රූකඩ පැංචී: ළමයින්ට අලුත් පරමාදර්ශයක් | සිළුමිණ

රූකඩ පැංචී: ළමයින්ට අලුත් පරමාදර්ශයක්

 

කල්පන සහ වින්දන යන සහෝදරයින් දෙපළ විසින් අධ්‍යක්ෂණය කර ප්‍රේක්ෂාගාරයට මුදාහැර තිබෙන ‘රූකඩ පැංචි‘ දකින විට, ජපාන චිත්‍රපට අධ්‍යක්ෂක හයාඕ මියසාකිගේ My Neighbor Totoro නමැති අති සාර්ථක ළමා චිත්‍රපටය සිහිපත්වීම නොවැළැක්විය හැකි ය. එහි සිටියේ සිය මව රෝහල්ගත කිරීමත් සමඟ ආගන්තුක නිවසක පදිංචියට යාමට සිදුවන අක්කා-නගෝ දෙදෙනෙකි. ‘රූකඩ පැංචි‘ චිත්‍රපටයේ ද සිටින්නේ, තම මව රෝහල්ගත කිරීමත් සමඟ ‘හෝටලයක‘ පදිංචියට යාමට සිදුවන අක්කා-මලෝ දෙදෙනෙකි.

 

‘My Neighbor Totoro‘ හි ළමුන්ට සිය අලුත් නවාතැන අසලින් ‘Totoro‘ නම් වූ ‘බලගතු ආත්මය‘ මුණගැහෙන්නා සේ ම, ‘රූකඩ පැංචි‘ හි ළමයින්ට, අංකල් ලුවී (ජැක්සන් ඇන්තනී) මුණගැහෙන්නේ ය. මේ ආකාරයට චිත්‍රපටයේ කතාව ගොඩනැඟෙන්නේ, එහි ප්‍රධාන චරිතය මවන ගැහැනු ළමයා, ‘අංකල් ලුවී‘ නම් වූ ‘රූකඩ නැට්ටුවා‘ වෙතින් ද අනුප්‍රාණය ලබමින්, සිය ළමා පෞරුෂය හැඩගස්වාගන්නා ආකාරය යි.

කෙසේ වෙතත්, මෙහිදී සිදුවන්නේ, ‘හිස් කරදහියක්‘ සිත්තරකු අතින් සිතුවමක් බවට පත්වන ආකාරයට නොවේ. නොඑසේ නම්, පිරුණු කලයකින්, හිස් පොල්කටුවක් පිරෙන ආකාරයට නොවේ. පැංචී යනු, අංකල් ලුවීට මුණගැහෙන විටත්, ස්වීය විභවතාක් සංවර්ධනය කරගෙන සිටි ළමයෙකි. නමුත්, අවාසනාවට, යථාර්ථයේ අපට මුණගැහෙන බොහෝ වැඩිහිටියන් සිතා සිටින්නේ, ළමයින් යනු ‘හිස් කරදහි‘ නැත්නම් හිස් පොල්කටු කියා ය. එහෙත් ඇත්තට ම එය වැඩිහිටියන්ගේ මිථ්‍යාවකි. සිනමාකරුවන් දෙපළ එය පුපුරුවාහරින්නට දරා තිබෙන වෑයම ප්‍රශංසනීය ය.

පැංචී යනු, අන්තර්ජාලය ඇසුරිනුත්, පොත පත ඇසුරිනුත් සොයා, යාවත්කාලීන කරන ලද දැනුමින් සන්නද්ධව සිටින්නියකි. හැකියාවෙන්, මෙන් ම ආකල්ප අතින් ද ඇය සිටින්නේ ඌන-සංවර්ධන මට්ටමක නොවේ. සංවර්ධනය වෙමින් පවතින මට්ටමක ය. ඒ අනුව පැංචී නමැති චරිතය ගොඩනංවා තිබෙන්නේ, අපේ ළමයින්ට දේශීය සිනමාව තුළින් සාමාන්‍ය‍යෙ­‌න් මුණනොගැහෙන පන්නයේ අලුත් පරමාදර්ශයක් හැටියට ය.

ඇය දැනුමේ බලය ලුහුබඳින්නියකි. දැනුම යාවත්කාලීන වන බවත්, තාක්ෂණය අලුත් වන බවත් විශ්වාස කරන්නියකි. මේ අතර ඇය දක්ෂතාවයක් දක්වන්නේ, පාසල් විෂය මාලාවට පමණක් ම නොවේ. විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීත් ඇය ඉතා හොඳින් කැපීපෙනේ. පාසැල් ළමුන්ගේ දක්ෂතා එළිදක්වන උත්සවයේ දී, ඇය ජයග්‍රහණය කරන්නේ ‘රූකඩ රංගයක්‘ ඉදිරිපත් කරමිනි. එය එතෙක් මෙතෙක් එම වේදිකාව තුළ රඟ දක්වන ලද එකම ‘රූකඩ රංගය‘ වන බව, මයික්‍රෆෝනයේ සිටි ගුරුවරිය කියයි. එබැවින් ඇය හැමවිට ම අනූපම ළමයෙකි. නිර්මාණශීලීව හිතන ළමයෙකි.

මේ ආකාරයට ඇය විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ හොඳ ළමයෙකුටත් වඩා දක්ෂ ළමයෙකි . ඇය තමන් තුළ සංවර්ධනය කරමින් සිටින්නේ, හුදෙක් ‘අනුකාරක පෞරුෂයක්‘ නොව, අභාසය තුළින් ඔපමට්ටම් කරගන්නා තමන්ගේ ම පෞරුෂයකි .

මේ අතර චිත්‍රපටයෙහි එන තවත් එක් ප්‍රබල සහ සංවේදී අවස්ථාවක එකී පරමාදර්ශ ළමයා වැඩිහිටියන් කෙරෙහි ද බලපෑම් සහගත වන ආකාරය නිරූපණය වේ.

ඒ කඩාකප්පල්කාරයන් පිරිසක් විසින්, සම්පූර්යෙන් ම කඩා බිඳ දමා තිබුණු රූකඩ මඬුව යළි පිළිසකර කිරීමට, ‘පැංචී‘ විසින් පෙරමුණ ගන්නා අයුරු දක්වමිනි.

විශේෂයෙන් ම එහි එන දිගු සහ විචිත්‍රවත් ගීතය, චිත්‍රපටයට අමුතු උත්සවාකාරී මුහුණුවරක් දෙයි. එමෙන් ම එය ‘පැංචිගේ කතාව‘ කුළුගන්වන ආකාරය අර්ථ-ධ්වනි පූර්ණය. ප්‍රධාන චරිතය නිරූපණය කරන කුශේන්‍යා ෆොන්සේකා ගේ යථාර්ථවාදී රංගනය ද අතිශයින්ම විස්මිත වන බව නොකියා බැරි ය. ඇය එම චරිතය තුළ කිසිසේත්ම ආධුනික බවක් ඵල නොකරන්නී ය. මේ අතර ජැක්සන් ඇන්තනී ට මෙහිදී සිය ‘අධිරංගනය‘ ඉල්ලා සිටින චරිතයක් ලැබී තිබේ.

මේ ආකාරයේ සාධනීයතා දක්වන චිත්‍රපටයෙහි ‘පැංචී‘ වෙතින් කියැවෙන ඇතැම් දෙබස් නම්, ‘ළමා ප්‍රවේශය‘ ඉක්මවා ගොස් තිබෙන බව කිව යුතු ය.

මේ අතර චිත්‍රපටය නැරඹීමේ අද්දැකීම තුළ සිනමා හලේ යථාර්ථය ද මෙහි සටහන් කළ යුතු ම ය. ඇය විසින් චිත්‍රපටය නරඹන ලද්දේ පසුගිය සතියේ සෙනසුරාදා රත්නපුර ජෝති සිනමා ශාලාවේ දී ය. පෙම් යුවළ අටකගෙන් පමණ බොක්ස්-ෆුල් වී තිබුණු නමුත්, ‘ඕ.ඩී.සී.‘යේ කිසිවකුත් නොසිටියේ ය. ඇතැම්විට ඒ කොරෝනා නිසා ය.

අවසාන වශයෙන් දේශීය වශයෙන්, ළමා-සිනමාවට අතගසන කල්පන-වින්දන ලා අප විසින් හඳුනාගත යුත්තේ, තවත් වසර දෙකකින් (එනම් 2023 දී) ‘සියවසක්‘ සපුරන ‘ඩිස්නි අධිරාජ්‍යයට‘ ගල්කැට ගසන ‘ලිලිපුට්ටන්‘ ලෙස ය.

අප ඔවුන්ට යෝද බල යෝධ ශක්තිය පැතිය යුතු අතරම ඔවුන්ව ධෛර්යයවත් කරන විවේචන කෙරෙහි වැඩි බරක් තැබීමට තරම් නම්‍යශීලී විය යුතු ය. නොඑසේ නම්, අපේ ළමයින්ට, අපේ ම වූ සිනමාවක් දැකබලා ගැනීමට හෝ අවස්ථාවක් නැති වී යා හැකි ය.

Comments