ලොව වටා | සිළුමිණ

ලොව වටා

ඉන්දුනීසියානු

කොවිඩ් මරණ අතරට

ගිනි කන්දකුත් එක්වෙයි

ඉන්දුනීසියාවේ සක්‍රීයම ගිනි කන්ද වශයෙන් සැලකෙන මිරාපි ගිනි කන්ද පසුගියදා විදාරණය වීම අරඹා තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ සිට මිරාපි ගිනි කන්ද සක්‍රිය වෙමින් පවතින බවට ඉඟි පළවී තිබූ අතර පසුගියදා එම ගිනි කන්දේ මුවවිට හරහා ලාවා අතුරා යෑමට පටන් ගෙන තිබේ.

ගිනි කන්දේ මුව විට සිට කිලෝමීටර් පහක විශ්කම්භයක වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යෑමට උපදෙස් ලබා දී තිබෙන බව ඉන්දුනීසියානු රජය නිවේදනය කළේය. එහෙත් මේ වන විටත් ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය වාර්තා කරමින් සිටින අතර මේ ගිනි කඳු විදාරණය එම තත්ත්වය තවදුරටත් බැරූරුම් කිරීමට හේතු වනු ඇති බවට සැකයක් නැත.

 

එක් ආසදිතයකු නිසා

නවසීලන්තයම වහයි

පසුගිය පෙබරවාරි මාසයෙන් පසු නවසීලන්තයෙන් ප්‍රථම වරට කොවිඩ් ආසාදිතයකු වාර්තා වී තිබේ. මේ ආසාදිතයා වාර්තා වී ඇත්තේ ඔක්ලන්ඩ් නගරයෙන් වන අතර මේ හේතුවෙන් මුළු රටම වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන බව අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා සිටියාය.

කෙසේ වුවද නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ මේ අහඹු ආසාදිතයා වාර්තා වීම පහසුවෙන් සැලකිය යුතු කරුණක් නොවන බවයි. එබැවින් තවත් ආසාදිතයන් සිටීදැයි සෙවීමට කටයුතු කරමින් සිටින බවත් ඒ අතර ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ මනාව පිළිපැදිය යුතු බවත්ය. පසුගිය වසරේ කොවිඩ් ලෝක ව්‍යප්තිය ආරම්භ වීමෙන් පසුව නවසීලන්තය ලෝකයේ ඉතා හොඳින්ම කොවිඩ් පාලනය කළ රට ලෙස ප්‍රසිද්ධියට පත් විය.

ගිනි නිවන්න උදවු වෙන්න

තම රට තුළ ඇවි‌ෙළමින් තිබෙන ලැව් ගිනි නිවා දැමීමට උදව් වන ලෙස ඊශ්‍රායලය විදෙස් රටවලින් පොදු ඉල්ලීමක් කර තිබේ. මේ වන විට දින කිහිපයක් පුරා ඊශ්‍රායෙල් ගිනි නිවන හමුදාව ජෙරුසෙලෙම අවට ඇවි‌ෙළමින් පවතින ලැව් ගිනි නිවා දැමීමට මහත් සටනක නිතර වෙමින් පවතින අතර අන්තර්ජාතික සහය ඉල්ලන මෙන් රජයෙන් ඉල්ලීම් කර ඇත්තේ එම ගිනි නිවන භටයන් විසින් බවද පැවසේ.

මේ වන විට ග්‍රීසිය තමන් සහය ගිනි නිවන භටයන් එවන බවට ඊශ්‍රායලයට පොරොන්දු වී ඇති අතර ඉතාලිය සහ ප්‍රංසයද සුභවාදී ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා වේ. මේ වන විට ජෙරුසෙලෙම් නගර ආසන්නනේ හෙක්ටයාර 2400ක ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශයට පත් වී ඇතැයි ඊශ්‍රායෙල් මාධ්‍යවල සඳහන් විය.

 

බහුතරය ගන්න ටෘඩෝ සටන් බිමේ

පසුගිය 2019 වසරේදී තමන්ට අහිමි වූ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව යළි ලබා ගැනීම අරමුණු කර ගනිමින් සැප්තැම්බර් මාසයේදී මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි කැනඩා අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. මේ වන විට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවත්වාගෙන යන්නේ සුළුතර ආණ්ඩුවකි.

පසුගිය කොවිඩ් සමයේදී ආර්ථීකය ආරක්ෂා කර ගැනීමට සමත්වීම මෙන්ම ඉතා කඩිනම් එන්නත්කරණය මඟින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සමත්වීම යනාදි කරුණු මත තමන්ට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා දීමට ජනතාව කටයුතු කරනු ඇති බවට විශ්වාසයක් කැනඩා අගමැතිවරයා තුළ පවතින බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. කෙසේ වුවද අගමැතිවරයා සිතන අන්දමට ජනතාව සිතනවාද යන්න තහවුරු කර ගත හැකි වනු ඇත්තේ මැතිවරණය පවැත්වීමෙන් පසුව වනු ඇත.

 

 

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන්

බෙලරූස් - ලිතුවේනියා රණ්ඩුවක

බෙලරූස් සංක්‍රමණිකයන් තමන්ගේ රටට පැමිණෙමින් සිටීම තමන්ට පීඩාවක් වී ඇති බවත්, බෙලරූස් රජය සංක්‍රමණිකයන් තම රටට පැමිණීම සම්බන්ධව අනුබල දෙන අන්දමින් කටයුතු කරමින් සිටින බවත් ලිතුවේනියාව පසුගියදා චෝදනා කර සිටියේය.

බෙලරූස් රාජ්‍යයේ අස්ථාවර දේශපාලන තත්ත්වය සහ දේශපාලන පළිගැනීම් වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා රට හැර යෑමට පටන්ගත් අතර දේශසීමාව හරහා ලිතුවේනියාවට ගමන් කිරීම බොහෝ දෙනා තෝරාගත් ක්‍රමවේදය විය. බෙලරූස් සංක්‍රමණිකයන්ට අමතරව මැදපෙරදිග සහ ඉරාකය වැනි රටවල සිට පැමිණෙන සංක්‍රමණිකයන්ද බෙලරූස් හරහා තම රටට පැමිණෙන බවත් එහිදී බෙලරූස් ආරක්ෂක අංශ එවැනි පිරිස් බලහත්කාරයෙන් තම දේශසීමාවට තල්ලු කර දමන බවත් ලිතුවේනියාව එල්ල කළ චෝදනා අතර විය.

Comments