ඉඩම් කැබැල්ලක් සොයන පදක්කම් දිනන කෑගලු දියණිය | Page 5 | සිළුමිණ

ඉඩම් කැබැල්ලක් සොයන පදක්කම් දිනන කෑගලු දියණිය

 

උපතින්ම ආබාධිතයි ක්‍රීඩාවෙන් ආබාධ පරදයි

'සමාජයේ වෙසෙන බොහොමයකගේ සිත් ආබාධ සහිත ය. කයින් කිසිදු ආබාධයක් නොපෙන්වුව ද යම් කර්තව්‍යයක නියැළෙන්නට ඉදිරියට පැමිණෙන සෑම මොහොතක ම ඔවුන් සතු ආබාධිත බව ප්‍රකාශ වන්නේ බොහෝ විට වඩාත් කැපී පෙනෙන අසාර්ථකත්වය සමඟ ය. මේ කයින් ආබාධ සහිත ව උපන්නද මනසින් අනාබාධිත වූ ක්‍රීඩිකාවක ගැන ය.'

ඈ ලිපි ලියා ඇති ප්‍රමාණය පදක්කම් දිනාගත් ප්‍රමාණය මෙන් විසි තිස් ගුණයකින් ඉහළ ය. සාධාරණ අවස්ථාවන්, පහසුකම් වැඩිකර ගැනීම කෙසේ වෙතත් මූලික පහසුකම් වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ඈ වෙහෙස වෙමින් සිටී. ඒත් බොහෝ විට ඈ වෙහෙසෙන්නේ මහපොළොවට බරක් නොවී ස්වකීය ක්‍රීඩා හැකියාවන් ප්‍රකට කරමින් අභිමානනීය ලෙස හිස කෙළින් කර ජීවත්වීම ය. එහෙත් ඇයට එය තවමත් මහා අභියෝගයක් වී තිබෙන හැඩ ය.

නමින් නිරෝෂණී කුමාරි ද සොයිසා සිරිවර්ධන වන ඇය උපන්නේම ආබාධ සහිතව ය. එහෙත් ඒ ආබාධ දෝතින් දරාගෙන පැමිණිය ද ඈ එම ආබාධයන් නොසලකා සිය හිස අනාබාධිතයකු සේ කෙළින් තබා ගැනීමට උපකාර කර ගත්තේ ක්‍රීඩාවයි.

ඒ අනුව 2004 වසරේ සිට ආබාධ සහිත ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ඇය කටයුතු කළා ය. ඒ වෙනුවෙන් ඈ රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයට බැඳී සිය ක්‍රීඩා ජීවිතය ආලෝකවත් කරගත්තීය.

මීටර් 100, 200 රෝද පුටු තරග, හෙල්ල විසි කිරීම, බර ඉසිලීම, සිටින් බෝල්, ඔරු පැදීම ආදි ක්‍රීඩාවන් වෙනුවෙන් ඈ තරග වදින්නී ය. ඈ හෙල්ල විසි කිරීමේ පුහුණුව ලබන්නේ යුද හමුදාවේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහයෝගය සහිතව ය. එහෙත් ඒ විවිධ දුෂ්කරතා සහිතවය. 'ක්‍රීඩා' පුවත්පතට වාර්තා වන ආකාරයට ඇයට ක්‍රීඩා උපකරණමය අතින්ද විශාල අපහසුතා පවතී. ඒ සම්බන්ධයෙන් කොතෙක් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් එම ගැටලු විසඳී නැත.

හැඳල, වත්තල, ප්‍රීතිපුර පිහිටි ළදරු නිවාසයේ නේවාසිකව සිටිමින් ඈ සිය ක්‍රීඩා පුහුණු කටයුතුවල නියැළෙයි. ඊට ඇයට සහය දෙන්නේ එම ළමා නිවාසයේ පාලිකාවගේ කාරුණික-ත්වය හේතුවෙනි. එහෙයින් නිරෝෂණී කුමාරි ප්‍රීතිපුර ළදරු නිවාසයේ පාලිකාවට සිය හෘදයාංගම ස්තුතිය පළ කරන්නේ ඈ තමන්ට මවක මෙන් දක්වන සහය අගය කිරීමක් ලෙස ය.

තමන්ගේ ගම කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති බවත් ක්‍රීඩා පුහුණුව පිණිස ඇති දහසකුත් එකක් දුෂ්කරතා සීමා කර ගැනීමට මෙම ළමා නිවාසයෙන් ලැබෙන සහයෝගය අමතක කළ නොහැකි බවත් නිරෝෂණී පවසන්නී ය.

ඉඹුල්ගස්දෙණිය, මාරුවක්වතුර, අශෝකගම ලිපිනයේ පදිංචිව සිටින ඈ තම පවුලේ වැඩිමලාය.

මේ වන විට අඩු පහුසකම් මැද, දැඩි දුෂ්කරතා විඳිමින් ක්‍රීඩාවේ නියැළි ඇය දිනා ඇති රන් පදක්කම් ප්‍රමාණය විශාල ය. එම රන් පදක්කම් ඔලිම්පික් පදක්කමක් තරම් වටිනුයේ ආබාධ හේතුවෙන් මුලුගැන්වී සමා-ජමය වශයෙන් කොන්වී තමන් ජීවත් වන සමාජයට අතපා බරක් වන බොහොමයක් උප්පත්ති ආබාධ සහිත වූවන් අතර නිරෝෂණී කුමාරි ද සොයිසා සිරිවර්ධන ක්‍රීඩිකාවක් අභිමානවත් තැනැත්තියක් ලෙස සැලකිය හැකි හෙයිනි. ඈ සමස්ත සමාජයට ම ආදර්ශවත් ක්‍රීඩිකාවකි. ආබාධ හේතුවෙන් උකටලී, පසුබට වන මානසික තත්ත්වයක් නොමැතිව ක්‍රීඩා කරන ඈ පුහුණුව පිණිස ලැබෙන අති දුෂ්කර අවස්ථා කළමනාකරණය කර ගනිමින් කෙසේ හෝ අඛණ්ඩව ක්‍රීඩා පිටිය තුළ රැඳී සිටින ආකාරය ප්‍රශංසනීය ය.

කෙසේ නමුත් පසුගිය කාලයේ ඇගේ මෙම අප්‍රතිහත ධෛර්යට කළගුණ පෑමක් වශයෙන් තමන්ට ජීවත්වීමට ඉඩම් කැබැල්ලක් රජ-යෙන් ලබා ගැනීමට ඈ දහසකුත් එකක් වැරවෑයම් කර තිබුණාය. ඒ උත්සාහයට යම් බලාපොරොත්තුවක් එක්වූයේ ඈ ජීවත්වන ඉඹුල්ගස්දෙණිය, මාරුක්වතුර පිහිටි ඇගේ සොහොයුරු, සොහොයුරින් සමඟ වෙසෙන නිවස ආසන්නයේ ඇති රජයට අයත් ඉඩම් කැබැල්ලක හිමිකම ඈට ලබා දීමට රඹුක්කන ප්‍රාදේශීය ලේකම්වරය කැමැත්ත පළ කළ හෙයිනි.

එම ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරියාගේ මැදිහත්වීම ද ඊට බලපා තිබූ අතර, එවකට ඇගේ ග්‍රාමයේ ග්‍රාමසේවා නිලධාරිනියද ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරා අදාළ ඉඩම් කැබැල්ල ඇයට පවරාදීමට සියලු කටයුතු සම්පාදනය කර තිබිණි. එහෙත් මිනින්දෝරුවකු නොමැතිකම හේතුවෙන් එකී ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇත්තේ ජනපද නිලධාරිනියකගේ බලපෑම මත එම කටයුත්ත දිගින් දිගටම කල් දැමීමට ලක්ව ඇති හෙයිනි.

රන් පදක්කම් දහ හතරක් දිනා ආබාධ සහිත වූවකු ලෙස හිස පහත් කොට ජීවත්වීම වෙනුවට අදීනව සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන ජීවමාන සාක්ෂියක් වන නිරෝෂණී කුමාරි ද සොයිසා ක්‍රීඩිකාව වැනි ක්‍රීඩිකාවන් තවදුරටත් ශක්ති සම්පන්න කළ යුතුව ඇත. එහෙත් ඒ වෙනුවෙන් සමාජමය වශයෙන් තවමත් ඇතැම් නිලධාරීන්ගේ බල ලෝභී, පෞද්ගලික වාසි තකා සිදු කරන හැසිරීම් සමානාත්මතාවය හිමි විය යුතු ආබාධ සහිත ධෛර්යවන්ත ජනතාව තවදුරටත් අධෛර්යයට පත්කිරීමකි.

ඇය ක්‍රීඩිකාවක වුවද නිරෝෂණී කුමාරිට හිමි වන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පිරිනැමෙන සුළු ආධාර මුදලක් පමණි. ජනපති ප්‍රතිපාදන යටතේ කලකට පෙර ඇයට මාසිකව පිරිනැමෙන රුපියල් තුන්දහසක මුදලක් ද මේ අතර ඇයට පිරිනැමෙයි. ඒ හැරුණු කල ඇයට අන් කිසිදු ප්‍රතිපාදනයක් රජය මගින් හිමි වන්නේ ද නැත.

ඇය මේ කිසිදු සිදුවීමක් හේතුවෙන් ස්වකීය ධෛර්යය හීන කර ගන්නේ නැත. අඩු පහසුකම් මැද හැකිතාක් වෙහෙස වෙමින් ක්‍රීඩාවේ නියැළෙන ඈ සමාජයට ප්‍රකට කරන්නේ උපතින් ආබාධ සහිත වූ පමණින් ඔහු හෝ ඇය දුර්වලයකු නොවිය යුතු බවයි. ඕනෑ ම මිනිසකුට කළ හැකි කාර්යයක් තිබේ. මෙලොව බිහිවූ සෑම මිනිසකුට ම කළ යුතු යුතුකමක් ඇත. තමන් ආබාධ සහිත වූවත් එකී වගකීමෙන් මිදෙන්නට බැරි යැයි නිරෝෂණී කුමාරි ද සොයිසා සිරිවර්ධන සිතන්නීය. එසේ සිතා ඈ දසක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රීඩාව සමඟ පොර බදමින් තමන්ගේ කුසලතාව තවත් දහස් ගණනක් වූ ආබාධ සහිත වූවන්ට ජීවත්වීමට, ජීවිත තරගයට මුහුණදීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලබා දෙන්නී ය.

ඒ අනුව නිරෝෂණී යනු ජාත්‍යන්තර පැරාලිම්පික් පදක්කම් දිනා නොගත්තද ශ්‍රී ලංකාවේ ආබාධ සහිත වූ සමාජයට මෙන්ම ආබාධ රහිත වූ ජනතාවට ද ධෛර්යය සම්බන්ධ අපූරු නිදර්ශනයකි. අපි කියන්නේ දහසින් බැඳි පියලි මගින් ඇගේ උත්සහය අගය කරන්නට නොව ඈ ඉල්ලන ඉඩම් කැබැල්ලේ හිමිකම ඇයට ලබාදී හා ක්‍රීඩාව පිණිස ඇයට අවශ්‍ය අවම පහසුකම් හෝ සපයාදීම ය. ඒ වෙනුවෙන් මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට නිරෝෂණී කුමාරි ද සොයිසා සිරිවර්ධන යොමුකරනුයේ එය උපතින් ආබාධිත වූ ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට වෙරදරන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය වැඩි වර්ධනය කිරීමට එය හේතුවක් වීමට බොහෝ දුරට ඉඩඇති හෙයිනි.

ඒ සඳහා ඇය සම්බන්ධ කරගත හැකි ලිපිනය මෙසේයි.

නිරෝෂණී කුමාරි ද සොයිසා සිරිවර්ධන,

'නිල්වලා', අශෝකගම, ඉඹුල්දෙණිය.

කාන්ති ජයසිංහ

Comments