
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන්නේ සංචාරකයන්ගේ පැමිණීම සෘණ මට්ටමක පැවැතියදීය. 96 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඕස්ට්‍රේලියානුවන් මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට පැමිණීම තීරණය කිරීම අගය කළ යුතුය.
එපමණක් නොව පාකිස්තානයට හා බංග්ලාදේශයටත් තම හොඳම ක්‍රීඩකයන් නොයවන ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට තම හොඳම ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එවීමට තරම් කාරුණික විය. මේ වන විට තම ඒ කණ්ඩායමත් සමඟ ඕස්ට්‍රේලියාවේ හොඳම ක්‍රීඩකයන් 30 දෙනකු සිටින්නේ ශ්‍රී ලංකාවේ වීමද විශේෂත්වයකි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහි ආ දා සිටන් කටයුතු කළේ ඉතාමත් සුහදශීලී අන්දමිනි. නායක ෆින්ච් පවා මාධ්‍ය හමුවලදී ශ්‍රී ලංකාව අගය කළේය. විස්සයි20 ලෝක ශුරයන් ලෙස තම සුපිරිම ක්‍රීඩකයන් සමඟ මෙහි පැමිණි කණ්ඩායම පැරදවීම තවමත් ශක්තිමත් විස්සයි20 කණ්ඩායමක් ගොඩ නඟමින් සිටින ශ්‍රී ලංකාවට හිතන තරම් පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් රටේ පවතින අසීරු මොහොතක ආර්ථික අපහසුතා මධ්‍යයේ පවා පැය ගණන් පෝලිමේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ප්‍රවේශ පත්‍ර මිලදී ගත්තෝය. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව මුල් තරග දෙකේදී පිරී ගියේය. මුල් තරගය ඔස්ට්‍රේලියානුවන් ඉතා පහසුවෙන් ජය ගනිද්දීත් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ නිරත විය. දෙවැනි තරගයේ පවා අවසන් මොහොතේ ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වන විට ඔවුන් සතුටින් උද්දාමයට පත්වනු පෙනිණ.
එහෙත් මේ ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් අපේ ක්‍රීඩකයන් තම යුතුකම් කොටස හරි හැටි ඉටු කළා ද යන්න ප්‍රශ්න සහගතය.
ඛෙත්තාරාම තණ තීරුව කවදත් සැකසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යෝග්‍ය වන පරිදිය. මුල් තරගයේ මුල් පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා දී ලකුණු 100ට කඩුලු 2ක් පමණක් දැවී ගොස් තිබියදී අපේ ක්‍රීඩකයෝ පන්දුවාර 20ට පෙර ලකුණු 128 කට දැවී ගියහ. පැතුම් නිශ්ශංක(36), චරිත් අසලංක (38) පිත්තෙන් දැක් වූ දායකත්වය ඉදිරියට ගෙන යෑමට මැද පෙළ හෝ පසු පෙළ පිතිකරුවන්ට නොහැකි විය. මෙය කණ්ඩායමේ දුර්වලතාවයට වඩා ක්‍රීඩකයන් දැක් වූ අසාර්ථකභාවය නිසා සිදු වීම කනගාටුදායකය. අඩු ලකුණු ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් පන්දුවාර 14 කදී මෙම ලකුණු සංඛ්‍යාව අබිබවා ගියේ එක් කඩුල්ලක් හෝ දැවී නොගොසිනි. ඩේවිඩ් වෝනර් (නොදැවී 70) හා ආරොන් ෆින්ච් (නොදැවී 61) ට කිසිඳු අයුරකින් තර්ජනයක් එල්ල කිරීමට අපේ පන්දු යවන්නෝ අසමත් වූහ. කණ්ඩායමට එක්ව සිටින පන්දු යැවීමේ උපදේශක ලසිත් මාලිංගට ද අපේ පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කරන්නට තරම් තල්ලුවක් දීමට නොහැකි විය. දෙවැනි විස්සයි 20 තරගයේදී ද සිදු වූයේ මුල් තරගයේ වැරැද්දම ය. ඔස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරු ලැයිස්තුව හමුවේ ලකුණු 150කට වැඩි ඉලක්කයක් ලබා දීම අනිවාර්ය වුවත් දෙවැනි තරගයේදී ද අපේ පිතිකරුවන් රැස් කළේ පන්දුවාර 20 ටම කඩුලු 9ක් දැවී ලකුණු 124 ක් පමණි. තරගය නැරඹීමට පැමිණි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ මෙහිදී ඇති වූයේ බලවත් කම්පනයකි.
බොහෝ දෙනෙකුට සිතුනේ මුල් තරගයේ ප්‍රතිඵලයම නැවත සිදුවන්නට යන බවය. එහෙත් මුල් පන්දුවාර කිහිපයෙන් පසු වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීම තරගයේ ජයග්‍රාහී බලාපොරොත්තුවක් ඇති කර දීමට සමත් විය.
එක් කඩුල්ලකට ලකුණු 53ක් රැස් කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 11 අවසානයේදී ලකුණු 99 ට කඩුලු 7ක් දැවී අසීරු අඩියකට පත් කරන්නට වනිදු හසරංගගේ පන්දු යැවීම ඉවහල් විය. මේ අතර කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවක් ද ඔහුට අහිමි විය. එහෙත් කඩුලු රකින මැතිව් වේඩ් (26) නොදැවී හා රිචඩ්සන් (9 නොදැවී) තරගය තම කණ්ඩායමේ ජයග්‍රහණය තෙක් ගෙන යාමට සමත් වූහ. නව පුහුණුකරුවකු සහාය පුහුණුකරුවකු හා වේග පන්දු පුහුණුකරුවකු සහිතව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දී ඇත්තේ විස්සයි20 තරග දෙකකට පමණි. තවත් එක් විස්සයි20 තරගයක්, පන්දු වාර 50 තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ඉතිරිව ඇත. ඒ අනුව වඩාත් නිවැරදිම ක්‍රීඩකයන් ඒ ඒ කණ්ඩායම් වෙනුවෙන් තෝරා ගැනීම ක්‍රිකට් තේරිම් කමිටුවේත් පුහුණු කරුවන්ගේත් වග කීම විය යුතුය.
තවමත් විස්සයි20 කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව තවමත් විධිමත් නැත. බානුක රාජපක්ෂ කණ්ඩායමේ නැති විට කතා කරන පිරිස වැඩිය. එහෙත් ඔහු කණ්ඩායමට ඇතුළත් කෙරුණු පසු ඔහුගේ දායකත්වය ප්‍රශ්නාර්ථයට තුඩු දෙයි. එක ඉනිමකින් පිතිකරුවකු ගැන සෑහීමකට පත් විය නොහැක. තමන්ට ලැබුණු අවස්ථාවේදී ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීම ක්‍රීඩකයකුගේ වගකීමය. පැතුම් නිශ්ශංක වැනි ක්රිඩකයකු අභියෝග වලට මුහුණ දෙමින් තම ස්ථානයට වගකීමක් ලබා දෙද්දී බානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට වග බලා ගත යුතුය.
නායක දසුන් ශානකද පන්දු යැවීමද නොකරන බැවින් නායකයා වශයෙන් පිතිකරු ලැයිස්තුවේ තම දායකත්වය දැක්වීමට කටයුතු කළ යුතු වේ. චාමික කරුණාරත්නද කණ්ඩායමේ රැඳී සිටින්නේ කුමකටදැයි ඔප්පු කළ යුතුය.
වේග පන්දු පුහුණුකරු ලසිත් මාලිංගද පාසල් කණ්ඩායමක පුහුණුකරුවකු පරිදි පිටිය වටා යමින් කරන රංගනයට වැඩි වටිනාකමක් පන්දු යවන්නන්ගේ දක්ෂතා මඟින් ඔප්පු කර සිටිය යුතුය. කෙසේ වෙතත් මෙම සංචාරයේ සෙසු තරග වලදී මීට වඩා දස්කම් දැක්වීමට අපේ ක්‍රීඩකයන්ට හැකි වනු ඇතැයි අපේක්ෂා කරමු.