ඉදිරි තරගාවලි සඳහා දියුණු කරගත යුතු අංශ දෙකක් තියෙනවා | සිළුමිණ

ඉදිරි තරගාවලි සඳහා දියුණු කරගත යුතු අංශ දෙකක් තියෙනවා

 

බංග්ලාදේශය හමුවේ 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගැනීම නිසා අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එක් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුයේ , බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් හිමි කරගත් කඩුලු 10ක ජයත් සමඟින් ය.

 

මෙකී ජයත් සමඟ මේ වන විට තරග 6ක් ක්‍රීඩා කර, ඉන් තරග 3ක් ජය ගෙන ඇති ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40කි. ජයග්‍රාහී 55.56% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට සිව්වැනි ස්ථානයේ පසුවන අතර,මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය මේ වන විට පස්වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ පසුවන විට, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි.ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීලග තරගාවලිය පැවැත්වෙන්නේ ද ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ය.

ඉදිරි තරගාවලි ජය ගැනීම සඳහා පන්දු රැකීමේ අංශය හා දඟ පන්දු යැවීමේ අංශය තවදුරටත් දියුණු කර ගැනීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසුවේ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම ජය සඳහා ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරන ලද්දේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ය.දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙම තරගාවලියේ දී එතරම් ඉහළ මට්ටමක පැවතුණේ නැහැ.

දෙවැනි ටෙස්ට් තරගයේ දී දැවී ගිය බංග්ලාදේශ කඩුලු 20න් කඩුලු 17ක්ම දවා ගත්තේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ය. දඟ පන්දු යවන්නන්ට දවා ගත හැකි වූයේ (රමේෂ් මෙන්ඩිස් විසින්) එක් කඩුල්ලක් පමණයි. (දුවද්දී දැවී යාම් දෙකක් ද වාර්තා විය.)

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සඳහා වේග පන්දු යවන්නන්ගෙන් සුවිශේෂී දායකත්වයක් හිමි වූ බවත්, දග පන්දු යවන්නන්ගේ දක්ෂතා පහළ මට්ටමක පැවැති බවත් දිමුත් මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය.

වෙනද තණතීරුවලට වඩා ගොඩක් වෙනස් තණතීරු තමයි මේ පාර හම්බුවුණේ. ඉතිං වෙනදට වඩා ගොඩක් මහන්සි වෙන්න වුණා.(ජයග්‍රහණය වෙනුවෙන්)” යනුවෙන් දිමුත් කියා සිටියා.

වේග පන්දු යවන්නන් තමයි සෑහෙන බර ප්‍රමාණයක් ඇද්දේ කණ්ඩායම වෙනුවෙන්. ඒ වෙනුවෙන් මම ගොඩක් ස්තූතිවන්න ඕනෙ වේග පන්දු යවන්නන්ට, ගොඩක් මහන්සි වෙලා අපට ජයග්‍රහණය කරා යන්න මාර්ගයක් සකස් කරල දුන්නට

මීර්පූර්වල තරගය අපි හිතුවෙ ගොඩක් වෙලාවට පන්දුව දඟ කැවෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. අපේ දඟ පන්දු යවන්නන්ට සෑහෙන්න මහන්සි වෙන්න වුණා කඩුලු ලබා ගන්නා. සමස්තයක් විදිහට ගත්තම දඟ පන්දු යවන්නන් සෑහෙන පහළ මට්ටමක තමයි පන්දු යැව්වේ. අපේ දඟ පන්දු යවන්නන් හොඳට පන්දු යවල තිබ්බ නම් මම හිතනවා තරගාවලිය මීට වඩා තවත් ලේසියෙන් ජය ගන්න තිබ්බා කියලා.

ඉදිරි තරගාවලි වෙනුවෙන් හොඳ සූදානමක කණ්ඩායම පසුවන නමුත්, පන්දු රැකීම හා දඟ පන්දු යැවීමේ අංශය තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බව දිමුත් මෙහිදී අවධාරණය කරයි.

අපට තව තැන් කිහිපයක් තියෙනවා හදා ගන්න. එකක් පන්දු රැකීමේ පැත්ත, ඒ වගේම අපේ දඟ පන්දු බළඇණිය. ඒ පැත්ත තමයි මම සෑහෙන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ අපි හොඳින් කරන්න ඕනෙ කියලා. මොකද අපි ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය එක්ක දඟ කැවෙන තණතීරුවල. ඉතිං මම හිතනවා ඔවුන්(දඟ පන්දු යවන්නන්) ලොකු දෙයක් කරන්න ඕනෙ ඒ තරගාවලි ජයගන්න. මම හිතන්නේ නෑ වේග පන්දු යවන්නන්ට පුළුවන් කියලා ඒ තණතීරුවල ලොකු දෙයක් කරන්න. මම හිතනවා දඟ පන්දු යවන්නන් ගොඩක් මහන්සි වෙලා නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට ඇවිල්ලා, ජයග්‍රහණයක් කරා යන්න මඟ පාදයි කියලා.

අපි බංග්ලාදේශයට යන කොට අපේ රටේ තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් හිටියේ.අපේ රටේ ජනතාව හැම අතින් ම ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්නේ.මේ මොන දේ තිබුණත්,අපේ රටේ ජනතාව ක්‍රිකට්වලට කැමැතියි.ආදරෙයි.ලංකාවේ අංක එකේ ක්‍රීඩාව ක්‍රිකට් කියලා අපි දන්නවා.

අපේ රටේ ජනතාව මොන ප්‍රශ්න කන්දරාවක හිරවෙලා හිටියත්,කවදාවත් ක්‍රිකට් අමතක කරන්නේ නෑ.ඒ නිසයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ඔවුන් එක්ක සමරන්න ඕනැ වුණේ.අපි කොහේ ගිහින් ක්‍රීඩා කලත් ජනතාව මොන ප්‍රශන තිබුණත් ඔවුන් හැමදාම අපිත් එක්ක ඉන්නවා. බංග්ලාදේශ තරගාවලිය පටන් ගන්න කළින් අපට ඕනැ වුණා, ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න ජනතාවගේ මුහුණුවලට සිනාවක් දෙන්න පුළුවන් නම් ඒ දේ ලබා දෙන්න.ටීම් එකක් විදියට ඒ දේ කර ගන්න පුළුවන් වුණා.

අපේ මානසිකත්වය මොන මට්ටමක තිබුණත්, අපි හැම වෙලාවේ ම බලන්නේ ට වෙනුවෙන් උපරිම දේ කරන්නයි. අපි දන්නෙත් ඒ දේ විතරයි.අපේ සමහර ක්‍රීඩකයන්ට පුහුණුවීම්වලට පවා එන්න වාහනවලට තෙල් නැති ප්‍රශ්නය බලපාලා තියෙනවා.

ඉදිරියට මොනවා වෙයි ද, දන්නේ නෑ,හැබැයි අපි ටීම් එකක් විදියට රටට ජයග්‍රහණ ගෙන එන්න උත්සහ කරනවා.

 

 

Comments