
ශ්‍රී ලංකාවේදී කැස්බෑවුන් දැකගැනීමට නම් දකුණු වෙරළ විශේෂ බවත් ඒ අතර ආබාධිත කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි බවත් කිව හැකිය. කැස්බෑවුන් ආබාධිත වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙන්ම සාගරයේදී සතුරු ප්‍රහාර වලට ලක්වීමද එයට හේතුවේ. මේ වන විට ආබාධිත කැස්බෑවුන්ට අත්ව ඇති ඉරණම හා දිනෙන් දින මුහුදු කැස්බෑ බිත්තර මිනිස් ආහාරයක් ලෙස භාවිතා කිරීම ඉහළ යාමේ ප්‍රතිඵල ලෙස කැස්බෑ බිත්තර අලෙවි කිරීම වැඩීවී තිබීම සුවිශේෂීම කරුණකි. ඒ හේතුවෙන් කැස්බෑ පැටවුන් වඳවීමට හැකි පරිසරය නිර්මාණය වී තිබීම සංවේදී පුවතකි.
අද වන විට කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් ව්‍යාපාරයක් බිහිවී ඇති බවත් ඒවා තුළ අහිංසක කැස්බෑවුන් විවිධ පීඩාවන්ට හා හිංසාවනට ලක්වන බවත් පරිසරවේදීන් මත පළකර තිබේ. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් පෞද්ගලික හිමිකරුවන් විසින් කරගෙන යනු ලබන ස්ථාන කිසිදු ලියාපදිංචියකින් තොරව, මේ රටෙහි පවතින සත්ත්ව සංරක්ෂණයට අදාළ කිසිදු නීතියකට හෝ පණතකට අනුකූලව පිහිටුවන ලද ඒවා නොවන බවත්, මූලික අරමුණ හා ඒකායන පරමාර්ථය අහිංසක කැස්බෑවුන් රඳවා තබාගනිමින් විදේශීය සංචාරකයන් හා දේශීය සංචාරකයන්ට ඒ සතුන් හා පැටවුන් මෙන්ම කැස්බෑ බිත්තරද ප්‍රදර්ශනය කරමින් මුදල් ඉපයීම අද ආදායම් මාර්ගයක් කරගෙන ඇත. අහිංසක ආබාධිත කැස්බෑ ජීවිත වල අවධානම හා ලෝකයේ වඳවීගෙන යන තවත් එක සත්ත්ව පරපුරක් වන කැස්බෑවන්ගේ බිත්තර රැකගැනීම සඳහා පියවර නොගැනීම ඛේදවාචකයක් බවට පත්ව තිබේ.
දකුණු වෙරළෙහි මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන 1979 වසරෙහි ආරම්භකර තිබේ. ඒ ගාල්ල දිස්ත්‍රික්කයෙහි කොස්ගොඩ ප්‍රදේශයේ වන අතර ඉන් පසුව 1980 දී බෙන්තොට අතුරුවැල්ල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඒ වකවානුවෙහි බෙන්තොට සංචාරක කර්මාන්තය අද මෙන් ප්‍රබල හා ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස නොතිබිණි. එකල මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බිහිවන්නට එකම හේතුව වී තිබුණේ ජනතාව විසින් කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම වැඩි වශයෙන් සිදුකිරීම නිසා ඊට පිළියමක් ලෙසිනි. කිසිදු පාර්ශ්වයකින් කැස්බෑවුන් ආරක්ෂා කිරීමට අවධානයක් යොමු නොකළ අවධියක විශාල පරිශ්‍රමයකින් යුතුව ආරම්භ වූ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අද වන විට සංචාරක කර්මාන්තය මූලික කර ගනිමින් පිහිටවූ ඒවා වේ.
නීතිමය පසුබිම තුළ මෙවැනි මධ්‍යස්ථාන වලට වැඩි රැකවරණයක් නොමැති වුවත් මෙම මධ්‍යස්ථාන විසින් සිදු කර ඇති මෙහෙය සුළු පටු නොවේ. ලක්ෂ ගණනක් කැස්බෑ පැටවුන් මුහුදට මුදාහැර තිබෙන මෙම මධ්‍යස්ථාන හිමිකරුවන් විශාල සේවක පිරිසකට ආදායම් මාර්ගයක් මේ තුළින් හිමිකර දී තිබේ.
කෙසේ වෙතත් අද වන විට කොවිඩ් නිසා වසා දමා ඇති මෙම සංරක්ෂණ මධ්‍යස්ථානවල සියලු සේවකයින් ආදායම් නොමැතිව මැසිවිලි නගති. කැස්බෑ බිත්තර රැකීම සඳහා මෙම මධ්‍යස්ථාන වෙත රැගෙන එන පිරිසක් අද නැති තරම්ය. නමුත් කැස්බෑවුන් බිත්තර දැමීම නවතා නොමැති බවත් ඒ බිත්තර වලින් වැඩි කොටසක් මිනිස් ආහාරයක් ලෙස රැගෙන යන බවත් සනාථ කළ හැකිය.
මෙම ස්ථාන වල කැස්බෑවාගේ ජීවන රටාවේ ආරම්භයේ සිට හෙවත් කැස්බෑ බිත්තර බිහිවීම, ඒවා සුරැකීම, පැටවුන් බිහිවීම, පැටවුන් පිහිනීම, පැටවුන් වැඩීම හා පසුව මුහුදට මුදා හැරීම යන කාරණා පිළිබඳව දැකගත හැකිය. එහෙත් කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානවල ඇති වැදගත්ම කාරණය නම් ආබාධිත කැස්බෑවුන් රැකබලා ගැනීමය. ඒ පිළිබඳව කිසිවකුත් අවධානය යොමු නොකළද ඒ් තුළින් විශාල සේවාවක් සිදුවනු ඇත. මෙම ස්ථාන වලින් සාගරයට මුදාහරිනා කැස්බෑවුන් සාගරය සමඟ ජීවත්වීමේ සහජ ශක්තිය අහිමිවීම ඊට හේතුව බවත් ඉපදුණු සැණින් සාගරයට පිවිසෙන කැස්බෑවා බාලක උන්මාදය තුළින් ලබන අත්දැකීම මෙම මධ්‍යස්ථාන වල සිටිනා කැස්බෑවාට අහිමිවීම නිසා ආබාධ වලට හා ගොදුරු බවට පත්වන බවත් ඔවුන් පවසති.
කොස්ගොඩ වෙරළේදී විදේශීය කාන්තාවක් කැස්බෑ බිත්තර ගොඩගනිමින්
මේ සම්බන්ධව ‘සිළුමිණ’ වෙත අදහස් දැක්වූ ඉඳුරුව කයිකාවල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හිමිකරු නුවන් ප්‍රියශාන්ත කන්නන්ගර පැවසුවේ මෙවැන්නකි.
“කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වලින් සිදුවන සේවය අද හොඳටම පේනව. මගේ ළඟ ඉන්නවා විවිධ ආබාධ වලට ගොදුරුවෙලා නැවත මුහුදට යවන්න බැරි පූර්ණ ආබාධිත කැස්බෑ විශේෂ දෙවර්ගයක්. ගල් කැස්බෑවකු හා බටු කැස්බෑවුන් 07ක් වෙනුවෙන් මම අදටත් දිනපතා මගේ මුදල්, කාලය වගේම ශ්‍රමය වැය කරනව. සතුන්ට කන්න දෙන්නෙ අද වන විට ණය වෙලා. නමුත් මේ අහිංසක සතුන්ව අපි නොබැලුවොත් කවුද බලාගන්නෙ. සංචාරකයින් පැමිණි කාල වලදී මේ කතාව කරන්න අවශ්‍ය වුණේ නැහැ. එතකොට අපි ආදායම් ලැබුව. අපි මේ සත්වයින් දිනපතා රැකගත්ත. ආදායම් ලැබුව කියල ආබාධිත සතුන්ව අපි අතහැරියෙ නැහැ. බෙහෙත් කළා. කෑම දුන්න. ඒ වෙනුවෙන් මා ළඟ සේවකයින් 10 ක් විතර වැඩ කළා. අද අපට කිසිම ආදායමක් නැහැ.
ඉඳුරුව වෙරළේ කැස්බෑවුන් ඉන්නව කුඩා කාලෙ ඉඳලම අප දැක තිබුණා. ඒ සත්ත්වයන්ගේ රැකවරණය පිළිබඳව අපට ලොකු හැඟීමක් ඒකාලෙ ඉඳලම තිබුණ. මේක එහෙම බිහිවුණ මධ්‍යස්ථානයක්. 2013 ඉඳල මම මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යනව.
දවසට මාළු කිලෝ 10 ක් විතර ඒ ආබාධිත සතුන්ට ආහාර හැටියට දෙනවා. කැස්බෑවට මාස 02ක් වුණත් කෑම නැතිව ඉන්න පුළුවන්. බිත්තර වලින් බිහිවන පැටවුන් අපි මේ වන විට 120,000ක් පමණ මුහුදට මුදාහැරල තියනවා.. ඒ නිසා තමයි විවිධ අය විවේචන එල්ල කරන්නෙ මෙවැනි මධ්‍යස්ථානවලට. අනික තමයි බිත්තර එකතු කරන අයට බලපත්‍රයක් දිය යුතුයි. ඒ වගේම මෙම මධ්‍යස්ථාවවලට නිසි ප්‍රමිතියක් ඇති කරල ඒවා සුරක්ෂිත කළ යුතුයි කියල මම හිතනව.”
සමස්ත ලංකා මුහුදු කැස්බෑ සංරක්ෂණ සංගමයේ සභාපති ජීවන් කස්තුරිආච්චි මෙසේ කීය. “මම මේ සඳහා යොමු වුණේ 2006 වසරෙදි. මම කරන්නේ දේශීය සහ විදේශීය සියලුම දෙනාට නොමිලයේ මෙම ස්ථානය නැරඹීමට අවස්ථාව සැලසීමයි. ඒ කාලෙ මෙම මධ්‍යස්ථාන ආරම්භ කළේ සංරක්ෂණයට පමණක් වුණත් පසුකාලීනව ව්‍යාපාරික අරමුණක් ඇතිව ඒකට පිවිසුණු අයත් ඉන්නව. අද වන විට දකුණු වෙරළෙහි ම්‍යස්ථාන 23ක් තිබුණත් අපේ සංගමයේ ඉන්නෙ සාමාජිකයින් 10ක් විතරයි. වන ජීවි එක හරහා තමයි මට ඒ සත්ත්තු ලැබෙන්නෙ. විවිධ හේතූන් නිසා ගාත්රා කැඩුණු, කටුවට හානි වුණු වගේ ආබාධ වලට ලක්වුණු කැස්බෑවුන් 35ක් වෙනුවෙන් මම දිනකට මාළු කිලෝ 14ක් විතර ආහාරය සඳහා වැයකරනව. මාළු කිලෝව රුපියල් 280ට ගත්ත. නමුත් පසුගිය කාලෙ රට වැහුව වෙලාවෙ මාළු රු. 700ත් ගත්ත. අපිට බැහැ සත්තු බඩගින්නෙ තියන්න. අද ආදායමක් නැහැ. නමුත් අපි සත්තු ටික හොඳින් බලාගන්නව අද වෙනකම්ම. වසර දෙකක විතර ඉදන් කිසිම සංචාරකයකු ආවෙ නැහැ මෙම ස්ථානය නරඹන්න. බිත්තර විකුණන පිරිස කාර්යය කරගෙන යනව. දවසට බිත්තර 800ක් විතර බිත්තර මිලදී අරන් තියෙන අපිට දැන් බිත්තර නැහැ අරගන්න. ”
කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරු වන නුවන් ප්‍රියශාන්ත පවසන්නේය.
මුහුදේ නිදහසේ සැරිසරන කැස්බෑවෙක්
බෙන්තොට අතුරුවැල්ල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හිමිකරු වන දකුණු පළාතෙහි දෙවැනි මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පිහිටවූ කිත්සිරි කන්නන්ගර මෙසේ කීය “ මම 1980 ජනවාරි මාසයේ එක කැස්බෑ අභිජණන කූඩුවකින් මේක ආරම්භ කළේ. මම උසස් පෙළ අවසන් වුණු ගමන් තමයි මේකට අතගැහුවෙ. ඒකාලේ කොස්ගොඩ මධ්‍යස්ථානය තමයි දකුණු පළාතේ මුල්ම මධ්‍යස්ථානය. ඒක කළේ කුරුණෑගල පැත්තෙ වෛද්‍යවරයෙක්. මම තමයි දෙවැනි මධ්‍යස්ථාන හැටියට මේක ආරෙම්භ කළේ. ගමේ ඉන්න අය බිත්තර එකතු කරල මෙම ස්ථානයට ගෙනවිත් දෙනව. කැස්බෑව බිත්තර දාල ගියහම ඒ වළක් හාරල බිත්තර 100-150ක් ගන්න පුළුවන්. මෙහෙම බිත්තර අරගන්න අය කොයිතරම් බිත්තර ප්‍රමාණයක් ආහාරයට ගන්නවද කියල හිතන්න. අපිට පුළුවන් වුණා. ආහාරයට ගන්න බිත්තර පැටව් හැටියට නැවත මුහුදටම යවන්න. ඒක මේ මධ්‍යස්ථාන වලින් වුුණු විශාලම සේවාව.1987 වෙරළ සංරක්ෂණයෙන් බලපත්‍රයක් ලබාදුන්න අපිට මේක කරගෙන යන්න. ”
“ නාරා ආයතනය මුල් කාලෙ සිටම අපේ මධ්‍යස්ථාන හා සම්බන්ධව කටයුතු කළා. නාරා අයතනය 1991 විතර පර්යේෂණයක් කළා දකුණු වෙරළේ කැස්බෑ සම්පත පිළිබඳව. ඒකාලෙ තිබුණු ක්ලබ් බෙන්තොට මුහුදු කැස්බෑ සංරක්ණ මධ්‍යස්ථානය, බෙන්තොට අතුරුවැල්ල මුහුදු කැස්බෑ සංරක්ණ මධ්‍යස්ථානය, මහපැලෑන මුහුදු කැස්බෑ සංරක්ණ මධ්‍යස්ථානය, කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ණ මධ්‍යස්ථානය සහ කුමාරකන්ද මුහුදු කැස්බෑ සංරක්ණ මධ්‍යස්ථානය යන 05 අරන් ඒ පර්යේෂණය ඔවුන් ඒ පර්යේෂණය කළේ. ඒ අනුව කැස්බෑවාගේ වයස අවුරුදු 100 ක් කියල ඔවුන් කියනව. ‘ජාතික කැස්බෑ සැලැස්ම’ ඔවුන් හඳුන්වා දුන්නෙ මේ පර්යේෂණ වලට අනුව. 2007 පාඨලී චම්පක මහතා පරිසර ඇමතිවරයාව සිටි සමයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවතියේ පරිසර අමාත්‍යාංශය යටතේ. ඒ අනුව කැස්බෑවා සම්බන්ධව පවතින වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පණත ඒ අයුරින්ම පාර්ලිමේන්තුගත කළා.
ඒ පණතට අනුව මේ මධ්‍යස්ථාන නීති විරෝධී වෙනව. මුහුදු කැස්බෑ සංරක්ෂණ සංගමයේ සභාපති හැටියට මම අපේ සෙසු මධ්‍යස්ථාන හිමිකරුවන් සමඟ ඇමතිවරයා හමුවුණා. එහිදී අපි ඇමතිතුමාට පැහැදිලි කළා. මෙම මධ්‍යස්ථානවලින් උසස් අධ්‍යාපනයට ළමුන් විශාල පන්නරයක් ලබනව, වටිනා ව්‍යාපෘති කරනව කියන කාරණය. ඒ අනුව පනතෙහි 55 වැනි වගන්තියට අනුව අධ්‍යපනයට හා පර්යේෂණ සඳහා නියැදියක් ලෙස මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ප්‍රතිපත්තිමය තීරණයකින් ඇමති පාඨලී චම්පක එවකට සිටි වන ජීවී අධ්යක්ෂ ජනරාල් ඩබ්. විජේසූරිය ට උපදෙස් ලබාදුන්න.
ඒ අනුව අදටත් ක්‍රියාත්මක වන්නේ පනතට අනුව අධ්‍යාපනයට හා පර්යේෂණ සඳහා නියැදියක් හැටියටයි. මම ඒකට එකඟයි. මම කියන්නෙ අපේ මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියකට ලක් කරලා, අධ්‍යාපනයට හා පර්යේෂණයට සුදුසු පරිදි විධිමත් කරල කරගෙන යන්න ඉඩ ලබාදෙන්න කියන කාරණය. සංචාරකයන් මෙම ස්ථාන බලන්න කැමතියි. අපි ටිකට් පතක් විකුණල මුදලක් ගන්නව තමයි. ඒ මෙවැනි ස්ථාන නඩත්තු වන්නත් අවශ්‍ය නිසයි. අනික අපි ළඟ සේවකයන් 10ක් විතර ඉන්නව. ඒ අයට පඩි ගෙවනව. බිත්තර මුදල් දීල අරගන්නව. මේ දේවල් වලට මාසයකට රු. 50,000 - රු. 80,000 ක් විතර වැය වනව.
මම නම් කියන්නෙ පසුකාලීනව බිහිවුණු මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වල අරමුණ තුළ ව්‍යාපාරික බවක් පෙනුණත් මුල් කාලීනව බිහි වුණු සියලුම මධ්‍යස්ථාන ආරම්භ කළේ කැස්බෑවාගේ සංරක්ෂණය නිසාමයි කියල. 1997 - 2000 කාලයේ සිට වන ජීවී දෙපාර්තමේන්තුව හා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අතර වැඩසටහන් ක්‍රියාත්මක වුණා. “
කැස්බෑවුන මුහුදට මුදාහරින අතුරුවැල්ල වෙරළේ සංචාරකයන්
හිමිකරු වන ඩඩ්ලි පෙරේරා මේ සම්බන්ධව මෙසේ කීය “ මම 1988 මේක ආරම්භ කළේ. වන ජීවි නීති අනුව අපි කරන්නෙ වරදක්. අපිව උසාවි අරන් ගිහින් සත්තු ටිකත් අරන් යන්න පුළුවන් දෙයක්. නමුත් මුල් කාලයේ පිහිටවූ සංරක්ෂණ මධඨස්ථාන හරහා කැස්බෑවාට වැඩි රැකවරණයක් ලැබෙන බවට වන ජීවී නිලධාරීන් අවබෝධ කරන් ඉන්නව. ඒ නිසා නිල නොවන මට්ටමින් අපි පවත්වාගෙන යනව. අපි කරන්නේ සේවාවක්. මේ ස්ථාන හරහා ජාත්‍යන්තරයට අපි පණිවුඩයක් අරන් ගියා කැස්බෑවා රැකගන්න අපේ රටෙහි විශාල කාර්යයක් සිදුවන බවට. ඒක දිගු කලක සිට වුණු දෙයක්. නමුත් අද ඇතැම් අය පවත්වාගෙන යන ස්ථාන වල තිබෙන්නෙ ව්‍යාපාරික අරමුණක් විතරයි. ඒකෙන් වුණේ අපේ රටට තිබුණු හොඳ නම ජාත්‍යන්තරය තුළ පළුදුවීමක්.“
කැස්බෑවා කිසිදු වන ජීවී සංරක්ෂණ නීතියක් නොදනී. නමුත් බිත්තර දමා මුහුදට යන කැස්බෑවා වෙරළට පැමිණීම හේතුවෙන් නීති බිහිව තිබේ. මත්ත්සයන් ඇල්ලීම වෙනුවෙන් භාවිතා කරන දැල් විශේෂ වලට හා පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් ආබාධිත තත්ත්වයට ලක්වන කැස්බෑවුන්, විශාල මත්ත්සයින්ගේ ප්‍රහාරයට හසුව ආබාධිතව සිටිමින් ගොඩට ගසා ගෙන ආ කැස්බෑවුන් රැකබලා ගැනීමට ඇති ස්ථාන අල්පය.
මුහුදු කැස්බෑ ජීව විද්‍යාවේ පියා ලෙස හඳුන්වන Dr. Archie Carr (1909- 1987) ගේ උපන් දිනය වන ජූලි 16 ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය වේ. එහෙත් මේ දිනයටවත් අපේ රටෙහි ආබාධිත කැස්බෑවුන් සිටිනවාද? එසේ සිටිනවා නම් ඒ සත්ත්වයින්ට මේ වන විට කුමක් සිදුව ඇද්ද? යන්න සොයන්නට කිසිවකුත් ඉදිරිපත්ව නැත. ආබාධිත කැස්බෑවුන්ගේ සංඝණනක් කිරීමට කාලය එළඹ තිබේ.
ගල්කිස්ස සිට ආරුගම්බේ දක්වා වෙරළ තීරයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ඒ අතර දකුණු වෙරළෙහි බෙන්තොට, ඉඳුරුව, කයිකාවල, කොස්ගොඩ, බලපිටිය, අම්බලන්ගොඩ, කහව, උණවටුන, බුන්දල, හම්බන්තොට, යාල, මඩකලපුව වැනි ප්‍රදේශ විශේෂයෙන් කැස්බෑවුන් බිත්තර දමන ප්‍රදේශ වේ.
මෙම ප්‍රදේශවල පවතින මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානවලට නිසි ප්‍රමිතියක් ඇති කිරීම වැදගත් වේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණතෙහි 55 වැනි වගන්තියට අනුව අධ්‍යපනයට හා පර්යේෂණ සඳහා නියැදියක් ලෙස මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සිදුවුවද ඊට අවශ්‍ය නිසි නීතිමය පසුබිම ගොඩනැගී නැත. අද වන විට 23ක් පමණ වන දකුණු වෙරළෙහි පිහිටුවා ඇති පෞද්ගලික මුහුදු සංරක්ෂණ අධ්‍යයන මධ්‍යස්ථානවල කටයුතු විධිමත් කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග කෙටුම්පතක් සකස්ව ඇත.
වමේ සිට - බෙන්තොට අතුරුවැල්ල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු කිත්සිරි කන්නන්ගර, ඉඳුරුව කයිකාවල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙහි හිමිකරු නුවන් ප්‍රියශාන්ත සහ කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු ඩඩ්ලි පෙරේරා
එමඟින් මහජන අදහස් විමසීමකට ලක්කර තිබේ. ඉන් ඔබ්බට යාමක් සිදුව නැති වකවානුවක ප්‍රතිපත්තිමය තීරණයකින් පමණක් මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන රැකී තිබේ.
ලෝකයේ වඳවීගෙන යන වසර දස ලක්ෂ සියයකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන උරග කාණ්ඩයේ චලතාපී ගුණයෙන් යුතු වටිනා සත්ත්ව විශේෂයක් රැකගත හැකි වනුයේ මිනිස් ක්‍රියාකාරකම් වල නිසි පාලනය හා නිසි ප්‍රමිතිය මගිනි.