![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/07/30/02.jpg?itok=gHPKKCTs)
දිරාපත් රෙදි කඩක් ඇඳ සිටි ඒ දුප්පත් දරුවා ගේ මැටි බඳුනට වීදිය දෙපස ගෙවල්වලින් ඉඳුල් බත් වැටිණ. ඔහු ජීවත් වූයේ අනුන් ගෙන් වැටෙන ඒ ඉඳුල් බතිනි. ඒ නිසා ම ඔහු ‘කප්පට කුර’ නමින් හැඳින්විණ.
තරුණ වියට පැමිණි පසු ඔහු ඉඳුල් සිඟීම වෙනුවට තණකොළ කපා විකිණීමට හුරු වූයේ ය. එයින් ලැබෙන ආදායම දවස ගෙවාගැනීමට සෑහිණ.
දිනක් ඔහු තණ කොළ කැපීමට ගිය විට කැලයේ දී රහතන් වහන්සේ නමක් දුටුවේ ය. ඒ රහතන් වහන්සේ ගේ පා මුල වැටී නමස්කාර කළ කප්පට කුරට උන්වහන්සේ ගෙන් බණක් අසන්නට ලැබිණ. ඔහු ගේ සිත තෙරුවන පිළිබඳ සැදැහැයෙන් පිරිණ.
‘මේ දුෂ්කර ජීවිතයෙන් පලක් නැතැ’යි සිතූ ඔහු පැවිදි ව, තමා හැඳ සිටි කිලිටි රෙදි කඩ ගසක් මුල සැඟවී ය.
ටික කලෙකින් ඔහුට පැවිද්ද එපා විය; අර කිලිටි රෙදි කඩ සිහි විය. සිවුරු ගලවා එය හැඳ ගත්තේ ය. ටික දිනකට පසු ඔහුට ඒ දුෂ්කර ජීවිතය ද එපා විය. යළි සිවුරු හැඳගෙන කිලිටි රෙදිකඩ ගස මුල සැඟවී ය. මෙය සත්වාරයක් ම සිදු විය. බුදුරජාණන් වහන්සේට ද මෙය අසන්නට ලැබිණ.
දිනක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අතර දම්සභා මණ්ඩපයේ පසු පෙළ සිටි කප්පට කුර හිමි නිදා සිටිනු පෙනිණ. බුදුහු ඒ හිමියන් නැඟිටුවා, ළඟට කැඳවා, මෙසේ අවවාද කළහ.
“කප්පට කුර මහණ, ඔබ දිරාගිය වස්ත්‍රය පොරවාගෙන පෙරසේ ම ජීවත් වෙමියි විටින් විට කල්පනා කරනවා. නුඹට නුඹ අසල ම පිරිසිදු, පිරිපුන් අමෘතය සහිත කළයක් ඇති බව පෙනෙන්නේ නැහැ. ඒ අමෘතය පිරි කළයෙන් ඒ ඒ තැන වැසි වස්සමි. නුඹ ඒ අමෘතය වටහාගත යුතුයි. මම අනුශාසනා කරමි; දහම් දෙසමි. මේ අඳබාල ලෝකයේ කෙලෙස් නමැති ග්‍රීෂ්මය නසමින් අමා බෙර වයමින් දහම් වැසි වස්සන කල නුඹ ඉවත බලා සිටී. ලෞකික ලෝකෝත්තර ධ්‍යාන වැඩීමට මාර්ග පෙන්වා දෙන විට නුඹ ඉන් වැළකී සිටී.
“කප්පට කුර, දහම් ඇසීමට පැමිණ මෙහි නිදා නොගනු. කාලය නිකරුණේ නොගෙවනු. මෙහි නිදා සිටින විට නුඹ ගේ කන් මුල දේශනා නමැති අතින් මම නුඹට නොතළමි. මගේ අවවාද පිළිපැද, ධර්ම මාර්ගයට පිවිසෙනු. මේ ඤාණ සම්පත්තිය ඉතා දුර්ලභ ය. නුඹ එය නොදනී. මෙය මහා අපරාධයකි. ඒ දෙස බලනු.”
මේ අවවාද කප්පට කුර හිමියන් ගේ සිත් තුළට කිඳා බැස්සේ ය. උන්වහන්සේ වහා විදසුන් වැඩීම ඇරැඹුවේ කෙලෙස් නසා රහත් බවට පත් වූහ. උන්වහන්සේ නිවන් මඟට පිවිසවූ බුදුරජාණන් වහන්සේ ගේ ඒ අවවාද පිරුණු ගාථා කප්පට කුර රහතන් වහන්සේ සිය උදානය වශයෙන් පසු කලෙක දැක්වූහ.
දිරු වතකට බැඳි
කප්පට කුර මහණ තෙම
පිවිතුරු රස සපිරී
අමා කළසක් ළඟ ඇත.
නුඹට එය නෙපෙනෙයි.
ධ්‍යාන වැඩුමට නිසි
භාවනාවන් මෙහි ඇත.
බණ අසන අතරේ
නොනිඳව - බණ අතින් මම
කන් මුලට නොතළමි.
සඟ ගණ මැද නිදන
නුඹ නොදනී නුඹේ පින.