
අන් කවරදාකටත් වඩා ජනතාව දැන් අලුත් ප්‍රවෘත්ති දැනගැනීමේ පිපාසයකින් පෙළෙන අතර ඒ පිපාසය නිවන මාර්ග රැසක් ද තිබේ. ප්‍රවෘත්ති ගැන කතා කරන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගැන කතා නොකරම බැරිය. සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් හා නිර්දේශ අනුව 1948 ජූලි මස 31 වැනි දින කොළඹ ගාලු මුවදොර පිහිටි මහ ලේකම් කාර්යාලයේ දී ස්ථාපිත කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති අධිකාරී පී. නඩේසන් මහතා විසින් පාලනය කර ඇත. පසුව මෙම දෙපාර්තමේන්තුව ජාවත්ත වාරිමාර්ග ගොඩනැගිල්ල, මොරටුව පොල්වත්තේ වෙලෝනා ගොඩනැගිල්ල, කොටුව ට්‍රාන්ස්වකර් මැදුර, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අතපත්තු ගොඩනැගිල්ල යන ස්ථානයන් වෙත සංක්‍රමණය වීමෙන් පසුව වර්තමානයේ නාරාහේන්පිට, පොල්හේන්ගොඩ, කිරුළපන මාවතේ ස්ථාපිත කර තිබේ.
වර්තමානයේ එම දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතී. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යෑම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන අතර මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන්නේ නාලක කළුවැවය. රාජ්‍ය සේවයේ වගවීම හා පාරදෘෂ්‍ය භාවය ස්ථාපනය කරමින් මාධ්‍යයේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිත වන පරිදි මාධ්‍ය ක්ෂේත්‍රයට සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එදා මෙන්ම අද ද කැපවී සිටින බව ඒ මහතා පැවසීය.
අද මෙන් දියුණු තාක්ෂණයක් නොවූ අතීතයේදී ජනතාව වෙත රජය විසින් සිදුකරන සංවර්ධන වැඩසටහන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීම සඳහා බලය ලත් ආයතනය වූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි. පුවත්පත් සහ ප්‍රවෘත්ති නිලධාරි යන තනතුරු ජනතාව වෙත සමීප වූයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහාය. වර්තමානයේ නම් අමාත්‍යංශ සහ මැතිඇමතිවරුන්ගේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කටයුතු කරන තනතුරු රැසක් දැකිය හැකි අතර තනතුරු දරන්නන් වැඩි වූ තරමටම ජනතාවට නිසි තොරතුරු ලැබෙනවාද යන්න පිළිබඳ විවිධ විවේචන ද සමාජයේ වේ. ඒ කෙසේවෙතත් අතීතයේදී ප්‍රවෘත්ති නිලධාරී තනතුර දරනු ලැබුවේ පුවත්පත් කලාවේ අත්දැකීම් බහුල දක්ෂ, පළපුරුදු මාධ්‍යවේදීන්ය. ඔවුන් තනතුර නිසා බැබළුණු අය නොවූ අතර ඔවුන් නිසා එම තනතුර බැබළුණා යැයි කිවහැක්කේ අදටත් ප්‍රවෘත්ති නිලධාරි තනතුර සමඟ ඔවුන්ගේ කාර්යභාරය සිහිවන නිසාය. පුවත්පත් නිලධාරී සහ ප්‍රවෘත්ති නිලධාරි තනතුරේ කටයුතු කළ එවැනි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ වෘත්තීය අත්දැකීම් විමසීමට අප අදහස් කළේ එබැවිනි.
පුවත්පත් නිලධාරියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා ජනමාධ්‍ය උපදේශක තනතුර දක්වා පැමිණ වසර 38ක් තිස්සේ එකම අමාත්‍යාංශයක කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආනන්ද ධර්මප්‍රිය මුල්කාලීන පුවත්පත් නිලධාරීන් අතර මුලින්ම කියැවෙන නමකි. "මගේ මතකයේ හැටියට 1950 ගණන්වලට කලින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටම ඉඳලා තියෙන්නේ එක ප්‍රවෘත්ති නිලධාරියෙක් පමණයි. ඒ කාලේ රජයේ ඕනෑම රැකියාවකට අයදුම්පත්‍ර කැඳෙව්වේ ගැසට් එකේ දැන්වීම් පළ කිරීමෙන්. ඒ විදිහට ප්‍රවෘත්ති දෙපාර් තමේන්තුවත් පුවත්පත් නිලධාරීන් බඳවා ගන්න ගැසට් එකේ දැන්වීම් පළ කළා. ඒ සඳහා අවම සුදුසුකම් වුණේ අ.පො.ස උසස්පෙළ විෂයන් 6ක් සමත්වීම හෝ පුවත්පත් ආයතනයක මාධ්‍යවේදියෙක් විදිහට අවුරුදු 5ක පළපුරුද්දක් තිබීමයි. ඒ කාලයේ පත්තරවල වැඩ කළ මාධ්‍යවේදීන්ට රාජ්‍ය සේවය සඳහා එක්වීමට තිබූ එකම විවරය මේ පුවත්පත් නිලධාරි තනතුරයි. ඒ කාලයේ මේ තනතුරට අයැදුම්පත්‍ර කැඳවීම, බඳවා ගැනීම් වගේම උසස්වීම් පවා ගැසට් නිවේදන මඟින් ප්‍රසිද්ධියට පත්කළා. එවැනි ඉතාම විනිවිද භාවයක් සහිතවයි එම තනතුර පැවතුණේ "
ආනන්ද ධර්මප්‍රිය මහතා එසේ කතාව ආරම්භ කළේ අතීතය සිහිකරමිනි. පාසල් වියේ සිට ජනමාධ්‍යයට ඇලුම් කළ ඔහු පුවත්පත් කලාවට ප්‍රවිශ්ට වන්නේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන වාර්තාකරුවකු ලෙස කටයුතු කළ තම මාමා ආදර්ශයට ගනිමිනි. සරසවි වරම් ලද ඔහු උපාධිය ලබාගත්තද මාධ්‍ය ජීවිතය අතනොහළේය."ඒ කාලේ උපාධිධාරීන් පත්තර රස්සාවට එනවා අඩුයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව1970 දී පුවත්පත් නිලධාරී තනතුර ගැසට් කරනකොට මට උපාධියයි ලංකාදීප පත්තරේ ස්ථිර කර්තෘ මණ්ඩලයේ අවුරුදු 7ක පළපුරුද්දක් තිබුණ නිසා මමත් එයට අයැදුම් කළා. මුලින්ම ලිපි ලේඛන පරීක්ෂා කරන සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. එයින් පසුව තමයි තරග විභාගය තිබුණේ. මට මතකයි හවසක බම්බලපිටියෙ සමූපකාර සංගම් ශාලාවේ තමයි ඒ විභාගය තිබුණේ. ඒ විභාගෙන් සමත්වුණාට පස්සේ මම ඇතුළු 10 දෙනෙක් පුවත්පත් නිලධාරී තනතුරට බඳවා ගත්තා. අපි වැඩ බාරගත්තේ 1973 දෙසැම්බර් 31 වැනිදා. ඒ කාලයේ අමාත්‍යංශ 14යි තිබුණේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තමයි ඒ හැම අමාත්‍යංශයකටම පුවත්පත් නිලධාරීන් පත්කරන්නේ. "
එකල පුවත්පත් නිලධාරියකුගේ වාර්ෂික ඒකාබද්ධ වැටුප රුපියල් 8,840කි. එය විශ්‍රාම වැටුපක් සහිත රජයේ ස්ථිර රැකියාවක් වූ අතර ස්ථිර සේවයේ පිහිටුවීම සිදුව ඇත්තේ පත්වීමෙන් වසර 3කට පසුවය. එමෙන්ම රජයේ ප්‍රවෘත්ති නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එංගලන්තයේ බී.බී.සී ආයතනය විසින් පවත්වන පුහුණු පාඨමාලාවලට සහභාගී වීමට ද අවස්ථාව සැලසෙන අතර බඳවා ගන්නා පුවත්පත් නිලධාරීන් ඊට එකඟ විය යුතු බව පත්වීමේ ලිපියේම සඳහන් කර ඇත. පුවත්පත් නිලධාරියාට විශාල නිලධාරී මණ්ඩලයක් සහ වෙනම කාමරයක් නොතිබූ අතර ඔහු අමාත්‍යාංශයේ ලේකම් සහ අතිරේක ලේකම්වරු සිටින කාමරය තුළ හිඳගෙන සිය රාජකාරී කටයුතු ඉටු කළේය. ප්‍රවෘත්ති සඳහා අවශ්‍ය ජායාරූප ලබාදෙන්නේ පුවත්පත් නිලධාරියාගේ ඉල්ලීම මත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යොදවන ලද ඡායාරූප ශිල්පියකු හරහාය.
"ඒ කාලේ ලංකාවටම තිබුණේ ගුවන්විදුලිය සහ පත්තර 3ක් විතරයි. පුවත්පත් නිලධාරියා ප්‍රවෘත්ති නිවේදන සකස් කරලා ඒ ආයතනවලට යවනවා. මම විශ්‍රාම ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාගේ ජනමාධ්‍ය උපදේශක ලෙසටයි. නමුත් මම වඩාත්ම කැමති පුවත්පත් නිලධාරී තනතුර දැරූ කාලයටයි. රාජකාරිය උපරිමයෙන් කළා මිසක් දේශපාලඥයන් ඉදිරියේ ලකුණු දමාගැනීමක් මම කවදාවත් කළේ නැහැ. ඒ නිසාම රාජකාරී ජීවිතය ගැන මම ඉතා තෘප්තිමත්"
ආනන්ද ධර්මප්‍රිය සමඟ සේවයට බැඳුණු පුවත්පත් නිලධාරීන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම ඒ මහතාගේ මාධ්‍ය මිතුරකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා විජේසේකර එම තනතුරට ඉල්ලුම් කර ඇත්තේ දවස පුවත්පතේ ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවකු ලෙස වසර 7ක පළපුරුද්දක් සමඟිනි."මට මතකයි මුල්ම සම්මුඛ පරීක්ෂණයට අයැදුම්කරුවො දහසකට වැඩි සංඛ්‍යාවක් ආවා. එයින් 200ක් තෝරාගත්තා. ඊටපසු තිබූ තරග විභාගයෙන් මමත් ආනන්දත් ඇතුළු 10 ක් සමත් වුණා. මාස 6ක පුහුණුවකින් පසුව අපිව එක් එක් අමාත්‍යාංශවලට යැව්වා. තමාට අයත් අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතනවල සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රවාරක කටයුතු බාරවුණ් පුවත්පත් නිලධාරියාටයි. එ් කාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සරත් අමුණුගම මාධ්‍යයට ඉතා හිතැති අයෙක්. ඔහු සතිපතා ප්‍රවෘත්ති නිලධාරින් සියලු දෙනා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කැඳවලා අපේ වැඩකටයුතු ගැන උපදෙස් දෙනවා. නමුත් කවදාවත් අපේ තනතුර දේශපාලඥයන් ප්‍රවර්ධනය කිරීමට භාවිත කළේ නැහැ. 1978න් පසුව මෙම තනතුර දේශපාලනීකරණය වුණා. 1971 බඳවාගත් අපේ කණ්ඩායමට පසුව කවදාවත් ගැසට් කරලා තරග විභාග තියලා පුවත්පත් නිලධාරී තනතුරට නිලධාරින් පත්කර ගත්තේ නැහැ. "
දයා විජේසේකර පුවත්පත් නිලධාරියකු ලෙස මුල්ම පත්වීම ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. ඩබ්. පී ආරියදාස එවකට සෞඛ්‍ය ඇමතිවරයා වූ අතර 1975 වසරේදී දයා ප්‍රවාහන අමාත්‍යංශයට මාරුවීමක් ලැබිණ. ලෙස්ලි ගුණවර්ධන එවක ප්‍රවාහන ඇමතිවරයා වූ අතර දයා විජේසේකර කලක් ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශයේ ද පුවත්පත් නිලධාරී ලෙස කටයුතු කර ඇත."1977 ආණ්ඩු පෙරළියෙන් පසුව 1980 දක්වා වූ වසර තුන ඇතුළත මාව අමාත්‍යාංශ 7කට මාරු කළා. 1980 දී මම සේවා ද්විතියකරණයක් හදාගෙන ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථා ප්‍රචාරක කළමනාකරු විදිහට පත්වුණා. 1990 දක්වා එහි රාජකාරි කරලා නැවත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආවා. එහිදී ප්‍රවෘත්ති නිලධාරි තනතුරට උසස්වීම් ලබන හෙතෙම 1990දී වරාය හා නාවික අමාත්‍යාංශයේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ යන තනතුරු දරමින් 2010 වසර දක්වා එහි කටයුතු කළේය. 2012 වසර දක්වා එහිම මාධ්‍ය උපදේශක තනතුර දැරූ දයා විජේසේකර මේ වන විට මාධ්‍ය ජීවිතයෙන් ඉසුුඹු ලබා ඇත.
"මේ දවස්වල මම එල්.එල්.බී කරනවා. ඒ කීවේ නීති උපාධිය නෙවෙයි. ළමයින්ගේ ළමයින් බලාගැනීම. ඒ කියන්නේ දැන් ෆුල් ටයිම් එල්.එල්.බී" දයා විජේසේකර පිළිසඳර නිමාකළේ රසවත් වදන් පෙළකිනි.
මුල් කාලයේ පුවත්පත් නිලධාරීන් ලෙස බඳවා ගනු ලැබුවේ පළපුරුදු පුවත්පත් මාධ්‍යවේදීන් වුවද ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හැරල්ඩ් පීරිස්ට එම අවස්ථාව හිමිවන්නේ 1973 වසරේදී ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශයට අයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවුල් සැලසුම් ප්‍රචාරක පර්ෂදයේ කටයුතු කරමින් සිටියදීය. "මම හිතන්නේ මම තමයි මාධ්‍ය හදාරා පුවත්පත් නිලධාරියෙක් ලෙස පත්වීම් ලැබූ පළමු වැන්නා. මම ජනසන්නිවේදනය හැදෑරූ පළමු කණ්ඩායමේ සමාජිකයෙක්."
ඒ අනුව 1973දී පුවත්පත් නිලධාරියකු ලෙස තැපැල් හා ගුවන්විදුලි අමාතශංයට බැඳුණු ඔහු පසුව එම අමාත්‍යාංශයේ සහකාර ප්‍රවෘත්ති ලේකම් ධුරයට පත්විය. ඉන්පසු විදුලිබල හා අධිවේගී, ආහාර හා සමූපකාර, කෘෂිකර්ම හා පර්යේෂණ යන අමාත්‍යාංශවල සේවය කරන ඒ මහතා කෘෂි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම් තනතුරට උසස් වීම් ලැබීය. 1989 දී ඩී. බී විජේතුංග ඇමතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස කටයුතු කරන හැරල්ඩ් පීරිස් මහතා, ඩී.බී විජේතුංග මහතා අගමැති සහ ජනාධිපති ධුරය දැරූ කාලයේදී ඒ මහතාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස කටයුතු කළේය.
"පුවත්පත් නිලධාරියෙක් ලෙස මම වැඩිපුරම කටයුතු කළේ ප්‍රකාශනවල නිර්මාණාත්මක අංශය බාරවයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෝස්ටර්, පත්‍රිකා සහ සඟරාවල ලේ අවුට් කටයුතු සිදු කළා. දෙසතිය සඟරාවේත් නිර්මාණාත්මක සැකැස්ම සිදු කළා. ඒ කාලේ දැන් වගේ විශාල කාර්ය මණ්ඩල නැහැ. ඒ වගේම දැන් වගේ මාධ්‍ය සංදර්ශන තිබුණෙත් නැහැ. මම ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් විදිහට ඉන්නකොට කොට අපේ කාර්ය මණ්ඩලයට හිටියේ 6 දෙනයි. ඩී. බී. විජේතුංග අගමැතිතුමාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස පත්වූ වහාම මම කළේ ඒ වන විට ගුවන්විදුලිය සහ රූපවාහිනිය ජනාධිපති මාධ්‍ය ඒකක පිහිටුවාගෙන ආධිපත්‍යයක් ගොඩනඟාගෙන සිටි තත්ත්වය වෙනස් කර අනෙක් මාධ්‍යවලටත් ඒ ආවරණ සඳහා පැමිණීමට අවස්ථාව ලබාදීමයි. මම සියලුම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලුවේ එක ඉල්ලීමයි. "ඕන කෙනෙක් කවරේජ්වලට එන්න. නමුත් පිළිවෙලට එන්න." ඒ වගේම ඒ වන විට පුවත්පත් මත පැටවී තිබූ පීඩනය ඉවත් කරමින් නිදහස ලබාදුන්නා. මම හැම පත්තර ආයතනයකටම ගිහින් කර්තෘවරු හමුවෙලා ඔවුන්ගේ බියසැක දුරකර නිදහසේ පුවත්පත් කලාවේ යෙදෙන්න අවස්ථාව සලසා දුන්නා. ඒ කාලයේ පුවත්පත් නිලධාරීන් අතරත් හොඳ එකමුතුකමක් තිබුණා. ඒ වගේම පුවත්පත් නිලධාරීන් සහ මාධ්‍යෙව්දීන් ඉතා සහයෝගයෙන් කටයුතු කළා. මම වෘත්තිය ජීවිතය ගතකළේ ඉතාම සතුටින් "පුවත්පත් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් අතර පැවති වෘත්තීය සබඳතාව ගැන විමසීමට අප පුවත්පත් කලාවේදියකු ලෙස වසර 50කට අධික වෘත්තීය අත්දැකීම් ඇති මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා සම්බන්ධ කරගතිමු. 1966 වසරේදී විශ්වවිද්‍යාල සිසුවකු ලෙස ඇත්ත පුවත්පත තුළින් මාධ්‍ය ජීවිතය ඇරඹූ හෙතෙම පුවත්පත් රැසක සේවය කළේය. එකල දක්ෂ ප්‍රවෘත්ති නිලධාරීන් ලෙස කටයුතු කළ ආනන්ද ධර්මප්‍රිය, දයා විජේසේකර, ඔගස්ටස් සිනාගරත්නම්, එච්. ඩී විජයදාස, හැරල්ඩ් පීරිස්, නිමල් සමරතුංග , උදය මානසිංහ, බුද්ධි කීර්තිසේන ආදී සමකාලීන මාධ්‍ය සගයන් ගැන දයා ලංකාපුර තුළ ඇත්තේ විශේෂ මතකයකි.
"ඒ කාලයේ හැම ඇමතිවරයෙක්ම මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළේ නැහැ. අමාත්‍යංශය වෙනුවෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පත්කොට සිටින පුවත්පත් නිලධාරියා තමයි අමාත්‍යංශයේ සංවර්ධන කටයුතු ගැන මාධ්‍යයට නිවේදන නිකුත් කළේ. රාජ්‍ය උත්සව, රාජ්‍ය නායක සංචාර ගැන ප්‍රචාරක කටයුතු කළෙත් ඔවුන්. ඒ වගේම යම් යම් කාරණා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජනතාව අතරට ගෙන ගියෙත් පුවත්පත් නිලධාරීන්. පුවත්පත් නිලධාරින් වගේම පර්සි උමගලිය, ඩී.ජේ . පෙරේරා, තිස්ස කොතලාවල වගේ දක්ෂ ජායාරූප ශිල්පියො ඒ කාලේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ සේවය කළා. අමාත්‍යංශවලින් සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති ගැන තොරතුරු ලබාගන්න ඒ කාලයේ මාධ්‍යවේදීන් කැඳවාගෙන යන්නේ ප්‍රවෘත්ති නිලධාරීන්. ඒ වගේම විදෙස් රාජ්‍ය නායකයෝ ලංකාවේ සංචාරවලට එනකොට පුවත්පත් නිලධාරීන් විසින් ඒ සංචාරයේ සම්පූර්ණ වැඩසටහනම කුඩා පොත් පිංචක් විදිහට සකස් කරලා මුද්‍රණය කරලා මාධ්‍යවේදීන්ට දෙනවා. ඒක මාධ්‍යවේදීන්ට ලොකු පහසුවක් වුණා. "
ඒ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර පැවසූ මතක රැසක් අතරින් බිඳක් පමණි. පුවත්පත් නිලධාරීන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සියලු දෙනාම ඔවුන්ගේ කතාබහේදී තමන්ට පෙර පුවත්පත් නිලධාරීන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් පිළිබඳ සිහිකිරීමට අමතක නොකළහ. එච්.ඒ. ජේ හුළුගල්ල, ජී . ටී වික්‍රමසිංහ, ඩෝල්ටන් ද සිල්වා, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, එවන්ස් කුරේ, කෙනත් සෝමනාදන්, බී. එච් හේමප්‍රිය, ගුණවර්ධන, ජෝශ්ප්, ලයනල් ප්‍රනාන්දු සහ ලක්ෂ්මි පීරිස් යන ජ්‍යේෂ්ඨයන්ගේ නම් ඔවුන් විසින් ගරු කටයුතු ලෙස සිහිපත් කළේ සිය ජ්‍යෙෂ්ඨත්වය තුළ වන නිහතමානී බව සහ විනයගරුක බව ද ඉස්මතු කරමිනි.