වසර දෙකකදී ‘උනන්දුවා’ ලෝක වෙළෙඳපොළට | සිළුමිණ

වසර දෙකකදී ‘උනන්දුවා’ ලෝක වෙළෙඳපොළට

පින්තැන්න වතු යායේ අගාවුඩ් වගාව

 

 

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේන විසින් ආරම්භ කරන ලද මෙරට ප්‍රථම 'අගාවුඩ්' තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත ශාලාව, ලබන සැප්තැම්බර් 23 වැනිදා, නාමල් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල, අයගම පිහිටි පින්තැන්න ප්ලාන්ටේෂන් හිදී විවෘත වීමට නියමිත ය. කුමාර් ධර්මසේනයන් ගේ හිමිකාරීත්වය ඇති පින්තැන්න හෝල්ඩින් සමාගම යටතේ, අගාවුඩ් හා බැඳුණු ව්‍යාපාර ද්විත්වයක් ක්‍රියාත්මක වේ. ඉන්, පින්තැන්න ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ, අගාවුඩ් වගා කිරිමේ ව්‍යාපෘති සහ ආයෝජන ක්‍රියාත්මක වන අතර, පින්තැන්න ඌඩ් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ, අගාවුඩ් තෙල් නිස්සාරණය කොට අපනයනය කිරීමේ කටයුතු සිදු කරයි. මෙම නව කර්මාන්තශාලාව ඉදි වනුයේ පින්තැන්න ඌඩ් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ය.

 

මෙම වතු සමාගමේ දැනටමත් 250 ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටින අතර, මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමත් සමඟ, තවත් සියයකට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා බිහි වන බවත්, මේ වන විට හතළිස් පන්දහසක් පමණ වන සිය අගාවුඩ් ගස් එකතුවට අමතරව, රට පුරා නව වගා කිරීම් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත්, කුමාර් ධර්මසේන පවසයි.

" පින්තැන්න ප්ලාන්ටේෂන් කියන්නේ, 1999 පටන් අපේ පවුලේ ව්‍යාපාරයක්. ඒ කාලේ ප්‍රධාන බෝග ලෙස අපි වගා කළේ, තේ, රබර්, කුරුඳු සහ ගම්මිරිස්.

2009 දී, එක් අයි. පී. එල්. තරග විනිශ්චයක යෙදී සිටිය දී අහඹු ලෙස මට මේ අගාවුඩ් බීජය හම්බ වුණා. අත්හදා බැලීමක් ලෙස මම එය පැළ කළා. ඉන්දියාවේ දෙවැනියට විශාල අගාවුඩ් අපනයනයේ යෙදෙන කර්මාන්තශාලාව හිමි මගේ මිත්‍රයකු තමයි, මේ සඳහා මාව උනන්දු කළේ. ඔහුගේ සබඳතා මත වියට්නාමය, තායිලන්තය, බර්මා, ඉන්දියාව වගේ රටවලට ගොස් ඒ රටවලට ආවේණික අගාවුඩ් වගාව පිළිබඳ හදාරන්න මට අවස්ථාව ලැබුණා. 2010 වන විට මේ සෑම රටකට ම ආවේණික අගාවුඩ් බීජ ගෙන්වා ගෙන, මම ලංකාවේ අපේ වතු යායේ රෝපණය කළා.

අගාවුඩ් පවුලට අයත් ශ්‍රී ලංකාවට ආවේණික ගහරුවල්ලා හෙවත්, වල්ලපට්ටා කියන්නේ, ලෝකයේ අගාවුඩ් පවුලේ වටිනාම සුවඳ ඇති ශාකය. ඒ නිසාම, මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකේය වල්ලපට්ටා සුවඳට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. මගේ ව්‍යාපෘති ටිකෙන් ටික පුළුල් වන විට, අගාවුඩ් සහ වල්ලපට්ටා අපනයනයට බලපත්‍ර ලැබුණා.

අපි අගාවුඩ් පැළයට අවුරුදු හතරක් වූ විට, ඒ පැළය ආමුකූලනය කිරීම සිදුකරනවා. ඒ කියන්නේ, පණ ඇති ක්ෂුද්‍ර ජීවියෙක් ගසට ඇතුළු කරනවා. ඒ ක්ෂූද්‍ර ජීවියා ගේ ක්‍රියාකාරීත්වය මත, ගහ ඇතුළේ අගා නිෂ්පාදනය සිදු වනවා. අවුරුදු අටකට පස්සේ අගාවල උසස් තත්ත්වය හැදී අවසන්. එවිට තමයි, ගහ කපලා, අගා ටික අර ගන්නේ. මේ තමයි, ශාකයේ නියම අස්වැන්න. හරි කර්මාන්තශාලාවක් තිබුණේ නැතත්, අපි එයින් ඔයිල් හදා ටික ටික පිටරට යැව්වා

කුමාර් ධර්මසේන

පිටරට තිබෙන ඉල්ලුම දැක්කට පස්සේ තමයි මට හිතුණේ, ලංකාවේ මේ සඳහා කර්මාන්ත ශාලාවක් හදන්න ඕනේ කියලා. මගේ අදහසට රජය මට උදව් කළා. මේක රු.මි. 350 ක පමණ ආයෝජනයක්. ඒ නිසා, ඊ. ඩී. බී. එකෙන් මට 10% ක ග්‍රාන්ට් එකක් ලැබුණා.

මේ වන විට අපට මාතර, ගාල්ල සහ මහරගම ශාඛා තුනක් තිබෙනවා. මේ ශාඛාවලදි අගාවුඩ් පැළයක් වෙනුවෙන් මේ රටේ ඕනෑම පුරවැසියකුට ආයෝජනය කරන්න පුළුවන්. තමන්ගෙ වත්තේ වුණත් ගහක් දෙකක් වවා ගන්න පුළුවන්. ගහ වැඩුණට පස්සේ, ආමුකූලනය කර, තෙල් නිස්සාරණය කිරීමේ පටන් සියලු කටයුතු අපේ ආයතනය සිදු කර, ඔවුන්ට නිසි මුදල ලබා දෙනවා.

මේ රටේ සෑම පුරවැසියකුට ම මම කියනවා, අගාවුඩ් ගහක් දෙකක්, තමන්ගේ ගෙවත්තේ හෝ වවාගන්න කියලා. හරි විදියට කළොත් මේක රටට විදේශ විනිමය විශාල වශයෙන් ගේන්න පුළුවන් වගාවක්. රජයටත් පුළුවන්, මෙහි ඇති වාණිජ වටිනාකම කියා දී, මෙම ශාකය ගෙවත්තේ හෝ වවන්නට ජනතාව උනන්දු කරවන වැඩපිළිවෙළක් සකසන්න. එවිට අපිටත් පුළුවන්, ආයතනයක් විදියට ඒ වැඩපිළිවෙළ සඳහා උදව් කරන්න. ලබන මාසේ අපේ ෆැක්ටරිය ඇරියට පස්සේ, අගාවුඩ් හා බැඳුණු මේ කර්මාන්ත තවත් පුළුල් වනවා.

අපේ ගස් 45,000 ට අමතරව මේ වන විට, අයගම කලවාන බුලත්සිංහල අවට ප්‍රදේශවල අප වෙනුවෙන් ම අගාවුඩ් වවන ගොවි මහත්වරු සියයක් පමණ සිටිනවා. අපි ඔවුන්ට පැළ සපයා දී තිබෙනවා වගේම ඔවුන් අප වෙනුවෙන් ඒ ගස් වර්ධනය කරනවා.

රටට විශාල වශයෙන් විදේශ විනිමය ඉපැයිය හැකි අගාවුඩ් තෙල් නිස්සාරණය සඳහා මෙම වල්ලපට්ටා හෙවත් ගහරුවල්ලා කුලයේ ශාකය සකස් කරන ආකාරය, ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මිනිස්සු නිකන් වල්ලපට්ටා ගස් කැපුවට, අගා එහි නිෂ්පාදනය වන්නේ නැහැ. ඒකට මම අර ඉහත කී ක්ෂුද්‍රජීවියා ඇතුළත් කළ යුතුයි. ඒ නිසා නිරපරාදේ වල්ලපට්ටා ගස් කපන එකේ තේරුමක් නැහැ.

අනික තමයි, රටට විදේශ විනිමය උපයන මෙවැනි වගාවන් සඳහා, ඒ ඒ අදාළ ආයතන අපට සහාය දැක්වීම ඉතාමත් වැදගත්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගුවේ සහසම්බන්ධතාව, දැනට තිබෙන තත්වයට වඩා උසස් වනවා නම්, අපට තව තවත් අගාවුඩ් අපනයනය විශාල ලෙස කර ගෙන යාමට අවස්ථාව ලැබෙනවා. නිත්‍යානුකූලව විදේශ විනිමය උපයන්න මහන්සි වන, අපි වගේ අයට ඉතා සරල නීති රීති සමුදායක් සකස් කිරිම ඉතා වැදගත් කියලයි, මම කියන්නේ. මොකද, අපිට මුහුණ පාන්න වෙන ප්‍රශ්න, හොර පාරෙ යන අයට නැහැ. මේ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතුයි. ඒ සඳහා විනිවිදභාවයකින් යුතුව නීතිරීති සැකසීමයි, වැදගත්ම දේ..."

සිය ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් කුමාර් තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. එනිසාම තවත් වසර දෙකක් ඇතුළත, ශ්‍රී ලාංකීය අගාවුඩ් නිෂ්පාදනයෙන් 'උනන්දුවා' නමින් ජාත්‍යන්තර තලයේ සුවඳ විලවුන් සන්නාමයක් එළිදැක්වීමට ද ඔහු කටයුතු කරමින් සිටී.

" 'උනන්දුවා' බ්‍රෑන්ඩ් එක අපි අලෙවි කිරීමට බලාපොරොත්තු වන්නේ, රුපියල් පන්දහසේ සිට ලක්ෂ දෙකක් තුනක් දක්වා මිලකට. එය ලෝකයේ අගා සුවඳ විලවුන් හා තරග කිරීමට හැකි තරමේ උසස් ප්‍රමිතියෙන් යුතු විලවුන් වර්ගයක්.

ඇත්තටම 100%ක් ස්වාභාවික නිෂ්පාදන කරන ලෝකයේ කර්මාන්ත තිබෙන්නේ සියයට දෙකයි තුනයි. මමත් ඒ විරල කර්මාන්ත අතරේ කෙනෙක් වීම ගැන, ආඩම්බරයි.

ඒ වගේම, ශ්‍රී ලාංකිකයකු හැටියට මම බොහොම වාසනාවන්ත කෙනෙක්. අපේ වතුයායේ බොහොම ලස්සන දිය ඇල්ලක් තිබෙනවා. ඒ දිය ඇල්ලේ පිරිසුදු වතුරෙන් පමණයි, අපි තෙල් නිස්සාරණය කරන්නේ. තෙල් නිස්සාරණය සඳහා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනික ස්වාභාවික කොම්පෝස්ට් සහ කුකුළු පොහොර පමණයි මේ අගාවුඩ් ශාකයේ වර්ධනයට යොදන්නේ.

100%ක් ස්වාභාවික නිෂ්පාදනයක් වන තරමට, ලෝක වෙළෙඳපොළේ ඒ සඳහා ඇති ඉල්ලුම වැඩියි. ඒවාට ගෙවන, මිල ගණන් වැඩියි. වසරකට ලෝකයේ සිදු වන අගාවුඩ් අලෙවිය, ඩොලර් බිලියන හයක්.

රටවල් 37කට අපි අපේ අගාවුඩ් තෙල් යවනවා. ඉදිරියේ දී වසරකට ඩොලර් මිලියනයක විදේශ විනිමය ඒ හරහා රටට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.." ඒ කුමාර ධර්මසේනගේ හඬයි.

Comments