
මහනුවර අම්පිටිය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දඟකාර ළමයෙක් පාසලේ වාර අවසාන විවිධ ප්‍රසංගයේ කැපී පෙනුණේ පුංචි අන්දරේ ගේ චරිතය රඟපෑම නිසාය. කිසිදු දෙබසක් නැතිව මේ චරිතය රඟපාන්නේ කෙසේදැයි පෙර දින අහස පොළව ගැට ගසිමින් ඔහු සිතීය.
මේ චරිතය රඟන්න තිබුණේ ගොනා වගේ සිටින්නටය. ගොනෙක් වගේ ඉඳලා රඟපෑමක් කළ හැකි ද? අඩු වශයෙන් අන්දරේ සීනි කන හැටි කරන්න තිබුණා නම්... ඔහු සිතුවේය. “හරි මම වේදිකාවට ගිහින් මිනිස්සු හිනස්සන්නම් කෝ....“ මේ පොඩ්ඩා එසේ සිතාගෙන නින්දට ගියේය.
නාට්‍ය වේදිකා ගත කරන මොහොත ආවේය. එදා උත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට ආවේ ගමේ ප්‍රභූවරයකු වූ අද්වකාත් ජෝන් කොලොස් ය. ශාලාව අතුරු සිදුරු නැත. ‘අන්දරේ‘ නාට්‍යයේ කවුරුත් දක්ෂ අයය. ඔවුන්ට කටපුරා කීමට දෙබස් තිබේ. දැන් නාට්‍ය යස අගේට රඟ දැක්වෙති. කුඩා අන්දරේට ගණදෙවි නුවණ පහළ විය.
“මම නිකම්ම ගොනා වුණත් වැඩක් නෑ. මුළු සභාවම හිනස්සන්න ඕනෑ.“ පුංචි අන්දරේ සිතුවේය. ගමේ ගාල කඩාගෙන කුලප්පු වී ගම පුරා දිව්ව ගොනෙකු පුංචි කාලයේ දැක තිබූ පුංචි අන්දරේ වේදිකාව පිටුපස සිට කුලප්පු වූ ගොනෙකු සේ පැන්නේය. මෙය කිසිවෙකු කලින් දැන සිටි අවස්ථාවක් නොවේ. මෙය දුටු රඟපාන නළු නිළියෝ ද බිය වූහ.
මේ අවස්ථාව නිසා නාට්‍ය නතර විය. එහෙත් කුඩා අන්දරේගේ මේ අපූරු රංගනයෙන් සතුටට පත්වූහ. ශාලාව පුරා සිනා හඬ දෝර ගියහ. ටික වේලාවකින් වේදිකාවේ බිමට පැන ඉදිරිපස අසුනේ නාට්‍ය බලමින් සිටි ආරාධිත අමුත්තන්ට අනින බව අභිනයෙන් පෙන්වා යකා නැටුවේය. ගොනාගේ අං දෙක වෙනුවට ඔහු දෙඅතේ දබර ඇඟිල්ලෙන් ප්‍රධාන අමුත්තාට අභිනයෙන් ඇන්නේය. ගුරුවරුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කුඩා අන්දරේ අල්ලා ඔසවා ගෙන ගියේය.
උත්සවය අවසානයේ ප්‍රධාන අමුත්තා තේරූ හොඳම නළුවාගේ නම නිවේදනය විය. ඒ වනවිට පුංචි අන්දරේ නාට්‍ය භාර ගුරුවරයාගෙන් ටොකු පූජාවක් ලබමින් සිටියේය. ලවුඩ්ස්පීකර් කටින් ප්‍රධාන අමුත්තා තෝරා තිබුණේ පුංචි අන්දරේට රඟපෑ පාසලේ දඩබ්බර ළමයාගේ නමය. කුඩා අන්දරේ ටොකු පාරවලින් පීඩාව යට කරමින් වේදිකාවට ගියේ කඳුළු පෙරමිණි. එදා මේ කුඩා නළුවා ප්‍රධාන ආරාධිතයාගෙන් රිදී පදක්කමක් සම්මානයට පාත්‍ර විය. (ටොකු පූජාව දුන් ගුරුවරයාට එදා නම් දවල්තරු පෙනෙන්නට ඇති.)5
එදා සම්මානයට පාත්‍ර වූ සංඝතිස්ස කොතරම් දඩබ්බරයෙකු වුවද ගමේ පන්ලේ දහම් පාසලේ විනීත සංවර සිසු දරුවෙකි. සංඝතිස්සට බුද්ධ වන්දනාවේ හැම ගාථාවක්ම, නරසිහ ගාථා, පිරිත් හොඳට කටපාඩම් වී තිබුණි. පාසලේ ක්‍රීඩාශීලී දරුවකු මෙන්ම දඩබ්බරකම් ඇති දරුවෙකු ද වීය. පසුව ලංකාවේ නම කී පමණින් රටම හඳුනන පුංචි අන්දරේ ජීවමානව දකින විට ඕනෑම කෙනෙකු කටපුරා සිනාසුණ බව ද, වැඩිය සිනානොවන අයට ද හීන් සිනා රැල්ලක් මතුවීම අපි දැක තිබුණි.
පසුකලෙක “බර්ටි ගුණතිලක“ නමින් රට සුපතළ වූ මෙස්ටියගේ බර්ටි සංඝතිස්ස ගුණතිලක 1924 වසරේ අගෝස්තු 02 වෙනිදා අම්පාරේ උපත ලැබීය. ඔහුගේ පියා වූ මැස්ටියගේ දොන් හෙන්රි ගුණතිලක මෙරට ඉංග්‍රීසි පාලනය සමයේ වතුපාලකයෙකි. අතමිට සරු සාරකාරයකු වූ ඔහු කලාකාමියෙකි. සංගීත ලෝලයෙකි. බර්ටිගේ මව වූයේ විල්ආරච්චිගේ මියුරියල් පෙරේරා ය.
පවුලේ දෙවැනියා වූ ඔහුට ලයනල් අයියාට පසු හේසල්, කොලින්, මේබල්, ජුනි අයිලින් යන සහෝදර සහෝදරියන් වූහ. බර්ටි ගුණතිලක නම් මේ හාස්‍ය රසය, උපහාස රසය, තමාට උරුම කරගත් රංග ශෛලියකින් මතු කළ විශිෂ්ට රංගවේදියා ගැන ලියා ඇති එකම ග්‍රන්ථය “සදාදරණීය බර්ටි“ ය. මේ ග්‍රන්ථය රචනා කළේ දැනට බොරැල්ලේ MRI මධ්‍යම ලය චිකිත්සාගාරයේ මහජන පරීක්ෂකවරයකු ලෙස සේවය කරන ගොඩකවෙල නියංගම පදිංචි කිංස්ලි විජේසුන්දර ය. ඔහු ලේඛකයෙකි. පුවත්පත්කලාවේදියෙකි. විශේෂාංග ලේඛකයෙකි. බර්ටි ගුණතිලකයන්ගේ අප නොදන්නා තොරතුරු රැසක් ඔහු මේ කෘතියෙන් හෙළි කරයි.
විජේසුන්දරයන් මේ කෘතියේ කියා ඇති පරිදි බර්ටි කුඩා කළ ඔහුගේ දඟකාරකම් ඉවසිය නොහැකි වූ පියා, තම මව වූ බර්ටිගේ අත්තම්මා පදිංචිව සිටි ගම්පොල මහර ප්‍රදේශයේ නිවසට බර්ටි පුතුව රැගෙන ගියේය. බර්ටි එහි සිටි නැන්දණියගේ ලොකු දුව සමඟ පාසලට ගොස් ඇත්තේ අතරමඟ සීනි කඩල, බොම්බයි මොටයි, සීනි හකුරු ආදි රසකැවිලි ලබා දෙන පොරොන්දුව නිසාලු. එහි යම් අඩුපාඩුවක් වීද බිම පෙරළී ඇඬූ බව ඇසූ අත්තම්මාගෙන් බර්ටි තරවටු ලැබූ අවස්ථා එමට තිබුණි. පසු කලෙක බර්ටි “විනෝද සමය“ “විහිළුතහළු“ ගුවන් විදුලි විහිළු වැඩසටහන්වල “පොඩි එකා“, සූප්පුවක් කරේ දාගෙන යන වැඩිහිටි ශිෂ්‍යයාගේ චරිත සාර්ථකව රඟපෑවේ එදා ලැබූ ඒ බෙහෙවින් සුන්දර අත්දැකීම් ය.
පාසලේ දඩබ්බරකම් දුරු කිරීමට තුන්කල් බැලූ පියා විසින් බර්ටි සංවර කිරීමට මඟක් පෑදුණි. අම්පිටියේ පාසලෙන් අස්කොට මහනුවර සංඝරාජ පිරිවෙනේ පරිවෙණාධිපති මාබෝපිටියේ මෙධංකර නායක හිමියන්ට භාර කළේය. උන්වහන්සේ බර්ටිගේ පියාගේ මාමා කෙනෙකු වූහ. මේධංකර නාහිමියන් මහනුවර ලේවැල්ලේ විහාරස්ථානයේ ද විහාරාධිපති වූහ.
“සංඝතිස්ස උඹ “සාදු සීයා“ ගාවට ගිහින් සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගෙන මහණවෙයන්. උඹ කැමතිද? මහණවෙන්න.“
“ඔව් තාත්තේ මට හොඳට දාන කන්නත් ලැබෙනවනේ.“
සංඝතිස්ස මහණවීමට ගියත් පිරිවෙනෙන් දී ප්‍රාචීණ විභාගය සමත් වීමෙන් පසු වඩාත් සිත් ඇදී ගියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙනීම සඳහාය.
“මගේ තාත්තා කිසිම දෙයක් එක දිගට කරගෙන ගිහිල්ලා නැහැ. තාත්තා කොළඹ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට බැඳිලා සිංහල ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස කෙටි කලක් ගත කරලා පාසල් ගුරුවරයකු ලෙස කුලියාපිටියේ ගල්පොල විද්‍යාලයේ උගන්වල එතැනින් අයින් වෙලා ගොඩකවෙල මැණික් ගරලා තියෙනවා.
තාත්තා ලේඛන කලාවට ඇලුම් කරලා තියෙනවා. පුවත්පත්වලට ලිපි, විකට කතා ලියලා තියෙනවා. පසුව, “සිංහල බෞද්ධයා“, “සිංහලේ“, “සිංහල ජාතිය“ පත්‍රවල සෝදුපත් බලමින්, ලිපි ලියමින් වසර 1 1/2 විතර වැඩ කරලා ලේක්හවුස් ආයතනයේ සෝදුපත් බලලා තියෙනවා.
“ඒ කාලේ ලේක් හවුසියේ සෝදුපත් බැලුවේ විශ්‍රාමලත් විදුහල්පතිවරු, උගත්තු, කවියෝ, මට හේමපාල මුනිදාස මහත්තය ගේ සෝදුපත් බැලූ කෙනෙකුට ලොකු තැනක් තිබුණා. කවියෙක් වූ එච්. එම්. කුඩලිගම මහත්තයා අපේ ලොක්කා. ‘සෝදුපත් බලන්නා‘ කියන්නේ පත්තරයක දෙවෙනි කර්තෘ කියලයි කිව්වේ. තාත්තා, විනෝද සමයේ සැමුවෙල් රුද්‍රිගු, ඇනස්ලි ඩයස් මාමලාට කියනවා මට ඇහිල තියෙනවා.“ යි බර්ටි ගේ වැඩිමහල් පුත් භාරත ගුණතිලක අපට කීය. ඔහු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ රූපවාහිනි අභ්‍යාස ආයතනයේ මාධ්‍ය අංශයේ තාක්ෂණ නිලධාරියකු ලෙස සේවය කරයි.
උග්‍ර වාමාංශිකයකු වූ බර්ටි ගුණතිලක ලේක් හවුසියේ වසර 15ක් සේවය කොට වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලා වැඩවර්ජනයක් කොට ඉවත්ව ගොස් වත්තල ප්‍රදේශයේ පොත් සාප්පුවක් කරගෙන ගොස් ඇත.
බර්ටි ගුණතිලක ගුවන් විදුලියේ “ළමා පිටියේ“ නිෂ්පාදනයකි. 1947 “සිරි අයියා“ (යු. ඒ. එස්. පෙරේරා) මෙහෙය වූ ළමා පිටියේ පුංචි පුංචි විකට කතා ඉදිරිපත් කොට දස්කම් පෙන්නූ බර්ටි ගුවන් විදුලියේ වෙෙළඳ සේවයෙන් 1952 සැප්තැම්බර් 15 දා ඇරඹූ “විහිළු තහළු“ විකට වැඩසටහනෙන් බර්ටි, සැමුවෙල් හා ඇනස්ලි ත්‍රිමූර්තිය මුල්වරට රඟපෑහ. වැඩසටහනේ නිෂ්පාදක එච්. ඩී. විජේදාස ය. එයට ඇල්ප්‍රඩ් පෙරේරා සහ ස්වර්ණ ශ්‍රී සරත් වීර, එච්. ටී. බස්නායක ද එක්වූහ. පසුව ඇල්ප්‍රඩ් පෙරේරාගේ “විනෝද සමය“ ට මේ පිරිස රොද බැඳ ගත්හ. ළමා වයසේ සිටින වැඩිහිටියා, ‘සූප්පුවා“ වැනි චරිත තුළින් බර්ටි තම කුසලතා පෙන්නුවේය.
බර්ටි, සැමුවෙල්, ඇනස්ලි ත්‍රිමුර්තිය කොතරම් සමගියෙන් එකිනෙකාගේ මත අගය කරමින් ජනතාව පිනවූහ. සිංහල සිනමා ඉතිහාසයේ 74 පසුකොට නව වසරේ ජනවාරි මාසේ 75 වසර ලබන විට මෙරට වන ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට නළුවා බර්ටි ගුණතිලක බව ඔබ දැන සිටියා ද? 1952 තිරගත වූ, කඳානේ ඉදිකළ ලංකාවේ මුල්ම චිත්‍රාගාරයක මුලින්ම රූපගත කළ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ “බණ්ඩා නරගටය පැමිණීම“. චිත්‍රපටයේ බර්ටි හා ඔහුගේ නැඟණිය චාන්දනී සෙනෙවිරත්න රඟපෑහ.
චාන්දනී විවාහ වූයේ ප්‍රධාන චරිතය රඟ පෑ ප්‍රකට ගුවන් විදුලි හා වේදිකා නාට්‍ය නළු ජෝසෆ් සෙනෙවිරත්න සමඟය. මේ නිසා මේ චිත්‍රපටයේ බර්ටි හා චාන්දනී රඟපෑහ. ඉන්පසු බර්ටි “එදා රෑ“ “අබුද්දස්ස කාලේ“ “සමාජ සතුරෝ“ “බිනරමලී“ “සිකුරු ලියා“ “මරුවා සමඟ වාසේ“ “කෝලංකාරයේ“ ඇතුළු චිත්‍රපට 25ක පමණ රඟපෑහ.
කලකට පෙර 1958 වසරේ ගුරුවරයකු ලෙස ගොඩකවෙල ඇමටියගොඩ විද්‍යාලයේ පවත්වන ලද උත්සවයකට බර්ටි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වී ඇත. එදා බර්ටි හාස්‍ය මුසු කතාව එම විද්‍යාලයේ ආචාර්යවරියක් වූ සෝමා ගුණතිලකගේ (ඇගේ වාසගම ද ගුණතිලක වීමද විශේෂයකි.) සිත ඔහු වෙත ඇදී ගියාය. බර්ටි තුළද පිළිබඳ සිතක් ඇති විය.
බර්ටිගේ බිරිය පසුව කියා තිබුණේ තම සැමියාට හරියන එකම රැකියාව විහිළු කිරීම බවය. තවත් අවස්ථාවක බර්ටි පුවත්පතකට කියා තිබුණේ එදා සැමුවෙල්, ඇනස්ලි හා තමා ඉදිරිපත් කරන ලද විහිළු රංගනය ඇසීමෙන් පසු ආදර්ශයකුත් තිබූ බවය.
“ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා.“
“විනෝද සමය“ ගුවන් විදුලි වැඩසටහනක හැම විටම “පොඩි එකා“ මෝඩ, බයාදු, නිවට චරිත රඟ පෑ බර්ටි ගුණතිලක වේගයෙන් මේ දෙබස කියනු ඇසූ ශ්‍රාවකයෝ අප්‍රමාණව සිනාසුණෝය.
“බලන කොට තමුසේටනේ ඌ ගහල තියෙන්නේ...“ අමාරිස් අයියා කීය.
“ඒක නේන්නම් බලන කොට ඒකනේ වෙලා තියෙන්නේ“ හාමු මහත්තයා ද කී විට අමාරිස්ගේ කොක් හඬ පැතිර ගියේය.
අමාරිස් අයියා සැමුවෙල් රොද්‍රිගු ද හාමු මහත්තයා ලෙස ඇනස්ලි ඩයස් ද රඟපෑහ.
සැමුවෙල්, ඇනස්ලි, බර්ටි යනු විකට ත්‍රිත්වයකි. මේ තිදෙනාටම තම තමන්ට ම ආවේණික රඟපෑමක්, ශෛලියක්, දක්ෂතාවයක් තිබුණෝය. තිදෙනා ම දස්සයෝ වූහ. අද අමාරිස් හා හාමු මහත්තයා ජීවිතයෙන් සමුගෙනය.
බර්ටි ගුණතිලක අද සිය සැදෑකාලය ගෙවමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල නිවසට වී සිය දියණිය ජීවානි සිය පියාව දෑස මෙන් ආදර රැකවරණය ශක්තිය යටතේ පසුවෙයි. අප ඇය සමඟ දුරකතනයෙන් කතා කරන විට කීවේ ‘වැඩිමහල් දියණිය ජීවානි තාත්තාව රෝද පුටුවේ තියාගෙන එළිමහනේ හිටියේ.‘ කියාය. බර්ටිගේ දෙවැනි පුතා හර්ෂ ව්‍යාපාරිකයෙකි. බාල දියණිය කුමුදිනි ගුණතිලක ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවය කරන්නීය. බර්ටිගේ දයාබර බිරිය සෝමා ගුණතිලක 1993 අගෝස්තු 07 වෙනිදා මිය යාම මුළු ගුණතිලක පවුලටම බලපෑ බලවත් දුකකි, පාඩුවකි.
කලා භූෂණ, මාධ්‍ය කලා කීර්ති, නාට්‍ය සූරී, දේශබන්දු යන සම්මාන වලින් පිදුම් ලැබූහ.
මාධ්‍යවේදී කිංස්ලි විජේසුන්දර විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බර්ටි මෙසේ කියා තිබුණි.
“අපි ඉස්සර සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක වගේ ඇත්තන් පවා විවේචන කළා. හැබැයි ඒ නායකයෝ අපිට පෙරළා පහර දෙන්න ආවේ නෑ. ඒ කාලේ නායකයගේ වුණත් වරදක් පෙන්නුවොත් ඒ වැරැද්ද හදා ගන්නට මිසක් විහිළු කරපු කෙනා පස්සේ පැන්නුවෙ නෑ. ඒත් පහුවෙන කොට විවිධ ගැටලු ආවා. විහිළු කිරීමේ නිදහස අඩු වුණා. විහිළුව කියන එක මගේ ඇඟේ කොටසක් වගේ.
ඒක මගේ ජීවිතෙත් එක්ක බැඳුණු දෙයක්. මම සාමාන්‍ය ජීවිතයේ දී ටිකක් නිහඬ කෙනෙක්. මිනිස්සු වෙච්ච අපි ප්‍රශ්න ගොඩක් එක්ක නිතර ම ජීවත් වෙනවා. මිනිස්සු හිනස්සන මමත් අඬන්න බැරිකමට හිනාවෙන තවත් මනුස්සයෙක් විතරයි.
ඇනස්ලි, සැමුවෙල් කියන ත්‍රිමුර්තිය ගහට පොත්ත වගේ හිටියේ. අපි තුන් දෙනා විහිළු තහළු ආරම්භ වුණු තැන ඉඳන් හොඳ මිත්‍රයො. එක්කෙනෙක් කපාගෙන කෙනෙක් ඉස්මතු වීම වගේ ගති ගුණ අපි අතර තිබුණේ නෑ. විකට වැඩසටහනක පිටපත වුණත් සකස් කළේ හැමෝගෙම අදහස් එකතු කරලයි. හැම දෙයක්ම කළේ කතා බහ කරලා. විකට වැඩසටහනක් පුරුදු පුහුණු වුණේ අපේ ම ගෙවල්වල. අපි වැඩසටහන් වෙනුවෙන් ලොකු මහන්සියක් කැප කිරීමක් කළා. අපිට ඕනෑ කළේ හොඳ නිර්මාණය කරන්න.“
දවසක් බර්ටියි, ඇනස්ලියි ගුවන් විදුලිය ළඟ ඉඳල කිරිබත්ගොඩට යන 154 බස් එකක නැග්ගාහ. මේ අතර කොල්ලෝ දෙන්නෙක් නැගල රණ්ඩුවක් ගැන කතා කරමින් සිට ඇත. “කෝමද මචං පයිට් එක“ එකෙක් අහනවා. අනිත් එකා මෙහෙම කියනවා.
“ඌ මට ගැහැව්ව. මට ඌ ගැහැව්වා“
බලන් යනකොට ගහල තියෙන්නෙ ඌටමයිනේ“ ඇනස්ලි බර්ටිගෙ කණට කියා ඇත. මේ බස් එකේ හිටපු අයට තේරී නැත. මේක තුළින් හොඳ විකට කතාවක් ලියන්නැයි බර්ටි ඇනස්ලිට කීය. කවදත් පොඩි සංකල්පයකින් අපූරු විහිළු කතා ලිවීමට ඇනස්ලි නිසා බර්ටි එයට පෝර දමා ඇත. ඉතා සාර්ථක විකට ජවනිකාවක් ගුවන් විදුලියෙන් අතිශයින්ම ජනප්‍රිය වූහ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි රෝහාන් පියදාස 1983 “කල්පනා“ සඟරාවට ලියා තිබුණා අපට මතකය.
බර්ටිගේ වැඩිමහල් පුතා අපට කීවේ “තාත්තා සීරියස් චරිතයක්. ගුවන් විදුලියේ විහිළු කතා තාත්තා ගෙදර ගෙනාවේ නෑ. ගෙදර තිබුණේ තාත්තාගේ නීතිය යි. තාත්තා මටත් මල්ලිටත් හැම වරදට ම ගුටි දුන්නා. ඒත් කිසි වරදකට නංගිලා දෙන්නාට නම් අත තිබ්බේ නෑ. ඒ දෙන්නටයි වැඩිය ආදරේ. තාත්තා ගෙදර නිහඬ චරිතයක්. පොත්පත් කියවනවා. හවස පන්සල පැත්තට යනවා. ‘ඇත්ත‘ පත්තරයටත් තාත්තා ලිපි ලිව්වා. උපහාස කතා ලිව්වා.“
බර්ටිගේ නැඟණිය චාන්දනී ද විකට චරිතාංග නිළියකි. ඇය තම සොහොයුරා සමඟ මීට වසර 70 පෙර “බණ්ඩා නගරයට පැමිණීම“ චිත්‍රපටයේ රඟපෑවාය. අද චාන්දනී කඩවත ඉහළකරගහමුණ පදිංචිව සිටින්නීය. ඇගේ දියණිය වූ කුමුදු සෙනෙවිරත්න ලංකා ගුවන් විදුලියේ නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කළ අතර පුතු ජයන්ත සෙනෙවිරත්න ඉන්දිය අඛලභාරතීය ගුවන් විදුලියේ සේවය කරයි. කුමුදු හා ජයන්තගේ පියා අභාවප්‍රාප්ත ජනප්‍රිය චිත්‍රපට නළු ජෝසප් සෙනෙවිරත්න ය..