![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/08/27/10_2.jpg?itok=tL19Kr2u)
භික්ෂුණී ශාසනය පිළිබඳ විවිධ මත ගැටලු පැවතීම හේතුවෙන් විශාල හිරිහැර කරදර බාධක මැද්දේ මෙරට භික්ෂුණී ශාසනය එනම් බුදු දහමේ කියවෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස සම්පූර්ණ කරමින් රට පුරා වැඩ සිටිති.ලංකා භික්ෂුණී ඉතිහාසයේ උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා 3000 සීමාව ඉක්ම වීය.
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක නාමළුවේ ශ්‍රී සුමංගල මහා මහනාහිමියන් ඉදිරියේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ සංඝ සභාවේ සීමා මාලකයේ දී භික්ෂුණීන් වහන්සේලා විසි තුන් නමක් උපසම්පදා විනය කර්මයේ පිහිටුවීම සිදු කෙරිණි.
මෙම භික්ෂුණීන් වහන්සේලා විසි තුන් නමත් සමඟ මෙරට වැඩසිටින උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා තුන් දහසේ සීමාව ඉක්මවූ බව ශ්‍රී ලංකා භික්ෂුණී ශාසන මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ පැවසුවාය.
මෙදින භික්ෂුණී ශාසනයේ උපසම්පදා ලැබූ භික්ෂුණීන් අතර ගුරුවරු දෙදෙනකු සිටීම විශේෂත්වයකි.
මෙරට භික්ෂුණී ශාසනය කඩා වැටී වසර නවසීයක් ගත්වීමෙන් පසුව නැවත වරක් ශ්‍රී ලංකා භික්ෂුණී ශාසනය ආරම්භ කොට භික්ෂුණීන් වහන්සේලාට උපසම්පදාව හඳුන්වා දීම සිදු කෙරිණි.
මේ වන විට දිවයින පුරා සාමණේර භික්ෂුණීන් වහන්සේලා 7,000 ක ප්‍රමාණයක් වැඩ සිටින බවත් ඒ පිරිසගේ මූලික අවශ්‍යතාවයන් රැසක් මේ වන විටත් අහිමි කිරීම බරපතළ ප්‍රශ්නයක් බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ මෙහිදී පැවැසූහ.
ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ කියා සිටියේ උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා මෙරට ඉතිහාසයේ 3,000 ඉක්මවීමත් සාමණේර භික්ෂුණීන් වහන්සේලා මෙරටට 7,000 කට අධික පිරිසක් වැඩ සිටිය ද මෙතෙක් තමන් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් පවා නිකුත් නොකරන බව ය. ඡන්ද අයිතිය නැති එකම කණ්ඩායම භික්ෂුණීන් වහන්සේලා බව ද උන්වහන්සේ සඳහන් කළා ය.
ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ තම භික්ෂුණී සසුන පිළිබඳව නැවත වරක් සිය මතය බලධාරීන් වෙත මුදා හරින්නට උත්සාහ කළේ මෙරට උපසපන් භික්ෂුණීන් වහන්සේලා තුන් දහසක් සපිරුණු පසුගිය දිනක දඹුල්ල උපෝසථ උපෝසථාගාරයේ ආසන්නයේ දී ය.
"අපි කරන්න තියෙන හැම ඉල්ලීමක් ම කරලා තියෙනවා අඩුම තරමේ මම දන්න හැටියට ලංකාවේ ඡන්ද අයිතියක් නැති එක්ම කොට්ඨාසය තමයි අපේ භික්ෂුණින් වහන්සේලා. ඡන්දය අහිමි වෙන්න හේතුව තමයි උන්වහන්සේලාට හැඳුනුම්පතක් නිකුත් නොකිරීම මීට පෙර හැඳුනුම්පත නිකුත් කළා. එක වරම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සිය අභිමතය පරිදි කාගේ හෝ ඉල්ලීමක් ඉටු කරමින් සිටිනවා. මානව හිමිකම් කොමිසන් සභාවෙන් පවා නිර්දේශ නිකුත් කරලා තියෙනවා භික්ෂුණීන් වහන්සේලාගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා. එහෙත් කිසිම රජයක් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැහැ."
" විහාර ආරාම ලියාපදිංචි නැවතිලා අපි භික්ෂුණීන් වහන්සේලා විවිධ කරදර බාධක මැද්දේ ශාසනික කටයුතුවල මෙන්ම එම අයගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරනවා. දහම් පාසල් පවත්වා ගෙන යනවා ගුරුවරු විශාල පිරිසක් භික්ෂුණී ශාසනයේ වැඩ ඉන්නවා; මහාචාර්යවරු කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල ගුරුවරු ආදී බොහෝ දෙනෙක් භික්ෂුණී සසුනට එකතු වෙලා ඉන්නවා සමාජයේ සෑම වැඩක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සිද්ධ කරනවා. හැබැයි අපේ රටේ භික්ෂුණී ශාසනය පිළිබඳව කිහිප දෙනකුගේ මතය නිසා පවතින රජය පැවති රජය ද නොදැක්කා වගේ ඉන්නවා ඒක තමයි අපට තියෙන පුදුමය."
"අද වන විට ලංකාවේ භික්ෂුණීන් වහන්සේලා හත් දහසක් පමණ වැඩ සිටිනවා. මේ අය රැක බලා ගන්න පෝෂණය කරන්න එම භික්ෂුණීන් වහන්සේලාට නිවන් අවබෝධ කර කරගන්න උදව් උපකාර කරන්නේ මහජනතාව. බොහෝ ජනතාව ආදරෙන් ක්‍රියාවලිය සිදු කරමින් ඉන්නවා. ඒ නිසා අපට විශාල කනගාටුවක් මේ ගැන දැනෙන්නේ නැහැ. හැබැයි හැමතැනටම වර්තමාන සමාජයේ හැඳුනුම්පත අවශ්‍ය වෙලා තියෙනවා. කෙනකුට කියන්න පුළුවන් නිවන් දකින්න ගියා නම් මොකටද හැඳුනුම්පතක් කියලා. හැබැයි අපට තැන් තැන්වල වැඩම කරවන්න විභාගවලට මෙහෙණින් වහන්සේලා ඉදිරිපත් කරන්න ඒ විතරක් නෙවෙයි අඩුම තරමේ එන්නත ලබා ගන්න, මාර්ග වල ගමන් කරන්න රජයේ කටයුතුවලට වලට මැදිහත් වෙන්න මේ රටේ පරම අයිතිය මැතිවරණයකදී ඡන්දය භාවිත කරන්න හැමදේටම ලංකාවේ හැඳුනුම්පත අවශ්‍ය වෙලා තියෙනවා "
"හැබැයි ඒ සියල්ල දැනගෙනත් ඉතා සූක්ෂම ලෙස අපට හැඳුනුම්පත් අහිමි කරලා තියෙනවා විහාර ආරාම ලියාපදිංචිය නැත්තන් රජයෙන් ලැබෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ .ඒවා ලියාපදිංචි කරන්න අකමැත්ත ප්‍රකාශ වෙනවා; අපේ සාමණේර භික්ෂුණීන් වහන්සේලා බොහෝ දෙනකුට විභාග පවා ලියන්න නොහැකි වුණා.
පසුගියදා දඹුල්ල උයන්වත්ත රාජමහා විහාරස්ථානයේදී උපසපන් භික්ෂුණින් වහන්සේලා තිස් දෙනමක් උපසම්පදා විනය කර්මය සාර්ථකව අවසන් කිරීමත් සමඟ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද හිමියන් ශ්‍රී ලංකා භික්ෂුණී සසුන ට සිදුවී ඇති හානිය පිළිබඳව මෙසේ පැවසූහ.
සාමණේර භික්ෂුණීන් වහන්සේලා මෙරටට 7,000 කට අධික පිරිසක් වැඩ සිටිය ද මෙතෙක් තමන් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් පවා නිකුත් කරන්නේ නෑ...
ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ
"ශ්‍රී ලංකාවේ දෙවැනි උප උපසම්පදාව ආරම්භ කළේ 1998 වසරේ එදා ඉඳලා මේවනවිට වනවිට 3000කට අධික භික්ෂුණීන් පිරිසක් උපසම්පදා වෙලා තියෙනවා ."
"අපේ රටේ භික්ෂුණී වහන්සේලාට බරපතළ ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙන්නේ හැඳුනුම්පත් අහිමි වෙලා විහාර ආරාම ලියාපදිංචිය නවතා දාල තියෙනවා එය මූලික මිනිස් අයිතිවාසිකමක්, මානව හිමිකම් කොමිෂන් වාර්තාව පවා මේක නිර්දේශ කරල තියෙනවා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට කාන්තා විමුක්තිය පිළිබඳව දේශනා කළේ.
උන්වහන්සේ සියලුදෙනා ගේ හිත සුව පිණිස කටයුතු කළා වර්තමානයේ මේ ධර්ම විනය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් නොකර තම තමන්ගේ තියෙන පටු ආකල්ප මත සිදුකරන ක්‍රියා නිසා හානි වෙනවා "
"මේ වන විට භික්ෂුණීන් වහන්සේලාගේ අධ්‍යාපනය හොඳයි. පිරිවෙන් 12ක් පමණ ලංකාවේ පිහිටුවලා තියෙනවා මේක බෞද්ධ රටක් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් කරලා තියෙනවා බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීම රජයේ සතුව පවතිනවා කියලා සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා සිව්වනක් පිරිස වැඩ සිටිනවා කියලා" දැන්වත් මේ ගැන සොයා බලා කටයුතු කළයුතුව තිබෙනවා.