පෙම්වතිය බලන්න යන්න බසයක් ඉස්සූ වයස 17පෙම්වතා | Page 3 | සිළුමිණ

පෙම්වතිය බලන්න යන්න බසයක් ඉස්සූ වයස 17පෙම්වතා

සැකකරු ඇප මත මුදාහරී


මීට කලිනුත් බසයක් සොරකම් කරලා

 

“මං දැං ඩ්‍රැයිවින් කරන්නෙ. ඉන්නකො මං දවසක මම වැඩ කරන බස් එකෙන්ම එන්නංකො ඔයාව බලන්න...“ ගැටවර වියට එළඹෙමින් සිටින මේ පෙම්වතා සිය පෙම්වතියට තුරුලු වෙමින් පවසන්නේ තමන් තරමක හෝ වැඩකාරයෙකු බව පෙම්වතියට පෙන්වීම සඳහාය.

“ඔය ඇත්තටමද කියන්නෙ? එහෙනං ෂෝක්නෙ...“ පෙම්වතියගේ මුවින් පිටවන්නේ එවැනි වදන් පෙළකි. ඒ වචන කන වැකුණු ඇගේ මුව පුරා ඇදී ගිය සිනාව දාහත් හැවිරිදි පෙම්වතා තව තවත් දිරිමත් කළේ ඇගේ පවුලේ අය ද ඔහු දින දින දියුණු වන අයුරු දැකීමට ඇඟිලි ගනිමින් සිටින නිසාය. රිය සහායකයෙකු ලෙසට බස් රථයක රැකියාව කරන මේ පෙම්වතාට උවමනා වී තිබුණේ පෙම්වතිය ඉදිරියේ වීරයෙකු වීමටය.

අට වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු මේ ‘ගැටයාට‘ ඉහළට ඉගෙන ගැනීමට අවස්ථාව අහිමි වූයේ පවුලේ පැවති නොයෙකුත් අගහිඟකම් මෙන්ම ගැටලු නිසාය. තවමත් අධ්‍යාපනය ලබමින් සිටින පෙම්වතිය ඉදිරි දිනයක ‘අහක‘ බලාවි යැයි සිතා පෙම්වතාගේ හිතේ සැකයක් ඇති වී තිබිම අරුමයක් නොවේ. මේ නිසා ඔහුට උවමනා වි තිබුණේ නිතරම ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයින් ඉදිරියේ ‘ඉහළින්‘ සිටීමටය. යතුරුපැදියකින් යනවාට වඩා බස් රථයක් ධාවනය කරගෙනම පෙම්වතිය බැලීමට යාමෙන් යම් කිසි පිළිගැනීමක් ඇති වේ යයි මේ ළාබාල පෙම්වතාට සිතෙන්නට ඇත.

තමා හමුවන ලෙසට පෙම්වතියගෙන් පෙම්වතාට ඇමතුමක් ලැබෙන්නේ ඔය අතරය. ඇය හමු වීමට ඇගේ නිවෙසට යාමට රාත්‍රි 8.00 පමණ පිළියන්දල නව බස් නැවතුම්පොළට පැමිණි පෙම්වතා බස් රථයක් තිබේදැයි බැලුවත් මොරගහහේන දක්වා ධාවනය වන බස් රථයක් සොයා ගැනීමට හැකි වුයේ නැත. කෙසේ හෝ මේ ගමන යා යුතුය. ඔහු ඒ සඳහා ‘උපාය‘ක් කල්පනා කරමින් සිටියේ නොගියොත් ඇය අමනාප වේ යැයි සිතමිනි.

පිළියන්දලින් ගමන් වාර ආරම්භ කරන පෞද්ගලික බස් රථ හතරක් ගාල් කර තිබෙන බව ඔහු දුටුවේ මේ අතරය. දොර දෙකේ මෙම බස් රථ අගුළු ලා රියැදුරන් පිටතට ගොස් සිටියත් එක බස් රථයක් තිබුණේ දොරගුළු විවරව තබාය. ඊට ගොඩ වූ පෙම්වතා වටපිට බලන විට අමතකව ගිය බසයේ යතුර ද ඇස ගැටීමෙන් ඔහුගේ ඉහේ මල් පිපුණු අතර බසය පණ ගන්වා ගත් ඔහු ‘ඉගිල‘ ගියේ මොරගහහේන බලාය. ඒ පෙම්වතිය ඉදිරියේ පෙනී සිටීම සඳහාය.

ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවති දිනයේ අවසන් හෝරාව ළඟා වෙමින් තිබු මොහොතයි. කවුරුත් පුල පුලා බලා සිටියේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් තරගයේ උණුසුම්කාරි තත්ත්වය දැක බලා ගැනීමේ නොතිත් ආශාවෙනි.

බස් රථ හතර ගාල් කළ රියැදුරන් පිරිසට ද උවමනා වී තිබුණේ තරගයේ ජය පරාජය කෙසේ වේදැයි දැන ගැනීමටය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇතැයි සිතමින් ඔවුන් පසුවුයේ එය දැක බලා ගැනීමේ ආශාව පෙරදැරිවය. මේ නිසා බස් නැවතුම්පොලේ අයිනකට වී අත ඇති ජංගම දුරකනවලින් හිතේ හැටියට ක්‍රිකට් තරගය නැරඹු රියදුරන් සිව් දෙනා රාත්‍රී ආහාර ගැනීමට පිළියන්දල, මිරිස්වත්ත හන්දියට ගොස් අනතුරුව බස්රථ ගාල් කළ ස්ථානයට පැමිණියේ නින්දකට මුල පිරීම සඳහාය. ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයෙන් මත් වී සිටි ඔවුන්ට දෙවියන් සිහි වුණේ එක බස් රථයක් අතුරුදන්ව ඇති බව දැන ගැනීමෙන් පසුවයි. ඒ පිළියන්දල කළුබෝවිල මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයයි. කලබල වූ ඔවුන් බස් රථය සොයමින් හතර අතේ ඇවිදින්නට වූයේ අවට අයගෙන්ද මේ ගැන විමසන අතරය. ගාල් කර තිබු ලංගම බස් රථයක රියදුරු මහතෙකු පැවසුවේ එම බස් රථය කිසිවෙකු විසින් ධාවනය කරගෙන කැස්බෑව දෙසට යන බව දුටු බවය. ඔවුන් පොලිසියේ සහය පැතුවේ එවිටය.

මෙම පැමිණිල්ල පිළියන්දල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් ලියනගේ වෙත ලැබෙන්නේ මේ අනුවය. “වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න. වටේම පොලිසිවලට දැන්මම මැස්ජේ යවන්න...“

ප්‍රධාන පොලිස් පරීක්ෂක විශ්වනාත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි, උප පොලිස් පරීක්ෂක මුදිත, සැරයන් 53659 ප්‍රසන්න, 30859 අනුරුද්ධ, කොස්තාපල්වරුන්වන 24333 අතපත්තු යන නිලධාරින් පොලිස් කොස්තාපල් රියදුරු 25735 වීරකෝන් ධාවනය කළ පොලිස් ජීප් රථයට ගොඩ වූවේ ස්ථානාධිපතිවරයා සමඟ බස් රථය සොයා ගැනීමේ මෙහෙයුම සඳහාය.

බස් රථය රැගෙන ගොස් තවමත් ගත වී ඇත්තේ පැය තුනක් වැනි කෙටි කාලයක් පමණි. අවට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර හමාරය. කොල්ලකරුට පොලිස් ඇසට වැලි ගසා ගැලවී යාමට කිසිදු ඉඩක් ඇත් නම් එය මුසාවකි. පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූවේ විදුලි වේගයෙනි. පොලිස් ජීප් රථය ගමන් කරන්නේ පවනට බදු වේගයෙනි. වේලාව අලුයම 12 . 20 පමණ වී තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් ලියනගේ ගමන් ගත් ජිප් රථය බණ්ඩාරගම දෙසට ඉදිරියට ගමන් කරමින් තිබුණේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදීය. එවිට කොට්ටාව කලර් ලයිට් එක ආසන්නයේදී දුටුවේ ‘පිළියන්දල කළුබෝවිල‘ යනුවෙන් සඳහන් නාම පුවරු සහිත පෞද්ගලික බස් රථයක් ඉදිරියට පැමිණෙන බවය.

“මේක තමයි ඔය කියන බස් එක... කට්ටියම ලෑස්ති වෙන්න...“ තම ජිප් රථය ආපසු හරවා ගත් ස්ථානාධිපතිවරයා බස් රථය පසු පස හඹා ගියේ රියැදුරු අල්ලා ගැනීම සඳහාය. වැඩේ වැරදුණු බව වටහා ගත් පෙම්වතා මාර්ග බාධකයදී බස් රථයෙන් බැස දිව යන්නට වුයේ සිදු කර ඇති වරද ගැන දන්නා නිසාය. එහෙත් ඔහුට ගැලවී යාමට ස්ථානාධිපතිවරයාගෙන් ඉඩක් ලැබුණේ නැත. මේ බරපතළ වරද සිදු කර ඇත්තේ ඇබිටිල්ලන් කොල්ලෙකු බව දුටුවේ ඔහු පසු පස එළවා ගොස් අල්ලා ගැනීමෙන් පසුවය. යන්තම් දැලි රැවුල වැවී ගෙන එන මේ ගැටයා සිදුකර ඇති හපන්කම ගැන හරියටම දැන ගත්තේ පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමෙන් පසුවය.

මත්තේගොඩ ප්‍රදේශයේ වෙසෙන දාහත් හැවිරිදි මේ කොල්ලා පිළියන්දල නගරයේ සිට කි.මී. 20ක් පමණ දුර ගෙවා ගෙන මොරගහහේන ප්‍රදේශයට ගොස් ඇත්තේ තම 15 හැවිරිදි පෙම්වතිය දැක වචනයක් කතා කිරීම සඳහාය. ඔහුගේ පියා රැකියාව කරන්නේද බස්රථ රියැදුරෙකු ලෙසය. මොහුට ද හොඳින් රිය ධාවනය කිරීමේ හැකියාව තිබෙන බව සහතිකය. මීට පෙරද පසු ගිය වසරේදි හෝමාගම ප්‍රදේශයේ බස් රථයක් සොරා ගෙන පෙම්වතිය බැලීමට ගොස් මිතුරන් සමඟ එම බස් රථයෙන් කතරගම ගොස් සිට නැවත තිබුණ ස්ථානයට ගෙනවිත් දමා තිබෙන්නේ දින තුනකට පසුවය. එයින් පෙනෙන්නේ ඔහුට එය සොරකම් කිරීමට කිසිදු උවමනාවක් නොමැති බවය. මෙවර ද ඔහු සොරා ගත් බස් රථය පෙම්වතිය බැහැදැකීමෙන් පසුව නැවත පැමිණෙමින් සිටියේ බස්රථ ගාලේ තබා යාමට විය හැකිය. මිතුරන් ඉදිරියේ හා පෙම්වතිය ඉදිරියේ තමන් වැඩකාරයෙකු බව පෙන්වීමට මෙවැනි වීර ක්‍රියා සිදු කිරීමට ඔහු පෙලඹී ඇතත් එයට සමාවක් නම් දිය නොහැකිය.

පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ බස්රථවල සහායකයෙකු ලෙස ‘පාර්ට් ටයිම්‘ රැකියාව කරන මේ ගැටයා උපයන මුදල තම මව අතට ලබා දෙන බවය. පියාගේ අඩන්තේට්ටම් හමුවේ අසරණ වී සිටින මවට ඔහු බෙහෙවින් ආදරය කරන අතර ඔහුට හැකි අයුරින් මවට සලකා නිසි රැකවරණය ලබා දීමටද කටයුතු කරන බවය. පොලිසිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිණි.

 

Comments