මහත්තයාට හොරෙන් මම පුතාව මැච්වලට එක්කගෙන ගිය දවස් තිබුණා | සිළුමිණ

මහත්තයාට හොරෙන් මම පුතාව මැච්වලට එක්කගෙන ගිය දවස් තිබුණා

 

ටෙස්ට් හිස් වැසුම කෙසේ හෝ හිසට දමා ගැනීම බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිහිනයකි. ඒ සිහිනය පසුපස හඹා ගොස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වාර්තාවක් තබන්නට තරම් ගතට ශක්තිය ගත් ඔහු ගැන මේ දිනවල බොහෝ දෙනකු කතා කරති. ඒ, අන් කිසිවකු නොව ප්‍රභාත් ජයසූරියයි. පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා පකිස්තාන ටෙස්ට් තරගාවලියේ කඩුලු 29ක් ලබා ගත් ඔහු පකිස්තාන තරගාවලියේ වීරයා වීමටත් වාසනාවන්ත විය. ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට කලින්ම නම ඇතුළත් කර ගත් ප්‍රභාත් ජයසූරිය ගැන පැවසීමට ඔහුගේ ආදරණීය මව, සුදර්ශනි පෙරේරා සිළුමිණ සමඟ පිළිසඳරකට එක් වුවාය.

“ප්‍රභාත් පවුලේ දෙවැනියා. එයාට වැඩිමහල් අක්කා කෙනෙක් වගේම මල්ලී කෙනෙක් ඉන්නවා. මල්ලී අශේන් පුතත් ක්ලබ් මැච් සෙල්ලම් කළා. කොරෝනා නිසා ක්ලබ් මැච් නතර වුණ නිසා එයා ක්‍රිකට්වලට සමු දුන්නා. නමුත් ප්‍රභාත් පුතා ආර්ථික ප්‍රශ්න මැද වුණත් උනන්දුවෙන් කැපවිමෙන් එයාගේ ගමන ගියා“.

ප්‍රභාත් උපදින්නේත් හැදී වැඩෙන්නේත් මාතලේ නම් සුන්දර ගම් ප්‍රදේශයේය. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ සහජ හපන්කම් නිසාවෙන්ම කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුවේය.

“මාතලේදී පුතාගේ පුහුණුකරු වුණේ ජගත් වසන්ත සර්. ඊට පස්සේ පුතාගේ දක්ෂතා දැකලා එයාට ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වෙන්න ලැබුණා. 13න් පහළ සිට 19 පහළ දක්වා පුතා පාසල් දෙක නියෝජනය කරමින් ක්‍රීඩා කළා. ලුම්බිණියේදී පුතාගේ පුහුණුකරු වුණේ දිනේෂ් වීරසිංහ සර්.

පුංචි කාලේ ඉඳලා ප්‍රභාත් පුතා හරිම කීකරු දරුවෙක්. බෝලයක් අතට අහු වෙන්න බැහැ අත කරකවලා බෝලේ දානවා. ඇත්තටම කිව්වොත් පුතා පාසලේදී අධ්‍යාපනයට වඩා ක්‍රිකට්වලට මුල් තැන දුන්නා. එයාගේ එකම අරමුණ වුණේ ක්‍රිකට් ගහන එකයි.”

එසේ කී ප්‍රභාත්ගේ මව ඔහුගේ කුඩා වියේ මතක අවදි කරන්නට වූවාය.

“අයියයි මල්ලියි දෙන්නා පුංචි කාලේ ටී.වී එක දාගෙන රෙස්ලින් බලනවා. ටිවී එක ළඟ හිටපු ළමයි දෙන්නව හොයද්දි දෙන්නා කාමරේ දොරත් වහගෙන රෙස්ලින් ක්‍රීඩා කරනවා. බ්‍රිස්ල්බෝඩ් ගෙනල්ලා රෙස්ලින් පටිය හදාගෙන ජයග්‍රහණය කරන කෙනාට ඒක දෙනවා. දෙන්නා ගහගෙන රිදුණත් අඬන්නේ නැහැ. කෙඳිරි ගාන සද්දේ විතරයි ඇහෙන්නේ. රෙස්ලින් ක්‍රීඩකයන්ගේ ඇක්ෂන් දානවා. අපි හරි විනෝද වුණා ඒවා දැකලා. ඒවා නතර කරන්න ගියෙත් නැහැ. නමුත් ක්‍රිකට්වලට තමයි යොමු වුණේ..“

ප්‍රභාත්ගේ තාත්තා එම්. ජී . ජයසූරිය... එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ ප්‍රභාත් ක්‍රිකට් සෙල්ලම් කරනවට. එයා බය වුණා ක්‍රිකට් ගහලා අධ්‍යාපනය අඩාල කරගෙන අනගතයක් නැති වෙයි කියලා. මහත්තයාට හොරෙන් මම ප්‍රභාත් පුතාව මැච්වලට එක්කගෙන ගිය දවසුත් තිබුණා. දැන් නම් මහත්තයා පුතා ගැන හරියට සතුටු වෙනවා. පුතා ක්‍රිකට් නිසා හරියට දුක් වින්දා. එයා කොළඹ ගියේ අවුරුදු 17න්. ඉගෙන ගන්න ගමන් සෙල්ලම් කරන්න අමාරුයි. ආර්ථික ප්‍රශ්න වගේම ඉන්න හරියට තැනක් තිබුණේ නැහැ. විවාහ වෙනකල්ම පුතා තැන් තැන්වල නතර වෙලා එයාගේ අරමුණුවලට ගියා. දිනේෂ් වීරසිංහ සර් තමයි පුතාට ගොඩක් උදවු කළේ. මොන දේ වුණත් පුතා එයාගේ අරමුණට ගියා. ඒකට එයාගේ බිරියටත් ස්තූති කරන්න ඕන. අපෙන් පස්සේ පුතාව හරි පරිස්සමෙන් බලාගෙන එයාට ඕන නිදහස දීලා එයාව බලා ගන්න එක ගැන හරි සතුටුයි..“

ඒ අතීතාවර්ජනයෙන් පසුව ඇය හඬ අවදි කළේ ඉකුත් දා නිමාවට පත් වු ටෙස්ට් තරගාවලිය ගැනයි.

“පුතා ගාල්ලේ යන ගමන් කෝල් කරලා කිව්වා “අම්මේ මම ගාල්ලේ යනවා ඊළඟ ටෙස්ට් මැච් එකට, සමහර විට මට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි” කියලා. ගාල්ලේ ගිහින් රෑ කෝල් කළා “අම්මේ මම හෙට සෙල්ලම් කරනවා” කියලා. එදා අපි හරියට සතුටු වුණා. අපි රූපවාහිනීයෙන් තමයි මැච් එක බැලුවේ. ලයිව් බලන්න යන්න බැරිවුණා තෙල් ප්‍රශ්නෙ නිසා. බෞද්ධයන් විදිහට අපි නැකත් ගැන ටිකක් විශ්වාස කරනවා. පොඩි කාලේ පුතාගේ හඳහන බලද්දී කියලා තිබ්බා එයා කොහේ ගියත් මුල් තැන ගන්නවා කියලා. නමුත් ඒ ක්‍රීඩාවෙන් කියලා කිව්වේ නැහැ. මවුපියන් හැටියට පුතාගේ මේ සාර්ථකත්වය දකිද්දි අපිට තවත් මොන සතුටක්ද කියලා හිතෙනවා.”

ප්‍රභාත්ගේ ආදරණීය මව එසේ පැවසුවේ ඔහුගේ විවාහ උත්සව බෞද්ධ චාරිත්‍ර අනූව මෙන්ම ක්‍රිස්තියානි ආගමික වතාවත් අනුවත් සිදුවූ බව මතක් කරමිනි.

රනීෂා මිරැන්ඩෝ ප්‍රභාත්ගේ ආදරණීය ප්‍රියම්භිකාවයි. සිය මවුපියන් සමඟ මීගමුවේ ජීවත් වූ ඇයට එක් සහෝදරයෙක් සිටියි. රනීෂාට ප්‍රභාත් මුණගැසෙන්නේ අහම්බයකින් වුවත් ඔවුන්ගේ විවාහය සාංසාරික බැඳීමක් විය හැකිය.

“ප්‍රභාත්ව මම මුලින්ම හදුනා ගන්නේ ෆේස්බුක් එකෙන්. අපි චැට් කරලා එකිනෙකා හඳුනාගෙන හිටියේ. මම මීගමුවේ වුණාට ජොබ් එක කළේ වත්තල. වත්තල සුපර් මාකට් එකකදි ප්‍රභාත්ව දැක්කා. අපි එකිනෙකා දැනගෙන හිටපු නිසා එතනදි කතාබහ කළා. ඒ තමයි මුල්ම හමුවීම. එදා ඉඳලා දිගටම අපි කතා කළා. ඒ වෙද්දී එයා ක්ලබ් සෙල්ලම් කරනවා. එයා මට කියලා තිබ්බා එයා ක්‍රිකට් ගහනවා කියලා. ඒත් මට ඒක එච්චර දැනුණේ නැහැ. මොකද අපේ පවුලේ කවුරුත් ක්‍රිකට් ගැන උනන්දුවක් නැති නිසා. 2015 සැප්තැම්බර් මාසේ අපි ආදරය කරන්න පටන් ගත්තා.”

ඉන්අනතුරුව ඔවුන්ගේ ආදර කතාව ගලාගෙන ගිය අයුරු රනීෂා අප සමඟ පැවසුවාය.

“ඒ කාලේ ප්‍රභාත් ජොබ් කරන ගමන් තමයි ක්‍රීඩා කළේ. නමුත් ඒවා ස්ථිර නැති නිසා අපේ ගෙදරින් සම්බන්ධයට විරුද්ධ වුණා. අපේ කවුරුත් ක්‍රිකට් ලෝලීන් නෙමෙයි. ක්‍රිකට් මැච් බැලුවේ ප්‍රභාත් නිසා. ඒ ගැන කාටවත් අවබෝධයක් තිබ්බේ නැති නිසා මම ප්‍රභාත් එක්ක විවාහ වෙනවට අපේ ගෙදරින් කැමති වුණේ නැහැ. නමුත් අපි දෙන්නා ස්ථිර තීරණයක හිටියා. මම ජොබ් එකක් කරපු නිසා ප්‍රභාත්ගේ රැකියාව මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ලොකුවට අනාගතේ ගැන හිතුවෙත් නැහැ. එහෙම ඉන්නකොට අපේ ගෙදරින් තේරුම් ගත්තා මේ සම්බන්ධය නතර කරන්නේ නැහැ කියලා. අවසානයේ එයාගේ ගෙදරින් අපේ ගෙදර ඇවිත් අම්මා තාත්තා එක්ක කතාබහ කළා. දෙපැත්තේම ආශිර්වාදය එක්ක 2018 වර්ෂයේ ජූලි 21වැනිදා අපි විවාහ වුණා. අපිට වයස අවුරුදු තුනක දුවෙක් ඉන්නවා. එයා, තිවෝන් ඩියෑනා. බබා ලැබුණු නිසා මම ජොබ් එකෙන් අයින් වුණා. දැන් ගෘහණියක් විදිහට වැඩකටයුතු කරගෙන ජීවත් වෙනවා“

ප්‍රභාත් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වන්නේ ද සිය විවාහයෙන් පසුවය. ඒ, 2018 වර්ෂයේ එක් දින තරගයකදීය. එහෙත් එම තරගාවලියේදී ඔහුට දක්ෂතා දැක්වීමට නොහැකි විය.

“ජාතික කණ්ඩායමට එකතු වුණාට ප්‍රභාත්ට දක්ෂතා දක්වන්න බැරි වුණා. අවස්ථා කිහිපයකදී ආබාධයට ලක් වුණා. ඒ නිසා එයා හිටියේ හරිම වේදනාවකින්. නමුත් කවදාවත් ඒ වේදනාව, පසුතැවීම, මානසික පීඩනය මට පෙන්නුවේ නැහැ, මම දුක් වෙයි කියලා. නිතරම කිව්වේ කොහොම හරි ටෙස්ට් ගහන්න ඕන කියලා. ගෙදර එන්නේ ක්‍රිකට් ගැන අමතක කරලා. අපි දෙන්නා ඒ ගැන කතා කරන්නේ නැහැ. මට අවබෝධයක් නැති නිසාද දන්නෙත් නැහැ. මම නොදන්න දෙයක් එයත් එක්ක කතා කරන එක තේරුමක් නැති නිසා මම කතා කරන්නෙත් නැහැ. නමුත් එයා මානසිකව වැටිලා ඉද්දි මට තේරෙනවා. මම එයාගේ අම්මා එක්ක කතා කරලා තමයි මගේ දුක තුනී කරගන්නේ. කොහොම නමුත් ඒ වගේ කට්ටක් කාපු ප්‍රභාත් එයාගේ අරමුණට ගිය එක ගැන බිරිය විදිහට මට ලොකු සතුටක් තියෙනවා. ක්‍රිකට් ගැහුවත් නොගැහුවත් එයා මට මගේ ප්‍රභාත්ම තමයි...“

රනීෂාගේ වදන් තුළ ඇත්තේ ඔහු කෙරෙහි වන අසීමිත ස්නේහයයි. ආදරය සීමා මායිම්, ප්‍රශ්න, බාධක හඳුනන්නේ නැති බවට ඒ සෙනෙහස සාක්ෂි දරයි. ප්‍රේමයෙන් සියල්ල දරාගෙන මෙතෙක් ඔහු සමඟ ආ ගමන් මඟ කොතරම් කටුක වුවත් එය සතුටින් භාර ගත් ඇයට අද සිය සැමියා ගැන ඇත්තේ අපරිමිත සතුටකි.

“අම්මා කිව්වා වගේ එයාට මුලින් ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ප්‍රශ්න නොතිබ්බා නම් ප්‍රභාත් අද මීට වඩා හොඳ තැනක ඉන්න තිබ්බා. කොහොම නමුත් එයාට ලැබුණු අවස්ථාවෙන් එයා උපරිම ප්‍රයෝජනය ගත්තා. ටෙස්ට් මැච් එකට තේරෙද්දි එයා හිටියේ ක්ලබ් මැච් එකක හිටියේ. එදා එයා විකට් හතක් අරන් තිබ්බා. මම මැච් බලන්න බයයි. ඒ නිසා ක්‍රික් ඉන්ෆෝ ගිහින් සැරින් සැරේට බලනවා. එහෙම බලද්දී තමයි දැනගත්තේ විකට් හතක් අරන් කියලා. ක්ලබ් මැච් පහාමාර වෙද්දී ඉවරයි. මම කෝල් කරලා එයාට විෂ් කළා. එතකොට තමයි කිව්වේ සමහර විට මට ගාල්ලේ යන්න වෙයි ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එකට. ඇඳුම් බෑග් එක ලෑස්ති කරලා තියන්න කියලා. අද රෑ යන්නත් පුළුවන් නැත්නම් හෙට යන්න වෙයි කියලා. මම බෑග් එක ලෑස්ති කරලා තිබ්බා. ඒක මම එච්චර ගනන් ගත්තේ නැහැ, කලින් අවස්ථා කිහිපයක් මගහැරුණු නිසා. එයා පහුවදා ගාල්ලේ ගියා. මැච් එකට ගහනවා කිව්වා. එතකොට සතුටු හිතුණා. ඒ වුණාට හරිම බයෙන් දෙවියන්ට වැඳගෙන හිටියේ. මම මැච් බැලුවේ නැහැ. මම බලද්දී ප්‍රභාත් විකට් ගත්තේ නැති වුණොත් කියලා බයට. එයා ඒ ටෙස්ට් මැච්වල හොඳින් ක්‍රිඩා කළා. මැච් එකෙන් පස්සේ තමයි මම යූටියුබ් ගිහින් එයා විකට් ගත්ත කොටස් බැලුවේ..“

සිහින ලෝකය තුළ ජීවත් නොවී සිහින සැබෑ කරගත් සිය සැමියා ගැන ඇය උදම් ඇනුවේ සතුටිනි.

“ඉස්සර මම ජොබ් එක කරන කාලේ බස් එකේ ගියේ ආවේ. එයා එනවා මාව ඇරලවන්න. එතකොට එයා ක්‍රිකට් නිසා කොච්චර මහන්සි වෙනවද කියන එක මම දැක්කා. ඒ කාලේ එයාට ඉන්න හරියට තැනක් තිබ්බේ නැහැ. විවාහ වුණාට පස්සේ අපේ ගෙවල් ළගින් අපි දෙන්නා පදිංචි වුණා. ඊට පස්සේ එයාට නිදහසේ ක්‍රීඩා කරන්න වටපිටාවක් මම හදලා දුන්නා. එයා ගෙදර ඉන්නකොට එයා එක්ක මට වැඩිපුර කාලයක් ගතකරන්න ලැබෙන්නෙ නැහැ, ගෙදර වැඩයි බබාගේ වැඩයි නිසා. නමුත් අපි දෙන්නා ජිවිතේ තේරුම් අරගෙන විවාහ ජීවිතේ ගෙවනවා. බිරිය විදිහට මට ඔහුට දෙන්න පුළුවන් උපරිම නිදහස දෙනවා. උදවු කරනවා. එයාගේ කෑම බීම ගැන හොයලා බලනවා. මම හිතනවා ප්‍රභාත් අද ඉන්නේ හරි සතුටින් කියලා, එයාගේ ආසාව ඉටු කර ගත් නිසා. එයාගේ වයස තවම අවුරුදු 30යි. තව ටික කාලයක් එයාගේ දක්ෂතා පෙන්වන්න ලැබුණොත් ඒක වාසනාවක්.“

ප්‍රභාත්ගේ ආදරණීය බිරිය කතාබහ නිමකළේ සිය සැමියාට හදවතින්ම ආශිර්වාද කරමිනි.

 

 

Comments