මේ කාලගුණික විපර්යාසයට හේතුව ගෝලීය උණුසුම වැඩිවීමයි | සිළුමිණ

මේ කාලගුණික විපර්යාසයට හේතුව ගෝලීය උණුසුම වැඩිවීමයි

කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කිරීම යනු සලකනු ලබන පිහිටුම මත වායුගෝලීය තත්ත්වය පූර්ව කථනය කරන්නා වූ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේදයකි. ලංකාවේ කාලගුණික විපර්යාස ගැන දත්ත ඒකරාශි කරන මධ්‍යස්ථාන 23ක් ඇත. එහිදී පැය තුනකට වරක් කරන අධික්ෂණ අනුව දත්ත රැස් කිරීම සිදු වෙයි. එසේම පැය දහයකට වරක් රැස් කරනු ලබන දත්ත වෙයි. එය ස්වයංක්‍රීය කාලගුණික දත්ත රැස් කිරීමක් වන අතර ATOMATIC WEATHER SYSTEM යනුවෙන් හඳුන්වනු ලබයි. මිට අමතරව මේ චන්ද්‍රිකා තාක්ෂණ ක්‍රමවේදය අනුව රැස් කරනු ලබන දත්ත වෙබ් අඩවි මඟින් ද තොරතුරු රැස් කෙරෙයි. එසේම චන්ද්‍රිකා ඡායාරූප ලබාගෙන සකස් කරන ලද අකෘතියකට මේ දත්ත ඒකරාශී කිරීමක් ද කරනු ලබයි. ඉන්පසුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ආකෘතියට අනුව සියලු දත්ත විශ්ලේෂණය කර අනාවැකිකරණය සිදු කරනු ලබයි. ඈත අතීතයේ සිටම මිනිසුන් අවිධිමත් ආකාරයෙන් කාලගුණ අනාවැකි කීම සිදු කළ ද එය විධිමත් ආකාරයට සිදු කරනු ලබන්නේ 19 වන ශත වර්ෂයේ සිටයි. කාලගුණ අනාවැකි කීම සිදු කරනු ලබන්නේ වර්තමාන වායුගෝලීය තත්ත්වය පිළිබඳ ප්‍රමාණාත්මක දත්ත එක් රැස් කර එය වායුගෝලීය ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාත්මක අවබෝධය තුළින් එම පිහිටීමේ කාලගුණය කෙසේ පරිණාමය වේ දැයි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.

කාලගුණික විපර්යාස පිළිබඳ කතිකාව මේ දිනවල වඩා වැඩි වශයෙන් මතු වී තිබේ. එයට හේතුව මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයයි. විශේෂයෙන්ම මේ දිනවල පවතින්නේ දිවයිනට බලාපාන නිරතදිග මෝසම් සුළං කාල පරිච්ජේදයයි. මෙය මැයි සිට සැප්තැම්බර් දක්වා පවතී. මේ මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාල පරිච්ඡේදය තුළ වර්ෂාපතනය වෙනත් වසරවල ලැබෙන්නේ බස්නාහිර, දකුණ, වයඹ වැනි පළාත්වලටයි. නමුත් ගෝලීය වශයෙන් දැනට එල්නිනෝ සංසිද්ධිය ඇති වී තිබේ. මේ තත්ත්වය ඇති වන්නේ පැසිපික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්ව වෙනස්වීම් හේතු කොටගෙනයි. එනම් උෂ්ණත්වය අසාමාන්‍ය ආකාරයට වෙනස් වෙයි. උෂ්ණත්ව වෙනස්වීම් හේතුකොටගෙන සාමාන්‍යයෙන් වසර 4කට වරක් පමණ, මෙවැනි සංසිද්ධි ඇති විය හැකි ය. මින් පෙර 2015 වසරදී එල්නිනෝ වසරක් පැවැතිණි. මෙවැනි වසර පිළිබඳ අධ්‍යයනය කළ විට දක්නට ලැබෙන කරුණක් නම් නිරිතදිග මෝසමේ සක්‍රීය බව අඩු වී පැවැතීමයි. මෙවර ද එම සංසිද්ධිය දක්නට ලැබිණි. මේ අනාවැකි පැහැදිලි කිරීමට අපේ දෙපාර්තමේන්තුවට කැඳවීමක් කර අපි මොන්සූන් කථිකාව යනුවෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. අපේ අනාවැකිය බද්ධ කරගෙන එක් එක් ආයතන ඒ අයගේ ක්‍රියාකාරකම්වලට අදාළව අනාවැකිකරණය භාවිත කරයි. මේ අනාවැකිකරණයට පෙර දකුණු ආසියාතික රටවල් සමඟ “සැස්කොප්” සමුළුවක් පවත්වයි. එහිදී ඒ ඒ රටවලට අදාළ අනාවැකිකරණය සිදු කරනවා. ඉන් අනතුරුව අපි මෙරට අනාවැකිකරණය සකස් කිරීම සිදු කරනු ලබනවා. සමුළුව පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වුණා. ඉන් අනතුරුව අපේ රටට සාපේක්ෂව ඉදිරි මෝසම් කාලගුණික තත්ත්වය කෙසේ ද සිදුවන්නේ යන කාරණාව පිළිබඳ විශ්ලේෂණය කර ඉන් අනතුරුව නිර්දේශය නිකුත් කරනු ලැබිණි. මොන්සූන් කථිකාවක් සෑම ප්‍රධාන මෝසම් දෙකකට පෙර සිදු කරනවා. එය ඉදිරි මෝසමේදී කුමක් ද සිදු වන්නේ, වර්ෂාවේ තත්ත්වය හා කාලගුණික තත්ත්වය කෙසේද යන කාරණාව පිළිබඳ එහි විශ්ලේෂණයක් කරනු ලබයි. එම විශ්ලේෂණ සිදු කරනු ලබන්නේ ගණිත ආකෘතියක් හරහාය.

ඒ ක්‍රමවේදයන්ට අනුව සිදු කරනු ලබන විශ්ලේෂණය අනුව ඉන් අනතුරුව අපි මැයි මාසයේ 5 වැනිදා ආයතන 38ක් කැඳවා මේ වසරේදී දිවයිනට බලපානු ලබන කාලගුණික තත්ත්වය කුමක්ද යන්න ඒ ආයතන දැනුම්වත් කිරීමක් කෙරිණි.

මේ වන විට පවතින තත්ත්වයට හේතුව නිරිතදිග මෝසමේ සක්‍රීයභාවය අඩු වීම විය හැකියි. එයට ප්‍රධානතම හේතුව එල්නිනෝ සංසිද්ධියයි. ඒ නිසා මධ්‍යම කඳුකරයේ වර්ෂාපතනය පහත් තත්ත්වයක පවතී. එය අපි අපේ අනාවැකිකරණයේදී සිදු කරනු ලබනවා. අනෙක් පැත්ත නිරතදිග කොටසේ පවතින සාමාන්‍ය තත්ත්වයට ආසන්න වෙයි. නමුත් නිරිතදිග මෝසම ගත් විට වර්ෂාව පවතින්නේ එවැනි ප්‍රදේශයක පමණයි. උතුර නැඟෙනහිර ඌව වැනි පළාත්වලට මෙවැනි තත්ත්වයන් නැත. සුළු සුළු වර්ෂාපතන පවතින නමුත් මේ එල්යිනෝ තත්ත්වය නිසා වර්ෂාපතනයත් සමඟ එය තවත් අඩුවීමක් පවති. ඒ නිසා මධ්‍යම කඳුකරයේ ආශ්‍රිත පළාත්වලට මේ වර්ෂාපතනය අඩු වීමට එක්තරා බලපෑමක් සිදු විය. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල පවතින ජල හිඟභාවයක් පවතී.

මේ කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා. වියළි කාලගුණික තත්ත්වයක් තිබුණත් දිවයිනේ නිරිතදිග කොටසේ අතරින් පතර සුළු වර්ෂා පතන ඇති වෙයි. නමුත් ඒවා සැලකිය යුතු වර්ෂාපතන නොවෙයි. ඒ වර්ෂාපතනය විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් තරම් නොපවතී. ඉන්පසු අපි ඒ විශ්ලේෂණයේදී පැහැදිලි කළ අනෙකුත් කරුණ නම් දෙවැනි මෝසම් කාල පරිච්ඡේදයයි. මේ දෙවැනි අන්තර් මෝසම් වර්ෂාපතනය ගත් විට එල්යිනෝ වසරවල වර්ෂාපතනය වැඩිවීමක් පෙනේ. එය ගෝලීය වශයෙන් ගත් විට සහ අපේ පසුගිය විශ්ලේෂණගත් ගත් විටත් පෙනෙන කරුණක් වෙයි. ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් ගත් විට සාමාන්‍ය තත්ත්වයට වඩා වර්ෂාපතනය වැඩි විය හැකි බවයි. කෙසේ වෙතත් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වන විට වර්ෂාපතනයක් ඇති විය හැකියි. අපිට ගංවතුර උවදුර වුවත් ඇති විය හැකියි.

එල්නිනෝ තත්ත්වය පැහැදිලි කළහොත් එය පැසිපික් සාගරයේ ඇති වන සංසිද්ධියකි. එහිදි මුහුදු ජලයේ අසාමාන්‍ය උෂ්ණත්ව වෙනසක් සිදුවෙයි. එවැනි සිදුවීම් අනුව යම් වෙනස්වීම්වලට හසුවෙයි. මෙය ගෝලීය වශයෙන් කලාප රැසකට බලපානු ලබනවා.

දෙසැම්බර් මැද දක්වා වර්ෂාපතනය වැඩිවීමක් දක්නට ලැබිය හැකි අතර, ඉන්පසුව ලැබෙන්නේ දිවයිනට බලපාන ඊශානදිග මෝසමයි. එය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතී. ඉන් අනතුරුව පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදයයි. මාර්තු, අප්‍රේල් මාස දෙකේ ලංකාවට බලපාන වර්ෂාපතනය ගත් විට ලංකාවට බලපාන ඊශානදිග මෝසමේ පවතින්නේ සියයට 26ක් පමණයි. පළමු අන්තර් මෝසමේ සියයට 14ක් පමණයි. අනෙක් මෝසම් දෙකකට සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් පවතී. නමුත් මේ එල්නිනෝ තත්ත්වය නිසා මේ වර්ෂාපතනය තවදුරටත් අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. ඒ කාලයේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතියි. මාර්තු මාසයේ අධික උෂ්ණත්වයක් පැවැතීම එයට හේතුවයි. ශරීරයට දැනෙන්න උෂ්ණත්වය වැඩි වෙයි. ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මැද දක්වා වර්ෂාපතනය වැඩිවීමක් සිදුවීම නිසා එවැනි අවස්ථාවකදී අපි ක්‍රමානුකූලව ජලය එක් රැස් කරගැනීම ඉදිරි මහ කන්නයට යම් ප්‍රයෝජනයක් විය හැකියි. දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා යන කාල පරිච්ඡේදයේ වර්ෂාව අඩු වීම නිසා අපිට එවැනි අවස්ථාවලදී එම රැස් කර ගත් ජලය භාවිත කළ හැකියි. ඒ අනුව අදාළ පාර්ශ්ව විසින් ජල කළමනාකරණය කිරීම කළ යුතුයි. මේ සියලු ක්ෂේත්‍රවල යම් නීතිමය බැඳීමක් ඇති කළ යුතුයි. අපි කාලගුණ දෙපාර්තමේන්තුව ලෙස නිවැරැදි අනාවරණයක් කළ විට අදාළ ක්ෂේත්‍රවලට ඒ අනුව ක්‍රියාත්මක වෙන නීතිමය බැඳිමක් ඇති කළ යුතුයි. සමාජයේ පහළ ස්ථර දක්වා මෙය ගෙන යා යුතුයි.

කෙසේවුවත් යම්කිසි කාලසීමාවක සිට පැවති කාලගුණික විපර්යාස නිසා ගෝලීය උණුසුම වැඩිවිමක් සිදුවී ඇත. ගෝලීය උණුසුම වැඩිවීම හේතු කොටගෙන ගෝලීය විපර්යාස සිදුවී තියෙනවා. මෙය ගෝලීය වශයෙන්ම පවතින තර්ජනයක්. මේ දේශගුණ විපර්යාස වීමට හේතුව ගෝලීය උණුසුම වැඩිවීමයි, ඒ ගෝලීය උණුසුම වැඩිවීමට හේතුව මිනිස් ක්‍රියාකාරම්. නිරන්තරයෙන් රටවල් දියුණු වෙන විට ඒ රටවල කර්මාන්ත ශාලාවලින් ගෑස් පිට කරන ප්‍රමාණය වැඩි වෙයි. විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් පිටවීම හේතුවෙන් මේ සාන්ද්‍රණය වායුගෝලය තුළ වැඩියෙන් පවතියි. එවිට රත්වූ අංශු උරාගෙන ඒවා නිරන්තරයෙන් වායුගෝලය තුළ කැරකෙයි. ගතික සමතුළිතතාවකට එළඹීමට වනාන්තර තිබිය යුතුයි. එසේ නම් වනාන්තර විනාශ නොකර සිටිය යුතුයි. ගස් කොළන් පවතින විට කාබන්ඩයොක්සයිඩ් පාවිච්චි කර ජීව වායුව පිට කරයි. ගතික සමතුළිතතාව බිඳ වැටීම මේ කාලගුණික විපර්යාසයන්ට එක්තරා හේතුවකි. වනාන්තර පැවැතියහොත් ඒ වනාන්තරවල ඇති ගස්වල හරිතප්‍රද පාවිච්චි කර ජීව වායුව ලබා දීම එනම් ඔක්සිජන් ලබා දීම සිදු වෙයි. වසර පනහකට පෙර තිබූ උෂ්ණත්වයයි, අද උෂ්ණත්වයයි සැසඳුවහොත් සෙන්ටිග්‍රේට් 1.5 පමණ වැඩිවීමකට හසුවී ඇත. විද්‍යාඥයන්ගේ මතය අනුව ඉදිරියේදී මේ ගෝලීය උෂ්ණත්වය වඩාත් වැඩිවිය හැකියි. මෙය මැඬ පැවැත්වීමට හැකි වෙන්නේ කෙසේ ද යන්න ගැටලු සහගතයි.

කෘෂිකර්ම, විදුලිබල, ස්වභාවික ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර ගණනාවකට මේ වර්ෂාපතනය අඩුවීම බලපානු ලබයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර, සියලු මැදිහත් භාවයකින් යුතුව නිසි කළමනාකරණයක් ලබා දිය යුතුයි. යම් එකඟතාවකින් හා නීතිමය රාමුවක් තුළ මේ සියලු ක්ෂේත්‍රවල ඒකමතික කතිකාවක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙයි. මොන්සූන් කතිකාව වැනි දැනුම්වත් කිරීම් අපි සිදු කරනු ලබන්නේ ඒ අනුවයි. මේ කාලගුණික වාර්තාව සහ සිදු විය හැකි කාලගුණික විපර්යාසයන් අනුව ඒ දැනුම ඒ ක්ෂේත්‍රවලට යාමෙන් අදාළ ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් පූර්ව නිගමනයන්ට එළඹිය හැකි විය යුතුයි. මේ සඳහා නීතිමය රාමුවක් ඇති කළ යුතුයි. කාලගුණික වාර්තාවන් පදනම් කරගෙන අනෙක් ක්ෂේත්‍රවල පිරිස් එම ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම්වලට යා යුතුයි. ඒ සඳහා මේ ක්‍රමවේදය සකස් කළ යුතුයි. ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක විය යුතුයි.

කෙසේ වෙතත් අතීතයේදී ප්‍රධාන වශයෙන් වායුපීඩනය, කාලීන උෂ්ණත්වය හා අහසේ ස්වභාවයේ වෙනස්වීම් පදනම් කරගෙන කාලගුණ අනාවැකි නිකුත් කළ ද පසුව එය පරිගණකය ආශ්‍රිතව වැඩි වායුගෝලීය දත්ත ප්‍රමාණයක් පදනම් කරගෙන සිදු කරනු ලබයි. කාලගුණ රටාවන් හඳුනා ගැනීමේ හැකියාව, ආකෘති කාර්ය සාධනය පිළිබඳ දැනුම හා ආකෘති නැඹුරුතාව පිළිබඳ දැනුම තුළින් වඩාත් නිවැරැදි කාලගුණ අනාවැකි කීමට මිනිසාගේ දායකත්වය අදට ද භාවිතයට ගනු ලබනවා. වායුගෝලීය ස්වභාවයේ අවුල් සහගත බව, වායුගෝලීය ස්වභාවය නිර්ණය කිරීමට ගන්නා සමීකරණවල සංඛ්‍යාත්මක, ආරම්භක තත්ත්වයන් නිර්ණය කිරීමේදී ඇති වන දෝෂ හා වායුගෝලීය ක්‍රියාවලිය පිළිබඳ වැරැදි අවබෝධය තුළින් කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාව අඩු වීමට ඇතැම් විට බලපානු ලබයි. නමුත් සම්මත ආකෘති තුළින් එම දෝෂ මඟ හරවා වඩාත් නිරවද්‍ය අනාවැකි ලබාගත හැකිය.

කාලගුණ අනාවැකි ප්‍රයෝජනයට ගන්නා විවිධ කොට්ඨාස වෙයි. ඔවුනට තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට මෙම කාලගුණ ඇඟවීම් මහත් උපකාරී වේ. උෂ්ණත්වය හා වර්ෂාපතනය මත පදනම් වූ කාලගුණ අනාවැකි කෘෂි කර්මාන්තය සඳහා වැදගත් වන අතර, එය වෙ‍ෙළඳපොළ භාණ්ඩ මිල සඳහා ද බලපානු ලබයි. තව ද සාමාන්‍ය ජනතාව තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතුවලදී ද එළිමහන් ක්‍රියාකාරකම් කිරීමේදී හා ඒවා සංවිධානය කිරීමේදී ද කාලගුණ අනාවැකි උපයෝගී කර ගනී.

Comments