තලේබාන් බලය අල්ලද්දී ඇෆ්ගන් වැසියෝ නිදහස සොයා යති | සිළුමිණ

තලේබාන් බලය අල්ලද්දී ඇෆ්ගන් වැසියෝ නිදහස සොයා යති

ඇමරිකානු ගුවන් යානයට ගොඩවීමට පැමිණ සිටි  දහස් ගණන් ජනතාව

මියන්මාර සිදුවීමෙන් පසු තවත් රටක ප්‍රජාතන්ත්‍රවාදී නොවන රෙජීම මාරුවක් අත්දැකීමට සිදුවී තිබේ. ඇෆ්ගනිස්තානය පසුගියදා සම්පූර්ණයෙන් තලේබාන්වරුන්ගේ පාලනයට නතු වූ අතර එසේ වීමට පෙර රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධව සිටි බොහෝ දෙනෙක් ආරක්ෂිතව වෙනත් රටවලට පලා ගිය බවද වාර්තා විය.

 

විශේෂයෙන්ම මේ සිදුවීම් මාලාව සිදුවන විට ඇෆ්ගනිස්තානය පාලනය කරමින් සිටි ජනාධිපති අශ්රෆ් ඝානි ඉතා ආරක්ෂිතව විදෙස් රටකට පලා යෑමට සමත් වූ බව මේ වන විට හෙළි වී තිබේ. පසුගිය 16වැනිදා තලේබාන්වරු සාමකාමීව කාබුල් නගරයට ඇතුළු වූ අතර ඔවුන් 15වැනිදා සිට කාබුල් නගරය ආසන්නයට පැමිණ සාමකාමී බල හුවමාරුවක් බලාපොරොත්තුව රැඳී සිටියහ. ජනාධිපති ඝානි රටින් පලා යෑමට කටයුතු කරන්නේ මේ සංක්‍රාන්ති කාලය තුළදීය.

ජනාධිපතිවරයා උස්බෙකිස්තානයට හෝ තජිකිස්තානයට පලා ගිය බවට මත ප්‍රකාශ වුවද ඇතැම් මාධ්‍ය වාර්තා පවසා තිබුණේ ඔහු ඔමානයට පලා ගිය බවයි. කෙසේ වුවද ජනාධීපතිවරයාට ආරක්ෂිතව රටින් පිටවීමට තලේබාන් සහය ලැබුණු බව නම් පැහැදිලිය. ජනාධිපතිවරයා පලා යෑමට පෙර තම සම්පත් අතරින් හැකි උපරිමය රැගෙන යෑමට කටයුතු කළ බවටද තොරුතුරු වාර්තා විය. ඔහුට රැගෙන යෑමට අවශ්‍ය වූ තවත් බොහෝ දේ තිබුණද ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් දේ බැහැර කිරීමට සිදුවූ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ඒ අතරම ඇෆ්ගනිස්තාන මහ බැංකුවේ වැඩබැලූ අධිපතිවරයාද රටින් පලා ගිය අතර බැංකු පද්ධතිය අකර්මණ්‍ය වූ බවටත්, මුදල් ඒකකය දරුණු ලෙස අවප්‍රමාණය වෙමින් පවතින බවටත් වාර්තා 17වැනිදා වන විට වාර්තා විය.

මේ සියල්ල සිදුවීමට ගත වූයේ මාස හතරකටත් වඩා අඩු කාලයක් බැවින් ඇෆ්ගන් වැසියන්ට මේ සියල්ල සිහිනයක් මෙන් දැනෙනවාට සැකයක් නැත. විදේශයන්හි රඳවා තබමින් අධික වියදමක් දරමින් නඩත්තු කරන ඇමරිකානු හමුදා යළි සියරට කැඳවිය යුතු බවට වන මතය අනුව කටයුතු කරමින් ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින තම හමුදා සහ නේටෝ හමුදා යළි කැඳවන බව බයිඩ්න් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය අප්‍රේල් මාසයේ මැද භාගයේදීය. ඒ සමඟම නේටෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ද පවසා සිටියේ මැයි මස පළමුවැනිදා සිට නේටෝ හමුදා යළි කැඳවීමට සියලු පාර්ශ්වයන්හි අනුමැතිය ලැබුණු බවයි. ඒ සමගම ඇමරිකාව සහ නේටෝව තම හමුදා යළි කැඳවීම සිදු කර සිටියේ සිතා ගත නොහැකි තරම් වේගයකිනි. ඒ කොතෙක්ද යත් ඇතැම් කඳවුරුවල වාහන සිය ගණනින් අත්හැර යෑමට ඇමරිකානු හමුදා කටයුතු කර තිබිණි. ඇතැම් මාධ්‍ය මේ කඩිමුඩිය උපමා කර තිබුණේ ගංවතුර වැනි ස්වභාවික විපතකින් ගැලවීමට වේගවත්ව යම් ප්‍රදේශයකින් ඉවත්ව යන අන්දමේ ඉවත්වීමක් වශයෙනි.

රටින් පළාගිය ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රෆ් ඝානි

මේ සිදුවීම් අතර ඇමරිකාවටම ගොස් බයිඩ්න් හමුවූ අශ්රෆ් ඝානි ඇමරිකානු හමුදා ඉවත් කර නොගන්නා ලෙස ඉල්ලා සිටියද එය බීරි අලින්ට වීණා වැයීමක් විය. බයිඩ්න් පවසා සිටියේ වසර විස්සක් පුරා තමන් අධික වියදමක් දරා හමුදා නඩත්තු කළ බවයි. එපමණක්ද නොව ඒ සමඟ නවීන අවි ආයුධ සහ හමුදා පුහුණුව ඇෆ්ගන්වරුන්ට ලබා දුන් බැවින් තමන්ගේ රට ගැන බලා ගැනීටම ඔවුන්ට දැන් හැකි විය යුතු බවයි.

ඇමරිකානු හමුදා එලෙස ඉවත්ව යන වේගයටම තලේබාන් සංවිධානයද ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරමින් සිටියහ. මැයි මස සිට නගරයෙන් නගරය අත්පත් කරමින් පැමිණි ඔවුන් අනුමාන කරන ලද කාලයට බොහෝ කලකට පෙරම කාබුල් අගනුවරද ඇතුළුව ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූහ.

ඒ සමඟින් සිදුවූ සිදුවීම් මාලාව ලෝකයේම අවධානය අත්පත් කර ගැනීමට සමත් වූයේ සාමකාමී බල හුවමාරුවක් සිදුවවද ජනතාව ඒ සඳහා දක්වන ලද වක්‍රාකාර විරෝධය ඒ සිදුවීම් මඟින් මනාව පැහැදිලි වූ බැවිනි. පසුගිය 16වැනි සඳුදා දිනයෙදී කාබුල් නගරයෙන් පිටතට යෑම අරමුණු කර ගනිමින් ගමන් ගත් සිය දහස් ගණනක් වු මෝටර් රථ හේතුවෙන් නගරයේ අධික රථවාහන තදබදයක් ඇතිවූ අතර ඒ හේතුවෙන්ම බහුතරයකට නගරයෙන් පිටව යෑමට නොහැකි විය. නොසිතූ වේගයෙන් සිදුවූ තලේබාන් ඉදිරි ගමන හේතුවෙන් ඇමරිකානුවන්ට ගුවන් යානා නොදවා තම තානාපති කාර්යාලයේ සේවකයන් මෙන්ම අවසානය දක්වා රැඳී සිටි හමුදා භටයන් ඉවත් කර ගැනීමට සිදුවූ අතර එම ගුවන් යානාවල නැගෙමින් රටින් පිටව යන්නට දහස් ගණන් ඇෆ්ගනිස්තාන ජනතාව අසාර්ථක උත්සාහයන්හි නිතර වූයේ එම දර්ශන දුටු ලොව පුරා ජනතාවගේ සිත් කඳුළෙන් නහවමිනි. එම භාණ්ඩ ප්‍රවාහනය පිණිස නිපදවා ඇති එම ගුවන් යානයක ගෙන යා හැකි වන්නේ මගීන් 300කට ආසන්න පුමාණයක් වුවද ඇෆ්ගන් ජනතාව ඇතුළු 600කට අධික පිරිසක් යානය තුළ දරා ගනිමින් කටාර් බලා පියාසර කිරීමට යානයේ කාර්ය මණ්ඩලය කාරුණික වූ අතර වඩාත් කනගාටුදායක ඉරණමකට මුහුණ දීමට යානය තුළට ගොඩවීමට අපොහොසත් වූ ඇෆ්ගන්වැසියන්ට සිදු විය. යානයේ තටු මත නැගී යෝ යම් යම් කොටස්වල එල්ලෙමින් කෙසේ හෝ රටින් පිට වීමට අපේක්ෂා කළ ඇෆ්ගන් වැසියන් යානය ගුවන් ගත වූ සැණින් බිමට ඇද වැටෙණු සජීවීව නැරඹීමට ලෝ පුරා මිනිස්සු අවාසනාවන්ත වූහ. සැබවින්ම එවැනි කනගාටුදායක දර්ශන දැක බලා ගැනීමට ලැබීම නම් අවාසනාවක්ම බව කිව යුතුය.

මේ අතර තලේබාන් සංවිධානයේ නායකයන් රටේ පාලනය ස්ථාපිත කළ යුතු අන්දම සම්බන්ධව තවමන් නිෂ්චිත නිල නිවේදන කිසිවක් ලොවට සපයා නැත. අසල්වැසි පකිස්තානය තුළද ඇෆ්ගනිස්තාන රජයේ බිඳවැටීම තදින් බලපා ඇති අතර පකිස්තාන ආයෝජනද කඩා වැටෙමින් පවතින බව වාර්තා වේ.

  

තමන් රටේ ජනතාවගේ නිදහස අහිමි නොකරන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබුණද ඔවුන්ගේ අතීත පාලනයේ කටුක අත්දැකීම් සහිත ඇෆ්ගන් වැසියන් අතරින් බහුතරය නම් එම ප්‍රකාශ විශ්වාස කරන බවක් පෙනෙන්නට නැත. එමෙන්ම තම ආණ්ඩුවේ පාලනයට එක් වන ලෙස ඔවුන් ඇෆ්ගන් කාන්තාවන්ගෙන්ද ඉල්ලීමක් කළ බවට මාධ්‍ය වාර්තා පළ වුවද 2001 දක්වා පැවති තලේබාන් පාලන සමයේදී ඔවුන් මූලධර්මවාදී ඉස්ලාම් නීති ඇෆ්ගන් කාන්තාවන් පිට පැටවූ අන්දම මතකයේ ඇති බොහෝ දෙනා එකී ඉල්ලීම් හාස්‍ය ජනක ලෙස ඉවත ලනු නොඅනුමානය. ඒ හැර තවමත් රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිත අදහසක් තලේබාන් සංවිධානය වෙතින්ද ප්‍රකාශයට පත් වී නොමැත. එබැවින් තලේබාන් සංවිධානය යටතේ ඇෆ්ගනිස්තානය කෙසේ වනු ඇතිදැයි නිශ්චිතව දැන ගැනීමට තවත් ටික කාලයක් ඉවසිල්ලේ බලා සිටීමට ලෝකයට සිදුවනු ඇත.

Comments