මැලේසියාවේ දේශපාලන අර්බුදයෙන් ආර්ථිකයත් කොට උඩ යයිද? | සිළුමිණ

මැලේසියාවේ දේශපාලන අර්බුදයෙන් ආර්ථිකයත් කොට උඩ යයිද?

මැලේසියාව යනු ගිනිකොණ ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රටකි. කලක් නියම දේශපාලන නායකත්වය නොලැබීමෙන් එකතැන පල්වෙමින් පැවති මැලේසියාව මහතීර් මොහොමඩ්ගේ නායකත්වය යටතේ සංවර්ධිත ඉලක්ක කරා ගමන් කළේ ශක්තිමත් ආර්ථිකයකටද පදනම දමා ගනිමිනි. එතැන් සිට සැලකිය යුතු කාලයක් ස්ථාවර දේශපාලන නායකත්වයක් එරටට හිමිවූයේ ණය බරින් තොර ස්වාධීන රටක් ලෙස ස්ථාවරත්වයක්ද හිමි කර ගනිමිනි.

 

එහෙත් දැන් කලක සිට මැලේසියාවට හිමිව තිබූ ස්ථාවර දේශපාලන නායකත්වයට කණ කොකා හඬමින් තිබෙන බවක් පෙනේ. එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගියදා පැවති ආණ්ඩුව ඉල්ලා අස්වීමත් සමඟිනි.

මේ අර්බුදයේ ආරම්භය සනිටුහන් වන්නේ 2020 වසරේදී කලක් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටි ආචාර්ය මහතීර් මොහොමඩ් යළිත් වරක් දේශපාලනයට පිවිසි අතර ඔහු මාස 22ක කාලයක් මැලේසියාව පාලනය කළේය. එහෙත් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඔහුට නොහැකි වූයේ එවකටත් රට කිසියම් අස්ථාවර බවක් දක්වා ගමන් කරමින් තිබූ බැවිනි. 2020 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබෙන තරමේ පාර්ලිමේන්තු බහුතරයක් තමන් සතුව ඇතැයි හිටපු අගමැති අන්වර් ඊබ්‍රාහීම් ප්‍රකාශයට පත් කළ අතර මහතීර් මොහොමඩ් ඉල්ලා අස් වීමෙන් පසු අන්වර් ඊබ්‍රාහීම් හිටපු අගමැතිවරයාට බලය පැවරෙනු ඇතැයි අනුමාන විය. එහෙත් මහතීර් මොහොමඩ් ඒ සඳහා දිනයක් නියම නොකළ අතර එයද ගැටලු රාශියක් ඇතිවීමට හේතුවක් විය.

මහමැතිවරණයක් පැවැත්වීමට යෝජනා වුවද 2021 වසරේ ආරම්භයේදීම රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් හදිසි තීරණ ගැනීමට සිදුවූයේ කොවිඩ් රෝගය පැතිරීමත් සමඟිනි. ඒ අනුව අගෝස්තු මාසය දක්වා මැතිවරණය කල් දැමීමට තීරණය විය. ඒ වන විටත් සන්ධාන ආණ්ඩුවක් බිඳ වැටී තිබුණු අතර පසුගියදා පැවති සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වීමටද දේශපාලන පක්ෂ කිහිපයක්ම කටයුතු කළෙන් මැලේසියාවේ එකද දේශපාලන පක්ෂයකට හෝ පාර්ලිමේන්තුව තුළ බහුතර බලය අහිමි වූයේ රටතුළ අස්ථාවර තත්ත්වයක් උද්ගත කරමිනි.

මේ වන විට මැතිවරණයකින් තොරව නැවතත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කෙරෙහි කතාබහ ඇතිවෙමින් තිබෙන්නේ කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීම එතරම් යෝග්‍ය ක්‍රියාවක් නොවන බැවිනි.

පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් පෙන්නුම් කරන පක්ෂයට තමන් ආණ්ඩුවක් පිහිටුවීම ආරාධනා කරන බව මැලේසියාවේ රජු පවසා ඇති නමුදු මේ ලියන මොහොත දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් බහුතර ආසන සංඛ්‍යාවක් පෙන්නුම් කිරීමට අපොහොසත් වී තිබේ.

මේ සිදුවීම් සිදුවන විට මැලේසියාවේ අගමැති ධූරය හොබවමින් සිටි මුහියාදීන් සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් පසු තමන්ට ආණ්ඩුවක් පිහිටූවීමට හැකි බව විපක්ෂය පැවසූවද විපක්සයට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පොලීසිය ඉඩ ලබා දී නැත.

ගත වී යන මොහොත වන විටත් මැලේසියාවේ ස්ථාවර පාලනයක් ස්ථාපිත වී නොතිබූ අතර එසේ පැවතීම රටකට කිසිසේත් හිතකර නොවන බව පැවසිය හැකිය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ රටරටවල ආර්ථිකයන් අස්ථාවර වෙමින් පවතින අවස්ථාවක ශක්තිමත් ආණ්ඩුවක් මඟින් ශක්තිමත් නිවැරදි තීරණ ගැනීම රටකට අත්‍යවශ්‍යමය. මැලේසියානු පාලකයන් අඳුරේ අතපත ගාමින් නොසිට තම මඟ හෙළි කර ගන්නේ නම් එය සමස්ත මැලේසියාවේ හෙට දිනය යහපත් කරනු ඇත.

Comments