙ... මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ ? "
" මල්ලිලා දන්නවනෙ, පුතාට කැරම් බෝඩ් එකක් ගේන්න ඕනය කියල අයිය සිකුරිටි ජොබ් එකට ගිය වග. එදා රෑ කවුදෝ මන්දා කට්ටියක් ගබඩාවෙන් යකඩ හොරකම් කරන්න ඇවිල්ලා. අයියා විරුද්ධ වෙලා. අන්තිමට උන් අයියව... "
ශ්‍රියාලතාගේ හඬ වියැකී ගොස් ඉකිය මතුවන්නට වූ අතර නෙත්වලින් දිය නොනවත්වාම ගලන්නට විය.
" ශ්‍රියා අක්කා අඬන්න එපා දැන්. අයියා කාටවත් කරදරයක් නොකරපු මනුස්සයෙක්. එයා හොඳ තැනක ඇති. මේ කොල්ලා කැරම් බෝඩ් එකක් ඉල්ලලා කරදර කළේ නැත්තන් පත්මෙ අයියා අදටත් යහතින්... "
ගත වූයේ සුළු මොහොතකි. කාමරයෙන් ඇසුණු 'දඩහ්.. දඩහ්..' ශබ්දය හමුවේ සියල්ලෝම එහි දිව ගියෝය. කාමරය මැද බිම, අලුත ගෙන ආ කැරම් බෝඩය කෑලි කෑලි වී තිබුණු අතර පසෙකින් වූයේ ඒ දෙස කෝපයෙන්, කඳුළු සලමින් බලාසිටිනා කුඩා මුදිතය.
*************
" යකෝ මේකගේ මනෝ පාරේ තරම.... ඇහැරියන් මිනිහෝ. ඉක්මනට ගහපන් ඔය ඉත්තට.. "
උස් හඬින් ඇසුණු තම මිතුරන්ගේ හඬින් පියවි සිහියට පැමිණි මුදිත මවාගත් සිනහවකින් යුතුව ඔවුන් දෙස බැලුවේය.
“මේ කොල්ලා කැරම් බෝඩ් එකක් ඉල්ලලා කරදර කළේ නැත්තන් පත්මෙ අයියා අදටත් යහතින්...”යන වචන පෙළ මුදිතගේ දෙසවන් තුළ දෝංකාර දෙමින් තිබුණු අතර, නොදැනුවත්වම වැටුණු කඳුළු බිඳු කිහිපයක් කැරම් බෝඩයේ ලෑල්ල තෙමා ඇති බව ඔහුගේ දෑතට දැනුණි.