
නාග ලෝකයෙන් මෙලොවට ගෙනා බව කියන බුලත් පකිස්තානයට පටවා රටට විදේශ විනිමය සපයන මහා ව්‍යාපාරයක් බවට පත් කරන්නට පුරෝගාමි මෙහෙවරක යෙදුණු බාදුරාගොඩ වත්තෙමුල්ලේ කේ. ඒ. ඒ. වීරසිරි (69) ඉකුත් 3 දා අලුයම මෙලොව හැරගියේ මව්බිමට සිදු කළ අමිල සේවය අතරමග නවතමිනි.
කේ.ඒ.ඒ. සිරිසේන හා ඊ. කේ. ජංගනෝනාට හේමාවතී සහ චන්ද්‍රවතී නමින් දූවරු දෙදෙනෙක් වූයේය. මේ පවුලේ බඩපිස්සා වූ එකම පුතු අපේ කතානායක වීරසිරිය. වයස අවුරුදු දෙකකටත් අඩු කාලයකදී වීරසිරි ළදරුවාට මවු උණුසුම අහිමි වී ගියේ දෛවයේ සරදමක් සේය. එතැන් පටන් මේ දරුවාගේ කිරි මව වූයේ පියාණන්ගේ අක්කණ්ඩිය වූ මේරි නෝනායි. පියාගේ ආදරයත් නැන්දණියගේ රැකවරණයත් මත වීරසිරි අක්කලා සමඟ හැදුණේ වැඩුණේ කෙළිදෙලෙනි.
සිරිසේන බුලත් වෙළෙදාමේ යෙදුණේ සති පොළවල් කරා යමින් ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමෙනි. බුලත් තට්ටු බැඳ බණ්ඩාරවෙල, බදුල්ල, හාලිඇල, වැලිමඩ හා දෙමෝදර ආදී උඩරට නගර මෙන්ම ගාල්ල මාතර ආදි දකුණේ දුර බැහැර පළාත් මෙන්ම උතුරේ සෙට්ටිකුලම දක්වා ද යවන්නටද සිරිසේන කටයුතු කළේය.
හගවත්ත රාජගිරි කනිටු විදුහලෙන් 3 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලත් වීරසිරි අනතුරුව බාදුරාගොඩ ධර්මාශෝක මහ විදුහලෙන් 4 ශ්‍රේණියේ සිට ඉදිරි අධ්‍යාපනය සාර්ථක කර ගත්තේය. පාසල් සමයේ සිටම සංගීතයට ඇල්ම දැක්වූ තරුණ පිරිස අතර වීරසිරි තරුණයා ද වූයේය. ප්‍රවීණ නිළි පුණ්‍යා හීන්දෙනියගේ සොහොයුරා වූ වීරවර්ධන සංගීත මාස්ටර් සෙවනේ සංගීත රසාස්වාදයේ යෙදුණු ඔහු සංගීත රසකාමියෙක් වූයේය. මේ අතර මිතුරු පිරිස සමඟ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට ද කටයුතු කළේ අනාගතය ගැන සිතේ ඇති වූ අදහසක් ඇතිව විය යුතුය.
පියාණන්ගේ බුලත් වෙළෙදාම දෙස බලමින් තරුණ විය බලා පියමං කරමින් සිටි වීරසිරි තරුණයා, සිය අධ්‍යාපනය තවදුරටත් ඉහළට ගෙන යෑම පසෙකලා 1978 දී පමණ පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහය දුන්නේ පවුලේ වගකීම කරට ගැනීම එකම පුතුගේ වගකීම බව සිතට ගත් නිසා ය.
මේ වනවිට ජේ. ආර්. ජයවර්ධන රජයේ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙමින් පැවතිණි. රාජ්‍ය ආයතන මගින් බුලත් අපනයනය සිදුවූයේ යන්තමිනි. ඒ අතර මාක්පෙඩ් හා කොන්සල් වැනි නාම ප්‍රචලිතව තිබිණි. වත්තේමුල්ලේ ජී. වීරසිංහගේ මැදිහත්වීම මත වීරසිරි තරුණයාට ද රට යවන බුලත් වෙළෙදාමට ඇතුළත් වන්නට අවස්ථාව උදා විය.
එසේ වුවත් රට යවන්නට බුලත් කූඩ දහයක් දොළහක් කටුනායක ගුවන් තොටුපළට යැව්වත් ඉන් අඩකටත් වැඩියෙන් ආපසු ගෙන එන්නට සිදු වීම වීරසිරිගේ සිත පෑරීමට හේතුවක් වූයේය. මේ අතර වීරසිරි තරුණයා ඩබ්ලියු. ඒ. ඉන්ද්‍රානි ජයන්තා හා අතිනත ගත්තේ සිය ජීවන ගමනේ ඉදිරිය ඈ සමඟ එක්ව පෙරට යන අදහසිනි. සන්ධ්‍යා, සමන්මලී දියණියන් හා එකම පුතු සංජීව මේ යුවළේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගන්වන්නට දායාද වූයේ මේ අතරය.
කටුනායකට ගෙනයන බුලත් කූඩ ආපසු ගෙන ඒමට සිදුවීම තවමත් අඩුවක් නැත. මේ ප්‍රශ්නය විසඳා ගන්නට කළ යුත්තේ කුමක්දැයි ඔහු තනිවම සිතන්නට ගත්තේ මේ අතරය. සිතට ආයේ හොඳ විසඳුමකි. ඒත් බරපතළ වගකීමකි. තමන් විසින්ම බුලත් අපනයනය කරන්නට ගත්තොත් හොඳ දැයි ඔහුගේ සිතිවිල්ල වූයේය. මේ සිතිවිලි ජය ගන්නට ආධාර කළ පිරිස් මෙන්ම බාධා කළවුන්ද නොවූයේ නොවේ.
කෙසේ වෙතත් වීරසිරි තරුණයා ජය ගත්තේය. වයඹ පළාතේ මෙන්ම ගම්පහ දිසාවේ විසිරී සිටින බුලත් වගාකරුවන්ට හොඳ කලක් උදා කරන්නට ඔහු සමත් වූයේය. බුලත් කූඩ පනහ හැට සියය දක්වා වැඩි විය. මේ කාර්යයන් සඳහා මහින්ද සොයුරාගෙන් ලැබුණේ මනා පිටිවහලකි. දිනකට රට පැටවුණු බුලත් කූඩ ප්‍රමාණය පන්දහස ඉක්ම වූ දවස්ද වූයේය. මේ අතරම පියා ගෙන ගිය දේශීය වෙළෙදපළට බුලත් සැපයීමද උතුරේ යාපනය වව්නියාව දක්වා ගෙන යෑමට ද ඔහු පියවර ගත්තේය
රුපියල් සියයට දෙසියයට මිල නියම වූ බුලත් දහසක් සඳහා වැඩි මිලක් ලබන්නට ගොවියන් වාසනාවන්ත වෙද්දී ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ ගියේ වීරසිරි තරුණයාගේ කැපවීම හා අධිෂ්ඨානය නිසා ම ය. ඔහුට ලැබෙන ඉල්ලීම් සඳහා ප්‍රමාණවත් තරම් බුලත් අපනයනය කරන්නට ඔහු ගත් වෙහෙස අපමණ ය. මේ කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම සඳහා පසුව ‘‘වීරසිරි ට්‍රේඩින් කම්පැනි‘‘ නම් ආයතනය ආරම්භ කරන්නට ඔහු පියවර ගත්තේය.
බුලත් සඳහා ගෙවන මිල ඉහළ යමින් තිබියදී ඉන්දියාවේ වවන ලද බුලත් ගොඩබිම් මාර්ග ඔස්සේ පකිස්ථානයට ලැබෙන්නට පටන් ගත්තේය. ඒ 2005 දී පමණය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බුලත් සඳහා ඉල්ලුම අඩුවූයේ අඩු ප්‍රවාහන වියදමකින් ඉන්දියාවෙන් පකිස්ථානයට බුලත් ලැබීම නිසාය. කෙසේ වෙතත් ඒ සියලු බාධා උපේක්ෂාවෙන් විඳ දරාගනිමින් වීරසිරි සිය සමාගමේ කටයුතු ඉදිරියට කරගෙන ගියේ දැඩි කැපවීමකිනි.
කලක් ගත වෙද්දී ඉන්දියාවේ බුලත් වගාව අඩපණ වීමෙන් යළිත් අපේ වෙළෙඳපළට තරමක වාසනාවත්ත කාලයක් උදා විය. තවත් ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ද මේ වනවිට බුලත් අපනයනය සඳහා එක්ව සිටියත් ඒ කිසිවකුටවත් වීරසිරිගේ කිට්ටුවකට හෝ එන්නට ලැබුණේ නැත. වීරසිරි බුලත් අපනයනයේ සියයට 55 ක් අත දරා සිටීමෙන් ඔහුගේ දක්ෂතාව හා මනා කැපවීම දැකීමට හැකි වූ කරුණක් වූයේය.
සතියකට දින පහක් දිවා රාත්‍රී දෙකේදීම බුලත් අපනයනය කරන්නට ඔහු සමත්වූයේ කැපවීමෙන් කටයුතු කළ නිසාමය. මේ වනවිට රට යවන කළු බුලත් දහසකට ගොවියා රුපියල් පහළොස් දහස ඉක්මවා දහ අට දහස දක්වා ලබන්නට තරම් වාසනාවන්ත වී තිබිණි. ගම්පහට සීමාවූ බුලත් ගොවිතැන කුලියාපිටිය, කුරුණෑගල, හෙට්ටිපොල, තඹුත්තේගම, නිකවැරටිය ආදි දුෂ්කර පෙදෙස් කරා ද ව්‍යාප්ත වූයේ වීරසිරි නිසාය. ගමේ මෙන්ම කිලෝමීටර් සිය ගණන් දුර ගෙවාගෙන පැමිණි පිරිස් පවා අලුයම හතරේ සිට වීරසිරිගේ නිවස අසල කරත්ත, විල්බැරෝ අත් ට්‍රැක්ටර් ලොරි නවතා ගෙන සිටියේ වැඩි මුදලක් අතට ලැබෙන බවට වූ දැඩි විශ්වාසය හේතුවෙනි. ඒ තරමට ඔහු ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැක ගත්තේය.
මේ අතර වසරින් වසර ගුවන් සමාගම් මගින් බුලත් අපනයන කටයුතුවල ප්‍රගතියට සතුට පළ කරමින් සහතික සම්මාන මගින් බුහුමන් ලබන්නට ද වීරසිරි සමත් වූයේ වෙනත් ව්‍යාපාරිකයන් අබිබවමිනි. 2015 ජනපතිවරණයට පෙර පකිස්ථානයේ පැවති ව්‍යාපාරික සමුළුවකට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සමඟ සහභාගිවූ ලාංකික ව්‍යාපාරික පිරිස අතර වීරසිරි ද විය. ඒ බව පවුලේ අය දැන ගත්තේ ද ජනාධිපතිවරයා හා ඔහු ගුවන් යානයේදී ගත් ජායාරූපයක් දැකීමෙන් පසුවය.
2017 දි පමණ එක්වරම පකිස්තානු රජය බුලත් මිලදී ගැනීමේදී නියාමන බද්දක් පැනවීම ඔහුට තවත් බාධාවක් ඇති කරන්නට සමත් විය. මේ බද්ද අනුව බුලත් කිලෝවකට රුපියල් 291 ක් ගෙවන්නට සිදුවීමෙන් බුලත් ගොවියා අතට ලැබෙන මුදල බොහෝ සේ අඩුවන්නට වූයේය. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන බුලත්වලින් සියයට අනූඅටක් පමණ මිලදී ගත්තේ පකිස්තානය නිසා මේ බද්ද මෙරට ගොවියාට සිදුවූ දැඩි දඬුවමක් බවට පත්විය. මේ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට වීරසිරි මුල්වී දැඩි ඉල්ලීම් කළත් ඒවාට කන් නොදුන් තරම් විය.
එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයා වූ රිෂාඩ් බදුයුදීන් සහ පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සප්රාඩ් අහමඩ් අතර සාකච්ඡාවක් පැවැත්වූවත් පලක් වූ වගක් පෙනෙන්නට තිබුණේ නැත. ඉහළ ගිය බුලත් මිල ක්‍රමක්‍රමයෙන් පහළ බැස්සේ මේ වාතාවරණය මතය. ඒ නිසාම දේශීය ගොවියා ගේ මෙන්ම රටේ ආර්ථිකයට ද මහත් බලපෑමක් ඇතිවිය. බුලත් දහසක මිල රුපියල් දහස තරම් පහළ බැස්සත් ටික කලකින් එය රුපියල් 3,500- 4,000 දක්වා ඉහළ ගියේ විවිධ බාධා මැද සිය වෙළෙදාම ඉදිරියට ගෙන යන්නට වීරසිරි ගත් උත්සාහය නිසාමය.
සතියකට දින පහක් දිවා රෑ සිදුවුණු බුලත් අපනයනය සතියකට දින දෙකකට පමණක් සීමාවීම යළිත් බුලත් ගොවියාට එල්ල වූ මරු පහරකි. වීරසිරි ඒ තත්ත්වයට ද මුහුණ දෙමින් දේශීය ගොවියා රැක ගන්නට මහත් වෙහෙසක් ගත් බව අපට දක්නට ලැබිණි.
2005 දී රුපියල් මිලියන 257.1ක ආදායමක් රටට ලැබී ඇති බව වාර්තාවන්හි සඳහන් අතර 2006 දී මේ ප්‍රමාණය රුපියල් මිලියන 301.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය. 2007 දී රුපියල් මිලියන 450 ඉක්මවා ඇති බුලත් ආදායම 2008 දී එය රුපියල් මිලියන 720 ඉක්මවා ගොස් තිබී ඇතැයි අපනයන ආදායම් වාර්තා පෙන්නුම් කරයි. මේ තත්ත්වය මේ ආකාරයෙන් වසරින් වසර ඉහළ යමින් අවසානය වනවිට වසරකදී දේශයට ලැබුණු බුලත් අපනයන ආදායම රුපියල් මිලියන දහස ඉක්මවූ බවට වාර්තා පළවී තිබිණි. රටට ලැබුණු මේ සුවිශාල ආදායමේ වැඩි කොටසක් සඳහා වීරසිරිගේ කැපවීම අති මහත්ය. කොරෝනා වසංගතයත් සමඟ බුලත් අපනයනය සතියකට දින දෙකකට පමණක් සීමා වූ බව ඉහත දැක්වූවෙමු. එසේ වුවත් සතියකදී බුලත් කිලෝ හැට දහසක් පමණ ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් පකිස්ථානයේ ලාහෝර් හා කරච්චි යන නගර කරා ගෙන යෑමට අවස්ථාව සැලසිණි. එතෙක් මේ අවස්ථාව සැලසුවේ වෙනත් ගුවන් සේවා මගිනි.
වීරසිරි ගමේ කාටත් උදවු උපකාර කළේය. ගමේ මෙන්ම අවට විහාරස්ථාන පාසල්වලට ඔහුගෙන් ලැබුණු සහාය ආධාර මෙපමණකැයි කියන්නට පවුලේ කිසිවකුත් හෝ දන්නේ නැත. ඔහුගේ සමාජ සේවා කටයුතු ඒ තරමට රහසිගතය. උදව්වක්, ආධාරයක් කර ඒ ගැන කිසි විටෙක ලාබයක් ප්‍රචාරයක් බලාපොරොත්තු වූයේ නැත. 2020 කොරෝනා උවදුර නිසා රටේ කටයුතු යථාවත් කර ගැනීම සඳහා පිහිටු වුණු කොරෝනා අරමුදලටද ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ පැවති ව්‍යාපාරිකයන්ගේ හමුවකදීය. සිය බිරියද ඒ බව දැන ගත්තේ පසු අවස්ථාවකය. ඒ තරමට ඔහුගේ සමාජ සේවා කටයුතු ඔහුටම පමණක් සීමා වූයේය.
සෘජු රැකියා පනහක් පමණ විවෘත වෙද්දී වීරසිරිගේ ව්‍යායාමය නිසා රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සෙත සැලසුණි. තමන්ගේ සේවක පිරිස් වෙනුවෙන් සේවක අරමුදලට සේව්‍යයාගෙන් මෙන්ම සේවකයාගෙන් කරන ගෙවීම සිය අතින් ගෙවන්නට තරම් ඔහු කාරුණික වූයේය. පුරා වසර තිහකට වැඩි කලක් නොකඩවා සේවය කරන චන්ද්‍රසේන වැනි පැරණි සේවක පිරිස් මේ බව සඳහන් කරන්නේ මහත් භක්තියෙනි. සරල දිවි පෙවතක් මෙන්ම සරල ආහාර රටාවක යෙදුණු වීරසිරි දිවයිනේ මහා පරිමාණ ව්‍යාපාරිකයකු වුවත් සරම කමිසය අත හරින්නට ද කිසිවිටෙක හෝ සූදානම් වූයේ නැත.
පාසල් සමයේ පටන් ඇතිවූ සංගීත උන්මාදය වීරසිරි කිසි විටෙක අත්හලේ නැත. දිවයිනේ කොතැනක හෝ දේශීය පැරණි සංගීත වැඩ සටහනක් වූයේද ඔහු සියල්ල කරන අතරේ ඒ සඳහාද යොමු වන්නට තරම් සංගීත රසකාමියෙක්ම වූයේය. ගමට රටට පවුලට කළ මෙහෙය අවසන් කර ඔහු අවසන් නින්දට ගියේ ද දෙසැම්බර් 2 වැනිදා දවසේ සිය මෙහෙවර සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසුවය. වසර ගණනක් තිස්සේ හිමිදිරි පාන්දර යාමයේ තැනින් තැන සති පොලවල්වලට යමින් පකිස් පෙට්ටියක්වත් නැතිව බිම වාඩිවී ආරම්භ කෙරුණු මේ වෙළෙදාම අඩියෙන් අඩිය ඉහළට යමින් රටට මහ මෙහෙවරක් කරන්නට වීරසිරි කටයුතු කළ අන්දම ජාතියට රටට ආදරය කරන කෙනෙකුගේ ජීවන ගමනට ආදර්ශයක් ගත හැකිය.
සිය පියාණන් ගේ හදිසි අභාවයෙන් ශෝකයට පත්ව සිටියත් එකම පුතු සංජීව පියාගේ ගමන් මඟ ඉදිරියටම ගෙන යන්නට සැරසී සිටීම අපේ රටේ වාසනාවකි.