
ලලිත් රෝහිත එදිරිසිංහ නැමැති තරුණ අධ්යක්ෂවරයා තමන් සෑදු “තට්ටු දෙකේ ඉස්කෝලේ” වෙත අපට ආරාධනා කරන්නේ ඉතාමත් අව්‍යාජ හැඟීමකින් යුතුව ය.
මෙහිදී සියඹලා කරලක ඇඹුලත් කුරහන් රොටියක සුගන්ධයත් ගැන අප තුළ ආවර්ජනයක් ඇති වන අතරම මිරිස් කරලක දැවිල්ල ද ඇනෙන කටුවක වේදනාව නිහඬව දරා ගන්නා පුංචි හදවත් කීපයක සංවේදී ප්‍රතික්‍රියා අපව බරපතල ලෙස කම්පාවට ද පත් කරවයි නමුත් අධ්යක්ෂවරයා අපට ඒ බව ප්රක්ෂේපණය කරවනු ලබන්නේ දැක්මෙන්ම සුව සදන වැව් දියේ සුන්දරත්වයත් ගහකොළේ හැපී දිවයන මන්ද මාරුතයේ සිසිලසත් උදාර මනුෂ්‍යත්වය හා මුසු කරවමිනි.
නිල් අවරිය සාදලිංගම් මකුළු මැටි අඳුන් දැලි හා ගුරුගල් යොදා වැටකෙයියා පින්සලකින් අඳිනු ලබන නිර්මල චිත්‍රයක් සේ එය අප හමුවේ දිදුලන්නේ මේ හේතු කොට ගෙනය.
ළමා චිත්‍රපටයක් ලෙස ගොඩනැඟෙන ඔහුගේ නිර්මාණයට පදනම සැකසෙන්නේ නිර්මාණාත්මකව සැකසුණු සියුම් තිර නාටකයක් මුල් කර ගනිමිනි. මින් එළි දැක්වෙන්නේ තමා අත්විඳින වටපිටාවේ ඇති සමාජ දේශපාලන සංස්කෘතික ව්‍යාකූලත්වයට එරෙහි කලාකරුවාගේ ප්රතික්රියාවයි. අධ්යක්ෂවරයා අතින් නාභිගත වී ඇත්තේ ළමා හදවත් කීපයක් වුවත් මෙය වූ කලී දශක හතක් තිස්සේ අප රටේ සමස්ත අධ්‍යාපනය ගැන ඇසෙන විවිධ කයිවාරුවල නිරුවත හෙළි කරන්නකි. එ නිසා තවත් මානයක් ඔස්සේ සලකා බලන කල මෙය ප්‍රබල දේශපාලන කියවීමක්ද වන්නේය.
එනයින් බලන කල මෙය චිත්‍රපටයක් තනනු සඳහා කියන්නට දෙයක් සොයන අයෙකුගේ වැඩක් නොව කියන්නට දෙයක් ඇති මිනිසෙකු ඒ සඳහා සිනමාව උපයෝගී කරගත් අවස්ථාවක් සේ පෙනී යන්නකි.
ඒ අනුව තම ආත්ම ප්රකාශනය උදෙසා ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ හොඳම දේ වෙනුවට නරකම දේ දරුවන්ට බව පෙන්වන හොඳම’ තැනකි. ඒ වියළි කලාපයේ ඉතා නොදියුණු ගමක දුෂ්කර පාසලකි.
වෘතාන්තය නිසි පරිදි ආරම්භ වන්නේ මැලේරියා වසංගතයට බියෙන් පාසැලෙහි විදුහල්පතිවරයා මෙන්ම සෙසු ගුරුවරුන් දෙතුන් දෙනා ද පාසල අතහැර දමා යන අවස්ථාවකිනි. පාසලෙහි ඉතිරි වන්නේ දුර පළාතකින් පැමිණ මුරකරුවෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කරන සුගතපාල නම් තැනැත්තෙකි. අපොස උසස් පෙළ සමත් නමුදු ගුරුවරයෙකු වීමේ බලාපොරොත්තුව සුන්වූ අයෙකි.
පාසල වසා දැමීමත් සමඟ අධ්‍යාපනය අඩාළ වූ දරු දැරියන් දහ පහළොස් දෙනෙකුගේ ගුරුපියාණන් බවට පත් වන්නේ ඔහු ය. ලලිත් රෝහණගේ තට්ටු දෙකේ ඉස්කෝලේ අන්තර්ගතය වන්නේ එයයි.
චිත්‍රපටයේ අපූර්වත්වය වන්නේ ළමා චිත්‍රපටයක අනන්‍යතාව නොබිඳෙන අයුරින් මෙම වැඩිහිටියාගේ චරිතය ගොඩනඟා තිබීම ය. මෙනයින් පෙනී යන්නේ අධ්යක්ෂ ලලිත් රෝහණගේ තිර රචනයේ සියුම් ම වපසරිය ළමයින් සහ මුරකරු අතර ගුරු ගෝල සබඳතා නිරූපණය පිණිස වෙන් වී ඇති බව ය.
බොහෝ ළමා චිත්‍රපටවලදී දක්නට ලැබෙන පරිදි පාසලේ දිවි ගෙවන මෙම අපූර්ව චරිතය භෞතිකව ප්රාතිහාර්ය පාන ගුරුවරයෙකු බවට පත්කිරීමක් හෝ දරිද්‍රතාවේ පතුලේ සිටින ළමයා එක්වරම කුමාරයකු සේ ඉස්මතු කිරීමක් මෙහි දක්නට නොලැබේ. අධ්යක්ෂවරයා සැමවිටම ළමා චරිතවල ස්වාභාවිකත්වය රඳවා ගැනීමටත් ඒ සුන්දරත්වය ඉස්මතු කිරීමටත් උත්සාහ ගන්නා නමුත් ඔවුන් නිරන්තරයෙන් පෙළෙන ජීවිතවල පසුබිම් වූ කටුක යථාර්ථය අමතක කරවන්නට කිසිවිටක තැත් නොකරයි.
ජීවිතය නම් සංකීර්ණ ප්‍රපංචයෙහි අරුත සොබා දහම ඇසුරේ තම නැණ පමණින් අවබෝධ කරගත් සරල මිනිසෙකු වූ සුගතපාල මෙම සිනමා වෘත්තාන්තයේ කේන්ද්‍රීය චරිතය බව එක්වරම පෙනී යන දෙයකි.
එහෙත් ළමයින්ගේ අධ්‍යාත්මය ප්‍රකාශ කිරීම සඳහා මෙම මුරකාර ගුරුවරයා ද ගුරුවරයාගේ ආත්ම ප්රකාශනය සඳහා ළමයින් ද වශයෙන් අනොන්‍යව බද්ධ වූ මේ දෙකොටසේ ම මහා පොදු සාධකය ලෙස ගහ කොළින් සුසැදි පරිසරය මෙන් මල වැව ද යොදා ගන්නට සිනමාකරුවා අවධානය යොමු කර තිබේ. ගසට පොත්ත මෙන් සොබා දහම හා වූ මෙම ගනුදෙනුව ඉතා සාර්ථකව ඉටු කර ගණනට ඔහුට පුළුවන් වී ඇත්තේ එහෙයිනි.
ඒ නිසා මෙහි නළු නිළියන් තරමට ම පාසැල් මිදුලේ වූ සියඹලා ගස ද සජීවී සංකේතයක් බවට පත් වෙයි. විටෙක දරුවන්ගේ මුල් ගුරුතුමා ලෙස ද තවත් විටෙක මවක ලෙස ද සැලකෙන සියඹලා වෘක්ෂය මේ සියල්ලට ම වඩා සුගතපාලගේ ආත්මය සංකේත කරන්නකි. තමා අදහන සොබා දහම් නියමයන්ගේ සංකේතය ලෙස ද පෙනෙන මේ මහා සියඹලා ව සිනමා වෘත්තාන්තය තුළ මහා ගෞරවයක් අත්පත් කර ගන්නේ අම්මා අප්පා නොමැති බණ්ඩාට මවක්ද වීමෙනි.
අන්තිමේ දී මෙහි යටි පෙළ තුළින් අප දකින්නේ මෙහි සියලු චරිත අතික්‍රමණය කරමින් මහා සියඹලාව ප්‍රධාන චරිතය වී ඇති බවයි.
මේ අයුරින් විවිධ මානයන් ඔස්සේ වියමනක යෙදුණ ද එය අවුලක් නොවන නිර්මල රටාවක් සේ කූට ප්‍රාප්තිය කරා ගෙන ඒමට චිත්රපටකරුවා සමත් වෙයි. ඉතාමත් යථාර්ථවාදී ලෙස ප්‍රායෝගික සත්‍යය ඉදිරියේ මෙහි වීරයා මිය ගියත් එය ජයග්රණයේ උපතක් බව ප්‍රකාශ කරන්නට අධ්යක්ෂ ලලිත් රෝහිත සමත් වෙයි. සුගතපාල නම් නිලනොලත් ගුරුවරයා රුසියානු සාහිත්‍යයේ එන දුයිෂෙන් මෙන්ම පාවෙල් කෝර්චාගින් හා සැබෑ මිනිසෙකුගේ කතාවේ කොමිසාර්ගේ චරිතයට සමාන යයි අපට හැඟෙන්නේ එහෙයිනි. මෙසේ ප්‍රසිද්ධියට පත් නොවුණද අපගේ ජීවිතයේ ඉඳහිට හමුවූ මෙන්ම සමාජය තුළ අදටද අප්රකටව වෙසෙන සියලු දුයිෂෙන්ලාගේ නියෝජනයක් ලෙස සුගතපාල අප හදවත තුළ රැඳේ.
මේ ආකාරයට මෙම වෘත්තාන්තය අප තුළ කම්පනයක් ඇති කරවන නිර්මාණයක් බවට පත් වී ඇත්තේ කුඩා දරුවන් නිසි ලෙස අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය මෙන් ම සෙසු මූලිික කලාංගයන් ප්‍රමාණවත් ලෙස ඒ සඳහා උපයෝගී කර ගන්නට ලලිත් රෝහිත සිය ප්‍රථම නිර්මාණයෙන්ම සමත් වීම නිසාය. සියලු ළමා නළු නිළියන් එකිනෙකාට අන්‍යන්‍ය වූ චරිත නිරූපණයන්ට යොමු කරවන්නට අධ්යක්ෂවරයාට හැකි වීම එයට හේතුවයි.
තට්ටු දෙකේ ඉස්කෝලයක් ඉල්ලා සිටින මුතු ද රම්බා නමැති දෙපා කොර ගසන දරුවාද දමිතා අබේරත්නගේ කුඩා කාලය රඟන නිළිය ද මෙතුල කැපී පෙනෙන්නේ ඔවුන්ගේ කටකාර බව නිසා නොවල සහජ රංගන හැකියාවද පිළිබිඹු කරන බැවිනි.
මයුර කාරියවසම්ගේ කැමරා කරණය සුනෙත් නන්දලාලගේ කලා අධ්‍යක්ෂණය, උහාන් ඕවිටගේ අංග රචනය, ජගත් රස්නායකගේ සංගීත නිර්මාණය, ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණය, සසින් ගිම්හානගේ ශබ්ද පරිපාලනය, නිලන්ත සේනාධීර සහ තාරක කාරියවසම්ගේ සම්බන්ධීකරණය ආදී අංශවල සහාය නිසි පරිදි ලබා ගන්නා අධ්යක්ෂවරයා සිංහල සිනමාකරණයේදී බොහෝ තන්හි නොසලකා හරින ලද මෙම කාරණා සිය ප්රකාශනය සාර්ථකව සංනිවේදනය කිරීමෙහි ලා නොමඳව සහය කරගනී.
නමුත් මේ මොහොතේ දී වුව සියුම් කළ හැකි නොසියුම් තැනක් වූ කළයක් රැගෙන යන ගැහැනියගේ අඟර දඟර ගමන් විලාශය සහිත තත්පර ගණනාව මුළු සිනමා පටයට ම ඇති කරවන්නේ ලාබයක් නොවල අලාබයකි අනික් පැත්තෙන් තමාගේ ප්රකාශනයේ සාර්ථකත්වය පිළිබඳ නිර්මාණකරුවාගේ ආත්ම විශ්වාසය පළුදු වූ බව පෙන්නුම් කරවන්නකි. මේ තරම් ම ගැටලු සහගත නොවූවත් බණ්ඩාර නමැති කුඩා දරුවා පිළිබඳව අනුකම්පාවකින් පසුවන සෝමා නැමැති දැරියගේ මුහුණේ හැඟීම්බර සමීප රූපය ද සමස්ත චිත්‍රපටියේ රිද්මයට සාපේක්ෂව එතරම් ගැළපෙන්නක් නොවේ. සිනමාපටයේ සමස්ත රූපාවලියේ ඇති කලාත්මක ස්වභාවය හා සසඳන කල ආරම්භක දර්ශන පෙළෙහි සෝමාගේ සමීප රූපය හා ඒ පසුබිම තුළ පෙර කී සුන්දරත්වය දක්නට නොලැබේ. මේ කියන කරුණු කිහිපය හෝ අපට දක්නට නොලැබුණා නම් තට්ටු දෙකේ ඉස්කෝලය ගොඩනැඟීමට ගත් උත්සාහයේ ඇද පළුද්දක් ඉතිරි නොවන්න ඉඩ තිබුණා යයි සිතේ.
සුගතපාල මෙන් විශිෂ්ට රංගනයක යෙදෙන ජගත් චමිල මෙන් ම චරිත ළමා චරිත නිරූපණයන් හි යෙදෙන සුදම් කටුකිතුල, ලංකානාත් රන්දීප, රවීෂා දිව්‍යාංජලී, දහම්සා තරුදිසි සහ අලන්යා සේම සෙසු වැඩිහිටි චරිත නිරූපණවල යෙදෙන ජනක් ප්‍රේමලාල්, දමිතා අබේරත්න, මංජුලා කුමාරි තරුෂි සුරම්‍යා, වොල්ගා කල්පනී, සූර්ය්යා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, නයනා හෙට්ටිආරච්චි, අංජලී ලියනගේ, හර්නි රෝෂණි, නෙතලි නානායක්කාර, අයෝධ්‍යා දක්ෂිකා, ජයන්ත වාසල, මෞලී දමයන්ත, චමීර ලියනගේ සහ ජීවන්ත ආදී නළු නිළියන් සියලුදෙනා තට්ටු දෙකේ ඉස්කෝලේ සවිමත්ව ගොඩනඟන්නට කැපවූවෝ වෙති.
මේ අයුරින් සාර්ථක ළමා නිර්මාණයක් බිහි කිරීම යනු සිනමාවේ පෝෂණයට එහා ගිය ජාතික මෙහෙවරකි. එය අපේ සිනමාවට අලුත් බිල්ඩිමක් පමණක් නොවන බව බලධාරීන් වටහා ගන්නේ නම් තට්ටු දෙකේ ඉස්කෝලේ වැනි සිනමා පට අපට දුලබ දසුනක් නොවනු ඇත. වෛද්‍ය නිශාන්ත ප්‍රගීත් වැනි බොහෝ විට පාඩුව ලබන අවංක අර්ථපතියන්ද සිය ඊළඟ නිර්මාණයට නොබියව එකතු වනු ඇත්තේ එවිටය.